UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආරෝග්‍ය පරමාලාභා

ආරෝග්‍ය පරමාලාභා

සිතෙහි උපදින සිතිවිලි දෙවර්ගයකි. සතුරු සිතිවිලි හා මිතුරු සිතිවිලි යනුවෙනි. තරහව, දුක, මැලිකම, අතෘප්තිය, ආශාව, බිය, මුලාව වැනි හැඟීම් සතුරුය. තමන්ටද, අනුන්ටද, සතුරුය. යහපැවැත්මට දියුණුවට බාධා ගෙන දෙන්නේ ය.

සතුරන් හඳුනා ගත් විට ඔවුන් දුරස් කිරීම, ඇසුරින් මිදීම යහපතට හේතුය. සිතෙහි උපදින සතුරු සිතිවිලි ද ජීවත් නොකළ යුතුය. පෝෂණය නොකළ යුතුය. වර්ධනය වන්නට උදවු, උපකාර නොකළ යුතුය. ඊර්ෂ්‍යාව, මානය, මුලාව, කුහකම ආදී සතුරු හැඟීම් සිත වෙහෙසයි. අපිරිසුදු කරයි. රෝගි කරයි. දුම් බීමට, මත් විෂට, පමණ ඉක්ම වූ ආහාරයට පෙළඹෙන සිත නවතාලිය යුතුය. ඒ හැඟීම් වර්ධනයට ආධාර නොකළ යුතුය.

එහෙත් අප වැඩිපුර පෙළඹෙන්නේ එම සිතිවිලි මිතුරු යයි, පිනවීම් යැයි සිතමින් එහිම ඇලීමය. මේවා ජිවිතය වනසන සතුරන් බව හඳුනා නො ගැනීමය.

සතුරු සිතිවිලි මැඩ පවත්වන අතරම මිතුරු සිතිවිලි හඳුනා ගැනීමද වැදගත්. දියුණුවට, ආරක්ෂාවට, තමන්ගේ යහපතට, අනුන්ගේ යහපතට හේතුවන වීර්යය, විශ්වාසය, සතුට, අවබෝධය මිතුරු සිතිවිලිය. ඒවා ළං කර ගත යුතුය. දිනෙන් දින වර්ධනය කළ යුතුය. පෝෂණය කළ යුතුය. එවිට ජීවිතයට සාර්ථක බවක් ළඟා කරගත හැකි වන්නේ.

වැරැදි යැයි සම්මත දේ සිතීම, ක්‍රියාවට නැඟීම නිසා බිය උපදවයි. ඒ ගැන ගැඹුරින් සිතන්න. නොකඩවා සිතන්න. බිය ජනක දේ පිළිබඳව ගැඹුරින් අවබෝධ නොකිරීම තවත් ගැටලු වලට මුලය. දුක් විඳීම්වලට මුලය.

කෙනෙක් සමඟ ඇති කර ගන්නා තරහව අනාගත ගැටුමක ආරම්භය යි. පහරදීම් හෝ අපරාධවලට මුල්වෙයි. එය තමන්ගේ සිතටද පීඩාවක් ගෙන දේ. දිගු කාලයක් තරහ යාම නිසා කායිික රෝග (පිළිකා රෝග, හදවත් රෝග ආදී) මෙන්ම මානසික රෝගද ඇතිවීමට එම මානසික තත්ත්ව බලපෑමට ඉඩ තිබේ. අසුභ හැඟීමෙන් සිතන තරහ නිසා වන හානිය පිළිබඳව ගැඹුරින් සිතන්න. අවබෝධ කර ගන්න. එවිට ඉදිරියේ ඇති විය හැකි හානි වැළකේ. සුළු තරහ සිතිවිල්ලක් නිසා වැරැදි කර පොලීසියට යාම, සිරගත වීම, දඬුවමට අපහාසයට ලක්වීම නොසිතූ ලෙස සිදුවීමට ඉඩ ඇත. වරදෙහි විපාකවල බියජනක බව ගැන අවබෝධ කර ගන්නට උත්සාහ කළේ නම් ගැටලු වළක්වා ගැනීම අසීරු නොවේ.

කායික රෝග බිය, ග්‍රහ අපල බිය, විභාග බිය, මිථ්‍යා විශ්වාස නිසා වන බිය, සමාජ බිය ආදී සිතිවිලි මුල් වී ඇතිවන ගැටලු ද වත්මන් සමාජයේ බහුල ස්වභාවයන්ය. මේ නිසා වර්තමානයේත්, අනාගතයේත් විය හැකි හානිකර තත්ත්වයන් අවබෝධ කර ගැනීමට සමත් අය ඒ බියෙන් මිදෙති. ගැඹුරු අවබෝධයක් සමඟ අදාළ ගැටලුවලට විසඳුම් සොයා ගනිති.

වැරැදි හෝ අසම්මත දෙයකට “මට වරදක් වෙන්නේ නැහැ” කරදරයක් වෙන්නේ නැහැ”, “ මම බය නැහැ” ,“ඕනෑම දෙයක් වුණොවේ” යි යනාදී වශයෙන් බයක් නැති බව සිතීම මුලාවක් මිස වීරත්වයක් හෝ බිය අවබෝධ කර ගැනීමක් නොවේ. දුම්පානය, මත් භාවිතය, ආහාරයෙහි ගිජු බව, වැරැදි ආකාරයට ආශාවන් ඉටුකර ගැනිමට ඇතැම් අය පුරුදු වි ඇත. වීරත්වයක් ලෙස සිතීමට පුරුදු වී ඇත. ඉන් තමන්ට සේම අනුන්ටද වන හානිය බරපතලය.

නිරන්තයෙන් බුදුගුණ සිහිපත් කරනවා නම් ඒ අසිරිමත් බුදුගුණ තමන් කෙරෙහි අංශු මාත්‍රයකින් හෝ හුරු පුරුදු කරනවා නම් සිත කිළිටි කරන සිතිවිලි දුරු කිරීම, ගැටලු විසඳා ගැනිම පහසු වනු ඇත.

 

ඇසළ අමාවක පෝය


ඇසළ අමාවක පෝය ජූලි 22 වනදා සෙනසුරාදා අපරභාග 6.27 ට ලබයි. 23 වනදා ඉරිදා අපරභාග 03.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 23 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 30 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]