UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමාන වත්ථු කතා : දන්දීමේ අනුසස් : ප්‍රථම සුණිසා විමාන වර්ණනාව

විමාන වත්ථු කතා

දන්දීමේ අනුසස් : ප්‍රථම සුණිසා විමාන වර්ණනාව

මුගලන් මහ රහතන් වහන්සේ එක් දෙව්දුවකගෙන් මෙසේ විමසූහ. “පින්වත් දෙව්දුව, මනා රූ සිරින් බබළන ඔබ සියලු දිසා බබළවන්නී ය. ඕසධී තාරකාව මෙන් සිටින්නී ය. කවර හේතුවකින් ඔබට මෙබඳු සිරුර පැහැයක් ලැබුණේ ද? මන වඩන සම්පත් සමෘද්ධිවේ ද? දෙව්දුව, ඔබගෙන් විචාරම්, මිනිස් ලොව සිටිය දී ඔබ කවර පිනක් කළා ද?”

සතුටු වූ සිත් ඇති දෙව් දූ තොමෝ මෙසේ පිළිතුරු දුන්නා ය. ස්වාමීනි, පෙර අත් බවෙහි මම මිනිස් ලොව මිනිස් දුවක් වූ වෙමි.

මම මයිලනුවන් (මාමා) ගේ ගෙයි ලේලියක් වීමි. එහි දී පහ වු කෙලෙස් ඇති, බොහෝ සේ ප්‍රසන්න වූ නො කැළඹුණු සිත් ඇති එක් භික්ෂූන් වහන්සේ නමක් දුටුවෙමි.

කෑම සඳහා මට ලැබුණු කැවුමකින් අඩක් උන්වහන්සේට ප්‍රසන්න සිතින් පූජා කළෙමි. ඒ පිනෙන් අද මම නන්දන උයනේ මෙසේ සතුටු වෙමි. ඒ පිනෙන්ම මාගේ සිරුරේ පැහැය ද මෙසේ වී ය. ඒ පිනෙන් ම ම මාගේ සම්පත් සමෘද්ධ වන්නේ ය. මා කැමැති යම් කිසි සම්පතක් වේ නම් ඒ සම්පත් මට පහළ වන්නේ ය.

මෙම විමානය සම්බන්ධ වූ අටුවා කථාව මෙසේ ය. සැවැත් නුවර විසූ එක්තරා කුල ගෙයක ලේලියක් පෙරවරු කාලයේ තමන්ගේ ගෙයි දොරට පිඬු පිණිස වැඩි මහරහතන් වහන්සේ නමක් දිටී ය. සිතෙහි හටගත්තා වූ දැඩි සතුටකින් පී‍්‍රතියට පත්ව දැන් මට උසස් වූ උත්තම වූ පුණ්‍ය ක්ෂේත්‍රයක් (පින් කෙතක්) එළඹ සිටියේ යැයි සැදැහැ සිතින් ම යුතුව උදේ තමන්ගේ ආහාරයට ලැබුණු කැවුමෙන් භාගයක් ගෙන තෙරුන් වහන්සේට (එකෙනෙහිම) පූජා කළා ය. මහ රහතන් වහන්සේ එය පිළිගෙන පින් අනුමෝදන් කොට වැඩියහ. ඕ තොමෝ ටික කලකින් කළුරිය කොට තව්තිසා දෙව්ලොව ඓශ්චර්යයන්ගෙන් යුතුව පහළ වූවා ය.

මේ කතාව ඇසුරෙන් මතු කරගත හැකි දහම් කරුණු කීපයකි.

කරුණු තේරුම් ගත හැකි වයසේ සිට හෝ වැඩිහිටි වයසේ දී හෝ දන්දී මෙහි වටිනාකම තේරුම් ගත් දින සිට අපි දීමට කැමති අය විය යුතු වෙමු. වීර්යයෙන් යුතුව කැමැත්ත දිගට පවත්වාගෙන යාමෙන් නිරායාසයෙන් ම ඔවුන්ගේ අත් දෙන්නට දිගු කළ දෑත් ඇත්තෝ වන්නෝ ය.

ඉහත කතාව අනුව ඇය තම ගෙදරට වැඩියේ මහ රහතන් වහන්සේ නමක් ම දැයි නො සිතන්නට ඇත. මාර්ගඵලලාභී පැවිදි උතුමක් බාහිර ස්වරූපයෙන් හඳුනා ගැනීමට විශේෂයෙන් පෘථග්ජන අයෙකුªට තබා සෝවාන්, සකදාගාමි ඵල උතුමෙකුට වුව ද අපහසු විය හැකි බව ධර්මයේ කිය වේ. ‘ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඔහුගේ පරලොව ගමන කෙසේ වී දැයි’ භාග්‍යවතුන් වහන්සේගෙන් භික්ෂූන් වහන්සේලා පවා විමසූ අවස්ථා ත්‍රිපිටක සාහිත්‍යයේ ඇත. අප අද ද විහාරයේ දී හෝ ගෙදර වඩමවා හෝ දානයක් භික්ෂූන් වහන්සේලාට පූජා කරන විට ස්වාමීන් වහන්සේලා දායක අප දැනුවත් කරනුයේ පින්වත්නි, ඔබලා විසින් දෙන මේ දාන වස්තු සියල්ල මෙහි වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානයක් ලෙස නො සිතන්න. අතීතයේ වැඩ සිටි කොණ්ඩඤ්ඤ සැරියුත් – මුගලන් ආදී මහරතන් වහන්සේලාගේ සිට එම පරම්පරාවෙන් පැවැත එන මහා සංඝයාට මෙන්ම අනාගතයේ වැඩ සිටිය හැකි භික්ෂූන් වහන්සේ දක්වා දෙන දානයක් සේ තම සිත් හදා ගන්නා ලෙස කරන අනුශාසනාව ඔබ අසා ඇත්තේම ය. එයින් උන්වහන්සේලා අපට සිහි ගන්වන්නේ කුමක් ද? දානයේ ආනිසංස මහත්ඵල ගැන්වීමක් නො වේ ද? මේ දෙන දාන වස්තු සියල්ල එදා ජීවමානව වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සඟ ගණ පිරිසටත් පූජා කරන බව සිහිකරගන්නා ලෙස නො වේ ද? එහෙයින් තමා සාධාරණව උපයා ගත් සම්පතින් (මේ කතාවේ දී නම් නිවසට බැහැරින් පැමිණි අයෙකු වූ ලේලියට එම නිවසේ සිත් වූ පරිදි කටයුතු කිරීමට ඇති නො හැකියාව මත තමාට එදා ආහාරයට ලැබුණු කැවුමෙන් අඩක් වෙන් කිරීමට සිත සකස් වීම සාධාරණ උපයා ගැනීමකි)දෙන දානයක දී තමාට හැකි පරිදි ඉතා පිරිසුදුව, උසස් ම ලෙස දන් පිළිගැන්විය යුත්තේ අනුශාසනාව පරිදි බව සිතා ගතහොත් ඔබ අප දෙන දන් පින්කම් වලදී ලබාගන්නා ආනිසංස ද උසස් වන්නේ ම ය.

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]