UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෘප්තිමත් ජීවිතයක් සඳහා බුද්ධෝපදේශ

තෘප්තිමත් ජීවිතයක් සඳහා බුද්ධෝපදේශ

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් ‘බුදුසරණට’ ලියූ මෙම ලිපිය 2017 දෙසැම්බර් 03 වන දා පළවූවකි. උන්වහන්සේ ට උපහාර පිණිස මෙසේ නැවත පළ කරමු.

තමාට පිහිට තමා ම ය, වෙනත් කවරෙක් පිහිට වන්නේ ද? තමා ම පිහිට කොට වාසය කරව්. අනුන් පිහිට කොට වාසය නොකරව්” තමා ම තමහට දුර්ලභ පිළිසරණ කොටගන්න.” “ඔබම වෙර දැරිය යුතුය”, “ශුද්ධිය හා අශුද්ධිය තම තමන් ළඟ ය. අනෙකෙක් අනිකකු ශුද්ධ නොකරයි.”

මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශ කීපයක සිංහල අනුවාද කීපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මේ ප්‍රකාශවලින් මැනවින් ප්‍රකාශ වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘෂ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක් වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් ප්‍රඥාවේ උත්තරීතර ශක්තියෙන් බුදුබව ලබාගත්හ. ඒ බව ප්‍රකාශ කළහ. එහෙයින් මිනිසා කිසිවෙකුටත් ගැති නොවී ප්‍රඥාවෙන් ක්‍රියාකිරීම නිසා රහත්වීමටත්, ලොව දිනීමටත් සමර්ථවන බව පෙන්වා දුන්හ.

මෙසේ මනුෂ්‍යත්වයට ප්‍රමුඛතාවය දෙමින් දේශිත තථාගත ධර්මය මිනිසාට මිනිසා වටහාදෙයි. මිනිස් සමාජයට අර්ථවත් මෙන් ම ඵලවත් මිනිසෙකු තනාදෙන මිනිස්කම හඳුනා නොගත් මිනිසුන් නිසා මිනිසුන්ට නානාවිධ ගැටලු, ප්‍රශ්නවලට මුහුණ දෙමින් අනර්ථකාරී, අවැඩදායි ව්‍යසනවලට ගොදුරුවීමට සිදුවන හැටි පෙන්වා දෙයි. එබැවින් එය විශ්වසනීය දහමක් මිස කණ්ඩායමකගේ හෝ වර්ගයක හෝ ප්‍රදේශයක සීමා නියමයක් ඇත්තක් නොවේ. තිරිසනුන් හා ගස්කොළන් අතර එක් එක් ජාතියක් හඳුනාගැනීමට වෙන් වෙන් වූ ලක්ෂණ ඇතත් මිනිසුන් අතර වර්ණයෙන් හා හැඩරුවින් දක්නට ඇති වෙනස්කමක් හැරුණවිට ජාති වශයෙන්, ගෝත්‍ර වශයෙන් හැඳීන්වීමට පාදකවන කිසිදු විශමතාවක් නොමැත. ජාති වශයෙන් මිනිසා එකම මිනිස් ජාතිය බවත් ප්‍රකාශකළ තථාගතයන් වහන්සේ ඔවුන්ට පොදුවේ මුහුණදීමට සිදුවන දුක්කම්කටොළු වටහාගැනීමෙන් මිනිසත්බවේ උපරිමඵල ලබාගැනීමට හැකිබව පැහැදිලි කළහ. විමුක්ති මාර්ගයක් වූ බුදුදහම ලොවට බලපාන පොදු මිනිස් දුක් තරණයකොට විමුක්තිය සලසා ගැනීමට මඟ පෙන්වා තිබේ. තමන් වහන්සේ විමුක්තිදායකයෙකු වශයෙන් මිනිසුන් අතර පෙනී සිටීමට තැත් නොකළ අතර, විමුක්ති මාර්ග ප්‍රකාශකයෙකු වශයෙන් මඟ පෙන්වීම තථාගතයන් වහන්සේගේ කාර්යය වන අතර එහි ක්‍රියාත්මකවීම තම තමන් සතු කාර්යයක් බව පැහැදිලිව ම ප්‍රකාශ කොට තිබේ.

මෙහිලා මිනිසාගේ ප්‍රඥාවට මුල්තැන දුන් උන්වහන්සේ මාර්ග විනිශ්චයෙන් බුද්ධිමත්වීම, අන්ධ විශ්වාසයෙන් අනුන් පසුපස හඹායාමට වඩා ශ්‍රේෂ්ඨ බව පෙන්වා දී ඇත. ලෝක ප්‍රවෘත්තියෙහි දක්නට ලැබෙන හොඳ නොහොඳ විනිශ්චයට ඇති හොඳම නිවැරදි බුද්ධිමත් විචාරය මිස අනිකක් නොවේ. එහෙයින් උන්වහන්සේ ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කොට වදාළේ යම් අවස්ථාවක යමක් පිළිබඳව මෙය අයහපත් ය, වරදසහගත ය, අකුසල් ය කියා තමන්ට ම වැටහේ නම් එය අත් හළ යුතු ය, බැහැර කළ යුතුය. යමක් පිළිබඳව මෙය යහපත් ය. නිවැරදි ය, කුසල් ය කියා තමන්ට ම වැටහේ නම් එය සමාදන් විය යුතු ය. දියුණු කළ යුතු ය කියායි. බුදුදහමින් ප්‍රකාශිත කුසල්, අකුසල්, පින්, පව්, හොඳ, නොහොද පිළිබඳ අවබෝධය අවශ්‍යවන්නේ පුද්ගලයාගේ මෙන් ම සමාජයේ පාරිශුද්ධිය ගොඩනැගීම සඳහා ය. පුද්ගල පැවැත්මේ අපවිත්‍රතාව ඔහුගේ මෙන් ම සමාජයේ අනර්ථය සඳහා හේතු වෙයි. අපවිත්‍ර සමාජය සුන්දර ලෝක ජීවිතයකට ඇති මහත්ම බාධකයයි.

මේ අනුව පින් පව් දැන හැඳීනගෙන ජීවත්වීමෙන් පාරිශුද්ධියට පත්වන මිනිසා ලෝකය ජීවිතය පිළිබඳ සැබෑ තතු දැනගැනීමට සිත මෙහෙයවයි. ඔහුට ණුවන පෑදෙයි. ඇතිතතු වසන් කර ගනිමින් නොනැවතී දිගින් දිගටම යන දුක් දොම්නස් සමුදායක පැටලී සිටින බව තේරුම් ගනී. ආශා ද්වේෂ මෝහයන් සිඳ බිද දමා විමුක්තිය ලබයි. “සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුසාසනං”

සියලු පව් බැහැර කිරීම, සියලු කුසල් රැස්කිරීම, තම සිත පිවිතුරු කිරීම යන මෙය බුදුදහමයි. පව් බැහැරකොට පින් රැස්කරන මිනිසාගේ විමුක්තිය එතන ය. එසේ නම්, බුදුරජාණන් වහන්සේගේ මඟ පවත්නේ පාරිශුද්ධියත්, විමුක්තියත් සඳහා ය. බුදුරදුන් පෙන්වාදුන් මේ පිළිවෙත් මඟ තවුස් ජීවිතයක් ඇතිවම අනුකරණය කළයුත්තක් නොවන බව මින් පැහැදිලිවන තවත් කරුණකි. හරවත්, ඵලවත් මිනිස් දිවියක් ගොඩනැගීම බුදුදහමෙන් ඉටුවන කාර්යය නිසා එය පැවිද්දන් සඳහා පමණක් වෙන් වූ ධර්මයක් වශයෙන් හෝ පැවිදි නොවී බුදුදහම පිළිපැදීම අසීරුවෙන සේ සිතීම මුලාවක් පමණකි. වරක් බුදුරදුන් හමුවට පැමිණි චච්ඡගොත්ත බ්‍රාහ්මණයා “ස්වාමිනී, මඟපල ලබාගත් බ්‍රහ්මචාරි ගිහි උපාසකවරු, උපාසිකාවරු එසේම කාමභෝගී ගිහි උපාසකවරු, උපාසිකාවරු සිටිත්ද?” කියා උන්වහන්සේගෙන් ප්‍රශ්නකළ අවස්ථාවේ වදාළේ “වච්ඡ, එක්කෙනෙක් නොවෙයි සීයක් දෙසීයක් නොවෙයි, තුන්හාරසීයකුත් නොවෙයි, පන්සීයකුත් නොවෙයි ඊටත් වඩා බොහොම වැඩියි” කියායි. වච්ඡගොත්ත සූත්‍රයේ සඳහන් මේ පුවතෙන් බුදුදහම පිළිපැදීමට ගිහිකම කිසිසේත් බාධාවක් නොවන වග ඉතා පැහැදිලිව කියැවේ. ගිහිකම ආගම දහම පිළිපැදීමට බාධාවක් නොවන නමුත් ධාර්මික ගිහි ජීවිතයක් ප්‍රගුණ නොකිරීමෙන් තමන්ටත් අනුන්ටත් සිදුකළ හැකි අනර්ථය සුළුපටු නොවෙයි. එබැවින් මිනිස් අගයෙන් පිරුණු ගිහිජීවිත ගොඩනගා ගැනීමට බුදුදහමෙහි දක්වා ඇති උපදෙස් පිළිපැදීම විමුක්තිය සඳහාත් පදනම් වෙයි.

චරිතශුද්ධිය, සදාචාරය, සංවරය පිළිබඳව බුදුදහමෙහි දැක්වෙන ප්‍රතිපත්තිය දෛනික ජීවිතයට සම්බන්ධකොට ගැනීමෙන්, සමාදන්වීමෙන් ආත්මාභිවෘද්ධිය පමණක් නොව උසස් සමාජ සංග්‍රහයක් ද සපුරාලිය හැකිය. පංචශීලය මෙහි පදනමයි. පන්සිල් ඇතිව ජීවත්වන්නා සමාජයට හිංසකයකු කරදරකාරයෙකු නොවන අතර, මෙත් කරුණාව ඇති ප්‍රියමනාප පුද්ගලයෙක් වෙයි. ඔහුට මෙලොව දියුණුව සඳහා අවශ්‍යයෙන් ම උට්ඨාන වීර්යය, ආරක්ෂාව, කල්‍යාණමිත්‍රතාව, සමජීවිකතාව ළඟා කරගත යුතුයි. දැහැමි ජීවන වෘත්තියක යෙදීම, උපයා සපයාගත් දේ ආරක්ෂාකර ගැනීම, ගුණනුවණින් දියුණු වීම, ජීවිතය සමබරව පවත්වා ගැනීම සඳහා මේ සිවුවැදෑරුම් ගුණාංග මහෝපකාරි වෙයි.

වස්තුවක් තිබීම, ඉන් ප්‍රයෝජන ගැනීම, ණය ගැතිබව, සපයාගත් දෙයෙහි ධාර්මික බව, කම්සැප විඳීන ගිහියාට ඇති සැප සතරකි. සුවපත්ව සමාජ ජීවිතය ගෙවන ඔහු කිසිවිටෙකත් අගතියට නොයා යුතු ය. අගතිගාමි බව තරම් සමාජ අසාධාරණයක් හෝ දුෂණයක් නැති තරම් ය. අගතිය පිටුදැක සිව්සඟරාවතින් යුතුව ක්‍රියාකිරීමෙන් පමණක් සාමකාමි සහජීවනයෙන් පිරුණු සමාජ ප්‍රවර්තනයක් සිදුවේ. සමෘද්ධිමත් සමාජයකට දායකත්වය දිය හැක්කේ මව්පිය - දුදරු, ගුරු - ශිෂ්‍ය, ස්වාමි - භාර්යා, ස්වාමි සේවක, ගිහි පැවිදි වශයෙන් පවත්නා සාමාජික තත්ත්ව වටහාගෙන ඔවුන් වෙත පැවරී ඇති යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමෙනි. මේ පිළිබඳව බුදුදහමේ දක්වා ඇති කරුණු බොහෝ ය.

කෙසේ හෝ අධර්මයෙන් වස්තු රැස්කිරීම බුදුදහම අනුමත නොකරයි. එය කළයුත්තේ ධර්මයෙන් හා ශ්‍රමයෙනි. සූදුවෙන්, වංචාවෙන් කූටකමෙන්, අධර්මයෙන් සම්පත් ලැබිය හැකි නමුත් ඒ සඳහා මිනිසා ස්වකීය සාරධර්මයන් හාරා ඉවත දැමිය යුතු ය. එය මනුෂ්‍යත්වයේ හාස්කමක් නොව පහත්කමකි. වස්තුවෙහි අර්ථයක් තිබේ. එය පරිභෝගයත් පරිත්‍යාගයත් ය. තමන් අඹුදරු මාපියන්, හිතමිතුරන්, කම්කරු, මෙහෙකරුවන් පිනවීම ඉටුකළ යුතු ය. ආපදා විපත් සඳහා වෙන්විය යුතු ය. ආගන්තුකයන්, ඥාතීන්, මියගියවුන්, සඳහා මෙන් ම අයබදු, ආගමික කටයුතු සඳහා ද වැය කළ යුතුය. පුද්ගලයා, පවුල, සමාජය අන්‍යෝන්‍ය වශයෙන් බැ¼දී, පිබිදී ක්‍රියාකිරීමට හේතුවන මේ ඉගැන්වීම් වලින් කෙතරම් උසස් ගුණාත්මක මිනිසකු තැනීමට රුකුල් ලැබේදැයි හොඳීන් පැහැදිලි වේ.

පසුතැවිල්ලට හේතුවන ජීවිතයක් ගතකරන මිනිසකු දැකීම බුද්ධ ධර්මයේ අභිප්‍රාය නොවේ. තෘප්තිමත් ජීවිතයක් ගොඩනගා ගැනීමට නිරන්තර උපදෙස් දීම එකී පිළිවෙළයි. මක්නිසාද? මිනිසත්බව එතරම්ම දුර්ලභ වස්තුවකි. රත්නයකි. ජනසන්ධ ජාතකයෙහි පසුතැවීමට හේතුවන කරුණු දහයක් දක්වා තිබේ. යෞවනයෙහි මතුවට ප්‍රයෝජනවත් සම්පත් හම්බ නොකිරීම, ඉගෙනගන්නා වයසෙහි ඒ සඳහා උත්සාහ නොකිරීම, බොරු කේලම් කියමින් චණ්ඩිකම් කරමින් අල්ලස් කප්පම් ගනිමින් ජීවත්වීම, සත්ව ඝාතන, සොරකම් කිරීම, කාමමිත්‍ථාචාරය, ඇතිවත් දන්පැන් නොදීම, හැකිවත් මව්පිය වැඩිහිටියනට සංග්‍රහ සත්කාර නොකිරීම, පියාට අවමන් කිරීම, සිල්වතුන් ගුණවතුන් නැණවතුන් ඇසුරු නොකිරීම, දුස්චරිතයෙහි යෙදීම යනු ඒ දහයයි. මෙවන් පසුතැවීමක් නැත්නම් අපේ ජීවිතය කෙතරම් පිරුණු එකක්ද ? පිරුණු ජීවිතයකින් මිනිසුන් බහුමානයට පත් කොට ඔවුන්ට සැනසීම ලබාදීම මේ පිළිවෙත් මාර්ගයෙන් අපේක්‍ෂිත අර්ථයයි.

 

 නවම් අව අටවක පෝය


 නවම් අව අටවක පෝය පෙබරවාරි 7 වනදා බදාදා පූර්ව භාග 8.48 ට ලබයි. 8 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම පෙබරවාරි 7 වනදා බදාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]