UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

නවම් අව අටවක 2018.02.07

නිවී ගිය මිණි පහන

සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත බව උදෙසා අමිල මෙහෙවරක් ඉටුකළ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමිපාණන් වහන්සේගේ අපවත්වීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ම සිදු වූ පිරිමැසිය නො හැකි පාඩුවකි.

සිංහල, පාලි, සංස්කෘත, ඉංගි‍්‍රසි ආදී භාෂාවන් හැසිරවීමෙහිලා වියත් පඬිරුවනක් වූ උන්වහන්සේ ආගමික වශයෙන් මෙන් ම භාෂා, කලා, සාහිත්‍යයේ උන්නතිය උදෙසා විසල් මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ යතීන්ද්‍රයන් වහන්සේ නමක් ලෙස ගෞරවයට පාත්‍ර වී සිටිය හ.

ජාතික සංඝ සභාව පිහිටුවීමේ පුරෝගාමී වූ උන්වහන්සේ සම්බුද්ධ ශාසනයට ඇති වූ ගැටලුවල දී නිර්භයව පෙරමුණ ගත්හ. ඒ සඳහා නිවැරැදි නායකත්වයක් ලබා දුන්හ.මිථ්‍යා මත ප්‍රචාරය කරමින් වරින්වර බුදුදහමේ වටිනා සංකල්ප විනාශ කිරීමට උත්සාහ ගත් පිරිස් සෘජුව ම විවේචනය කළ උන්වහන්සේ පෙන්වා දුන්නේ කබලේ බැදෙන කඩල ඇටය රත් වී මොනතරම් උඩ පැන්න ද කබලට හානියක් නො වන්නා සේ, අවසානයේ කඩල ඇටයම බිම වැටෙන්නා සේ බොරුවෙන්, මිථ්‍යාවෙන් මිනිසුන් රවටන අයට ද වන්නේ ඒ ටික ම වන බව ය. උන්වහන්සේ නිරන්තරයෙන් අවධාරණය කළේ මේ ලෝකය පාලනය කරන්නේ ධර්මය මිස අධර්මය නො වන බව ය. අධර්මය ඇති තැන ඇත්තේ විනාශය පමණක් ම වන බව ය.

භික්ෂුන් වහන්සේ නමක් සතු අමිල ධනය, බලය, ශක්තිය කාය වාග් සංවරය වන්නේ ය. අපේ අනු නා හිමියෝ රටේ සමාජයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සෘජුව ම, නිර්භයව රාජ්‍ය නායකත්වයට අවවාද අනුශාසනා ලබා දුන්හ.පෘථුල ලෙස සමාජ සේවයෙහි නිරත වෙමින් දහස් ගණන් ජනතාවට වෙසෙස් සේවයක් කළහ. ජාතික, ආගමික, ශාසනික ගැටලුවලදී සෘජුව ම කතා කළහ. ඒ සෑම අවස්ථාවක ම කාය, වාග් සංවරය ප්‍රදර්ශනය කරමින් උන්වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ ගෞරවය ආරක්ෂා කර ගත් හ. ඒ උන්වහන්සේගේ චරිතයෙහි සුවිශේෂත්වය යි.

තනතුරු, නම්බුනාමයන්ට කිසි විටෙක ඇලුම් නො කළ උන්වහන්සේ මෙරට ප්‍රධාන සංඝ සංවිධානයක් වන කෝට්ටේ ශ්‍රී කාල්‍යණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනු නායක පදවියෙන් ඉල්ලා අස්වීමෙන් දන්වා සිටියේ ඒ තනතුරු හොබවන්නට තව ද සුදුස්සන් සිටින බව ය. ස්වකීය සංඝ සභාවේ කීපවරක් ඉල්ලීම මත නැවත එම තනතුරෙහි කටයුතු කිරීමට කැමැත්ත පළ කර තිබිණි.අප අනු නා හිමිපාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ සංඝ පිතෘවරයාණන් වහන්සේ නමක ලෙස බැබැළුණා විනා තනතුරු නිසා උන්වහන්සේ බැබැළුණේ නැත. උන්වහන්සේ නිසා තනතුරු බැබැළිණි.

කායෙන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු - සාධු සබ්බත්ත සංවරෝ

යන බුදු වදනට අනුව යමින් භික්ෂූන් වහන්සේ නමක සතු ආකල්ප සපුරා ගත්හ. මේ නිසා ම තෛ‍්‍රනිකායික භික්ෂූන් වහන්සේලාගේ සම්භාවනාවට පාත්‍ර වූ හ. සමස්ත භික්ෂූන් වහන්සේලාගේ මෙන් ම මේ රටේ පොදු ජනතාවගේ ද ආදරය, ගෞරවය දිනා ගත්හ.

නිහතමානී ගුණය උන්වහන්සේගේ චරිතයෙහි වඩාත් කැපී පෙනුණ ලක්ෂණයක් විය. ඕනෑම කෙනෙකුට කරුණාවෙන් ඇහුම්කන් දුන්හ. පුවත්පත් සඳහා ධර්ම ශාස්ත්‍රීය ලිපියක්, සමාජ ප්‍රශ්නයක් පිළිබඳ මතවාදයක්, අවශ්‍ය ඕනෑම විටෙක ලබා දෙන්නට උන්වහන්සේ අනලස්ව දැඩි උනන්දුවකින් ඉදිරිපත් වූහ. විශේෂයෙන් දීර්ඝ කාලයක් පුරා බුදුසරණ, සිළුමිණ, දිනමිණ ආදී පුවත්පත්වලට උන්වහන්සේ ලබා දුන් හරබර ලිපි, ධර්ම සාකච්ඡා දේශයක ජනතාව අවදි කරන්නට, ධර්ම ඥානයෙන් පෝෂණය කරන්නට සමත් විය.

පසුගිය දෙසැම්බර් මාසයේ දී රටවල් 39 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් දිල්ලියේ පැවැති ජාත්‍යන්තර බෞද්ධ සංසදයේ සභාපති මණ්ඩලයේ පස්දෙනා අතරට උන්වහන්සේ වැඩි ඡන්දයෙන් තේරී පත් වුව ද ඉදිරියටත් ඒ සේවය ලබන්නට අපි අභාග්‍ය වීමු. උතුම් භික්ෂූ ජීවිතයේ දශක ගණනාවක් ශීල ගුණෝපිත භික්ෂූන් වහන්සේ නමක ලෙස උන්වහන්සේ සිදුකළේ අපරිමිත මෙහෙවරකි. උන්වහන්සේ ගේ අපවත් වීම සසුනටත්, රටටත් බලවත් පාඩුවකි. කළයුතු එක ම දෙය උන්වහන්සේගේ විශිෂ්ඨ ගමන් මඟ අනුව යමින්, උන්වහන්සේ අපේක්ෂා කළ ලෙස සාමකාමී සමගි සම්පන්න ජාතියක් ලෙස ධර්මානුකූලව ජීවත් වීම ය.

අපේ බෙල්ලන්විල විමලරතන අනු නා හිමිපාණන් වහන්සේට උතුම් නිවන්සුව ලැබේවා යි ප්‍රාර්ථනා කරමු.

 

 නවම් අව අටවක පෝය


 නවම් අව අටවක පෝය පෙබරවාරි 7 වනදා බදාදා පූර්ව භාග 8.48 ට ලබයි. 8 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම පෙබරවාරි 7 වනදා බදාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]