UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොරු සිල් එපා

බොරු සිල් එපා

ආදරණීය දුවේ, පුතේ අදත් මම පුංචි ඔයාලට කියා දෙන්නේ ජීවිතයට ආදර්ශමත් වෙන ජාතක කතාවක් ගැනයි. මේ තමන්ගේ ළඟ නැති ගුණයන් පෙන්වමින් අනිත් අය රවටමින් ජීවත් වුණු, අවසානයේ ඒ නිසාම මරණයට පත්වූ සිවලකු පිළිබඳ කතා පුවතක්.

ඉස්සර බරණැස් නුවර බඹදත් නම් රජෙක් රජකම් කළා. ඒ කාලයේ බෝධි සත්ත්වයෝ මීයෙකු වී ඉපදුණා. ශරීර ප්‍රමාණයෙන් විශාලව දහසක් පමණ වූ මී රංචුවකට නායකයාව මහා තුඹසක වාසය කළා. දවසක් ආහාර සොයමින් ගිය සිවලකුට මේ මී රංචුව දකින්නට ලැබුණා. උපායක් යෙදුවේ නම් මොවුන් හැම දෙනාම රවටා පහසුවෙන් ගොදුරු කර ගන්නට පුළුවන් කියා කල්පනා කළා.

ඉතින් පුතේ, දුවේ දවසක් මේ සිවලා බෝසත් මී නායකයා යන මාර්ගය අසල නැගෙනහිරට මුහුණලා කට අයාගෙන පාද තුනක් ඔසවාගෙන එක පයින් සිටගෙන සිටියා. බෝසත් මී නායකයතුමා එක පයින් සිටින මේ සිවලා සමීපයට ගිහින් ‘නුඹ කවරෙක්දැයි’ ඇසුවා. ‘මම ධාර්මික නම් තවුසෙක්මි’ සිවලා උත්තර දුන්නා. ඉතින් මේ දෙදෙනා අතර සංවාදයක් ඇති වුණා.

තවුසාණෙනි, ඔබ එක පයින් සිටින්නේ ඇයි? මී නායකයා ඇසුවා. මා සතරපයින් සිටියහොත් පොළොවට උසුලා ගත නොහැකි වන නිසයි, සිවලා පිළිතුරු දුන්නා.

“එතකොට ඔබ කට අයාගෙන සිටින්නේ ඇයි? මම සුළඟින් යැපෙන නිසා සුළං අල්ලා ගැනීම පිණිසයි. නැගෙනහිරට මුහුණලා සිටින්නේ ඇයි. හිරු දෙවියන්ට ගෞරව කිරීම පිණිසයි.

මේ කතාව ඇසූ මී නායකයා සිවලා කියන්නේ සත්‍යයක් යැයි පිළිගෙන "මේ යහපත් ගතිගුණ ඇත්තෙක්." යයි විශ්වාස කළා. එතැන් සිට මී නායක තුමා තම පිරිස සමඟ දවසට දෙවරක් පැමිණ ඔහුට ගෞරව කරන්න පටන් ගත්තා. ඒ හැම අවස්ථාවකම සිවලා තමන් කරා පැමිණ ආපසු යන මී රංචුවෙන් අන්තිමට යන මීයකු අල්ලාගෙන කා නැවතත් තාපස ඉරියව්වෙන් සිටියා. ඉතින් පුතේ, දුවේ ටික කාලයක් ගියවිට තම පිරිසේ සංඛ්‍යාව අඩු වී ඇති බව හැඟුණු මීයෝ සිය නායකතුමාට මෙසේ කිව්වා.

‘ස්වාමිනි’ පෙර, අප මේ තුඹසේ වාසය කළේ තෙරපි තෙරපී එකිනෙකාගේ සිරුරු මත හැපෙමින්. දැන් එවැන්නක් නැහැ. පිරිස තුනී වී ගිය බවක් පේනවා.තුඹස තුළ බොහෝ ඉඩ තිබෙනවා. මේ ගැන සොයා බලනු මැනවි.’

ඒ කතාව ඇසූ මේ නායක මීයා පිරිස අඩු වීමට හේතුව සිවලාගෙන් සිදුවන උවදුරක් බව සිතා ඒ ගැන පරීක්ෂා කරන්න අදහස් කළා.

පුතේ, දුවේ දිනක් සිවලා දැකීමට ගොස් ආපසු යන ගමනේ දී නායක මීයා සෙසු මීයන් හැමදෙනා ඉදිරියෙන් යවා තමන් සැමට පසුව ගමන් කළා. සිවලා වෙනදා මෙන් පසුවී ගිය නායක මීයා මතට පැන්නා. සූදානමින් සිටි නායක මීයා සිවලාගෙන් ගැලවුණා. නුඹ මෙතෙක් රැක ඇත්තේ බළලුන් රකින සීලය වැනි බොරු තවුස් දහමක්. අනුන් රවටා කළ වංචාවට සිවලාට දඬුවම් කළා.

බලන්න පුතේ, දුවේ, වංචාවෙන්, බොරුවෙන් ජීවත් වුනු සිවලාට වූ දේ. අද සමාජයේත් මේ වගේ අය ඕනෑතරම් ඉන්නවා. හුඟක් අය තමන් අනිත් අයට උදව් කරන මුවාවෙන් ඒ පුද්ගලයන් රවටනවා. අද එලෙස බොරුවෙන් අනිත් අය රැවටුවත්, ඔවුන්ටත් වරදින වෙලාවක් එනවා. සිතන්නෙවත් නැති වෙලාවක ඔවුන් කරන ලද වැරදි වලට දඬුවම් විඳින්න වෙනවා.

පුතේ කවදාවත්ම තවත් කෙනෙක් බොරුවෙන් රවටන්න එපා. අපි බොදු දරුවෝ. එහෙම ක්‍රියාවක් දුටු වෙලාවකදී අනිත් අයට කියන්න එහෙම කරන්න එපා කියලා. ඒ වරද පෙන්වා දෙන්න.

මම දන්නවා මේ ලිපි කියවන දුවලා පුතාලා, ඒ වගේම වැඩිහිටියොත් තමන්ගේ ජීවිතවලට මේ දහම් කරුණු එකතු කරගෙන ජීවිත ආලෝකමත් කරගන්න කටයුතු කරනවා කියලා.

ඔබට තෙරුවන් සරණයි !

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]