UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 79: බුදුරජාණන් වහන්සේ වැළඳූ අවසන් දානය

බුදුපිළිමයේ උපත - 79:

බුදුරජාණන් වහන්සේ වැළඳූ අවසන් දානය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

“කෙතරම් ආශ්චර්යවත් ද? අද්භූත ජනකද? තථාගතයාණන් වහන්සේගේ ඡවි වර්ණය කෙතරම් පවිත්‍ර ද? කෙතරම් දීප්තිමත් ද? මේ මටසිළිටි රන් පැහැති සළු දෙක ඔබ වහන්සේගේ ශරීරයෙහි තැබූ විට එය ගිනිදැල් වී නිවී ගිය අඟුරු ගොඩක් මෙන් පෙනේ."

පුක්කුස මල්ලරාජපුත්‍රයා බුදුරජාණන් වහන්සේ අසල ම සිට වෙනත් අයකු අමතා මිත්‍රය මෙහෙ එන්න, ගිහින් අඳින්න හොඳ මටසිළිටි රත්රන් පාට සළු දෙකක් ගෙන එන්න යැයි කීවේ ය. ඔහු එම සළු දෙක ගෙන පැමිණියේ ය. ඔහු එම සළු දෙක ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය.

“ස්වාමීනි, මට අනුකම්පා කොට අඳින්නට සුදුසු, රන් පැහැති මේ මටසිළිටි සළු දෙක පිළිගනු මැනවි”යි ඉල්ලා සිටියේ ය.


ගන්ධාර බුද්ධ ප්‍රතිමා වහන්සේ
(ජාතික කෞතුකාගාරය - කරච්චි)

භාග්‍යවතුන් වහන්සේ පුක්කුස මල්ලරාජට මෙසේ වදාළහ. “එසේ නම් එකකින් මාව පොරවන්න. අනිකෙන් ආනන්ද පොරවන්න යැයි වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉන්පසු ධර්ම දේශනයෙන් පුක්කුසට කරුණු පහදා ඒත්තු ගන්වා උනන්දු කරවා පුක්කුස සතුටට පත් කළ සේක. එසේ සතුටට පත් පුක්කුස නම් වූ මල්ලරාජ පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. (මහා පරිනිබ්බාන සූත්‍රය – සනත් නානායක්කාර පිටු 67-68-1999 බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය)

පුක්කුස මල්ලරාජ පුත්‍රයා එයින් නික්ම ගිය පසුව ආනන්ද ස්වාමීන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ අතර සිදු වූ එක්තරා සිදුවීමක් මහා පරිනිබ්බාන සූත්‍රයෙහි ම සඳහන් වේ. එය මෙසේ ය.

“පුක්කුස නික්ම ගොස් නොබෝ වේලාවකින් ආනන්ද ස්ථවිරයෝ ඉහතින් සඳහන් කරන ලද ඒ සළු දෙක භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි තැබූහ. භාග්‍යවතුන් වහන්සේ ගේ සිරුරෙහි තබන ලද එම සළු දෙක ගිනිදැල් නිවුණ ගිනි අඟුරු ගොඩක් මෙන් දිස් විය. එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ මෙසේ කීහ.

“කෙතරම් ආශ්චර්යවත් ද? අද්භූත ජනකද? තථාගතයාණන් වහන්සේගේ ඡවි වර්ණය කෙතරම් පවිත්‍ර ද? කෙතරම් දීප්තිමත් ද? මේ මටසිළිටි රන් පැහැති සළු දෙක ඔබ වහන්සේගේ ශරීරයෙහි තැබූ විට එය ගිනිදැල් වී නිවී ගිය අඟුරු ගොඩක් මෙන් පෙනේ.

“ඔව් ආනන්ද? අද රාත්‍රියේ අවසන් යාමයේ කුසිනාරාවේ මල්ලවයන්ගේ උපවර්තන නම් සල් උයනේ සල් ගස් දෙක අතරේ දී තථාතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන්නේ ය. එන්න ආනන්ද අපි කුකුත්ථා නදිය වෙත යමු” යැයි .වදාළ සේක. එහෙමයි ස්වාමීනි යැයි ආනන්ද ස්ථවිරයෝ පිළිතුරු දුන්හ.

කුකුත්ථා නදියට ගිය බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේට ද අනෙකුත් මනුෂ්‍යයන්ට මෙන් ම තමන්ට සිදුවන මේ සිදුවීම් ගැන ජනතාවට අවබෝධයක් ලබාදීම පිණිස මෙම ක්‍රියාවලිය වැදගත් වන්නේ ය. කුකුත්ථා නදිය දෙසට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේද තවත් භික්ෂූන් ද පිරිවරා වැඩම කළහ. කුකුත්ථා නදියට බැස පැන් වළදා පැන් සනහා එහි අඹ උයනට වැඩම කළහ. එහි දී චුන්දක තෙරුන් අමතා “චුන්දක සඟල සිවුර සතරට නමා අසුනක් පනවන්න. ක්ලාන්තයි. මදක් ශයනය කරමි යි කීහ. භාග්‍යවතුන් වහන්සේ අසුනෙහි පාදය මදක් මෑත් කොට ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් යුතුව නැගීසිටිමි යන සංඥාවෙන් දකුණු ලයෙන් සිංහ ශෙය්‍යාවෙන් ශයනය කළහ. අනඳ තෙරුන් ඇමතු භාග්‍යවතුන් වහන්සේ කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කළහ. මෙයින් පළමු කරුණ වූයේ, චුන්ද කර්මාර පුත්‍රයාගේ දානයයි. (බුදුන් වදාළ බුද්ධ චරිතය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි සහ කීර්ති නාරම්පනාව පි. 225-1999)

චුන්ද ස්ථවිරයෝ මේ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි හිඳ ගත්හ. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් ඇමතු සේක.

“හිතවත් චුන්ද, ඔබේ අවසාන පිණ්ඩපාතය වළඳා තථාගතයාණෝ පිරිනිවන් පෑ සේක් ද එයින් ඔබට අත්වන්නේ පාඩුවකි, නරකකි යැයි පවසා යමෙක් චුන්දයන් තුළ පසුතැවීමක් ඇති කිරීමට ඉඩ ඇත. ඔහු තුළ එබඳු පසුතැවීමක් ඇති වුවහොත් එය පහ කළ යුතු ය.

“චුන්ද ඔබේ අවසන් පිණ්ඩපාතය වළඳා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක් ද එය ඔබ ලැබුවා වූ ලාභයකි. එය ඔබට අත්වූ යහපතකි.

ඇවැත්නි, චුන්ද වෙනත් පිණ්ඩපාතයන්ට වඩා මහත්ඵල මහානිශංස ඇති සමඵල සම විපාක ඇති පිණ්ඩපාත දෙකක් වේ. එනම් යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයාණන් වහන්සේ අනුත්තර සම්බෝධිය සාක්ෂාත් කරන සේක් ද යම් පිණ්ඩපාතයත් වළඳා උන්වහන්සේ අනුපාදිසේස පරිනිර්වාණයට පත්වනසේක් ද ඒ පිණ්ඩපාත දෙක සෙසු පිණ්ඩපාතයට වඩා මහත්ඵල සහිත ය. මහානිශංස සහිත ය. සමඵල සම විපාක සහිතය යි මම භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සිට අසා පිළිගත්තෙමි. චුන්ද ඔබ විසින් දීර්ඝායුෂ ලැබීමට සැප, පැහැය, යශස ශ්‍රේෂ්ඨත්වය ලැබීමට හේතුවන කර්මයන් රැස් කොට ඇත. මෙසේ කියා චුන්දයන්ගේ පසුතැවීම පහ කළ යුතු ය. (මහාපරිනිබ්බාන සුත්ත පි. 210)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 78: චුන්දකර්මාර පුත්‍ර කතාව

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]