UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රබෝධය

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය අප ලංකාද්වීපයට හඳුන්වාදීමේ අදහසින් වැඩම කිරීමෙන් අනතුරුව විවිධ මිථ්‍යා දෘෂ්ටික මත හා විශ්වාසයන්හි ගැලී සිටී මෙරට ජනතාවට අර්ථවත් වූ මහඟු ජීවන දර්ශනයක් උරුම වූ අතරම තවත් බොහෝ දායාදයන්ද බුදු සසුන ලැබීමත් සමඟ දායාද විය.

මිහිඳු මහරහතන් වහන්සේගේ සොහොයුරියක වන සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩමවූ බුදුරජාණන් වහන්සේගේ අනිමිසලෝචන පූජාවෙන් පිදුම් ලත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවද අපට උරුම විය.

බුදුදහම මෙරට ජන ජීවිතවලට සම්බන්ධවීමට ප්‍රථම මෙහි වාසය කළ විවිධ මිථ්‍යා විශ්වාසයන්හි ඇලී සිටි ජනයා නිවැරැදි, අවබෝධයකින් තොරව මහා විශාල ගස්, ගල්, පර්වත වැනි ස්වභාවික වස්තුන්ට මෙන්ම අදෘෂ්‍යමාන බලවේගයනට වැඳුම් පිදුම් කළහ. ජනතාව අර්ථවත් බෝධි වන්දනාවකට යොමුකරලීමට ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමත් වූහ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ගෙන පැමිණීමත් සමඟ උන්වහන්සේගේ තේවා කටයුතු සඳහා විශේෂයෙන් හැඩ ගැසුණු නිර්මාණ ශිල්පීන් පිරිසක් ද ලක්දිවට පැමිණියහ. මෙසේ පැමිණී ඔවුන්ගේ දෑතින් නිමවුණු විවිධ ක්ෂේත්‍රයන්ට අයත් නිර්මාණයන් අදටත් අපට දැකබලාගත හැකි ය.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය මහා කළු ගල් මත නිරූපණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් නිමැවුණු අවුකන බුදු පිළිමය, සමාධි පිළිමය ආදී පිළිම වහන්සේද සඳකඩ පහණ, මුරගල කොරවක්ගල්, ආදී කැටයම් ශිල්පයේ ප්‍රමුඛස්ථානයක් ගත් නිර්මාණයි.

ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීම මෙරට ආර්ථික, සාමාජික, සංස්කෘතික අංශයන්හි යහපත් වර්ධනයට ඉවහල් විය. බෝධීන් වහන්සේ වැඩමවීමෙන් මෙරට නව ප්‍රබෝධයක් ඇති වූ බව විශේෂයෙන් සිහිපත් කළයුතු වෙයි.


පොසොන් උදාවයි මිහින්තලාවයි

තුන්වැනි ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයක් ලෙස, ධර්මාශෝක රජුගේ අනුග්‍රහය ඇතිව, මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස අපේ රටට වැඩම කළේ අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස නිරිඳුගේ රාජ්‍ය පාලන සමයේ ය. මිහිඳු හිමියන් රජුට දහම් අවබෝධ කර දී ඔහු බෞද්ධ උපාසකයකු බවට පත් කර දෙවනුව බුදුසමය ලංකාව තුළ පිහිටුවීය.

අපේ ජාතික ඉතිහාසය සමඟ අවියෝජනීය අයුරින් බද්ධ වී ඇත්තේ බුදු දහමයි. “මිහින්තලාවයි දහම් අමාවයි” යනුවෙන් ගත් කතුවරුන් විසින් පෙන්නා දෙන අයුරින් මිහින්තලා පුදබිම වන්දනාමාන කර ගැනීමට සැදැහැවත් බැතිමත්හු පැමිණෙති. එහිදී ඔවුන්ට කණ්ඨක චෛත්‍ය, මිහිදු ගුහාව, අම්බස්ථල දාගැබ, ආරාධනාගල, මහාසෑය, සිංහ පොකුණ, ආරෝග්‍ය ශාලාව, ධාතු මන්දිරය නාග පොකුණ” ආදී බොහෝ ස්ථාන නැරඹීමට පුළුවන. එහෙත් මේවා නැරඹීමට යන අප සියලු දෙනා මතක තබා ගත යුත්තේ මෙම වටිනා පෞරාණික ස්ථානවලට හානි නොකර ආරක්ෂා කර ගැනීමටයි.

ශ්‍රී සද්ධර්මයෙන් ඒකාලෝක වූ බුදු හිමියන්ගේ අමා දම් රසය පැතිර වූ මේ පොසොන් සමයේ මෙන්ම හැම දිනකදීම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බුදුහිමියන් වදාළ ශ්‍රී සද්ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අදිටන් කර ගනිමු.


බෝසතුන් දුටු සිහිනය

වෙසක් මාසේ පුර පසළොස් පොහොයයි
බෝසත් තෙම රෑ යාමයේ සැතපෙයි
අරුතැති සිහින පහක් හිමි දුටුවයි
අවදි වී එහි අර්ථය ගැන විමසයි

පොළෝ තලය යහනාවක් වෙනවා
හිමාල පර්වත කොට්ටය වෙනවා
වම් අත පෙර දිග මුහුදෙහි වෙනවා
අව දිග මුහුදෙහි දකුණත වෙනවා

දකුණු දිග මුහුදෙහි දෙපා විහිදී ඇත්තේ
එහි අර්ථය බෝසත් හිමි වටහා ගත්තේ
සම්බුදු පදවිය ලැබුමට හැකි වන්නේ
සිහිනෙහි අරුත් මෙලෙසින් වටහා ගත්තේ


වෙසක් අසිරිය

සිදුහත් කුමරුගේ ඉපදීම, සිදුහත් බෝසතාණන් වහන්සේගේ බුදුවීම, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන තෙමඟුල සිහි කරමින් ලෝකවාසී සියලු දෙනාම වෙසක් පොහොය සමරති. බෞද්ධයාගේ ශාස්තෘන් වහන්සේ වූ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශේෂිත වූ අවස්ථා කිහිපයක් අප සමරන්නේ එදිනටය. වෙසක් පොහොය යෙදී තිබෙන්නේ මැයි මාසයේ ය. එදිනට සෑම බෞද්ධයෙක්ම පාහේ පන්සල් යති. උපාසක උපාසිකාවෝ සිල් සමාදන් වෙති. වෙසක් කූඩු, වෙසක් තොරණ, දන්සල් දීම ආදී දේ වෙසක් පොහොය දින සිදු කෙරේ.

ඝන්ඨාර නාදය දසත පැතිරෙයි. සෑම ගසක්ම මලින් හා ගෙඩි වලින් බර වෙයි. වෙසක් සමයේ අපගේ හිතවත් යහළුවන්ට වෙසක් සුබ පැතුම් යවන්නේ ඉතාම ආසාවෙනි. බෞද්ධයන් වූ අප සැම උතුම් වෙසක් පොහොය සමරනු ලබන්නේ ඉතාමත් ගෞරවයෙනි.


සසුන ඔපවත් කළ දුටුගැමුණූු රජතුමා

අපේ රට පාලනය කළ රජවරු අතර දුටුගැමුණු රජතුමාට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. රුහුණු රට රජකම් කළ කාවන්තිස්ස රජතුමා මොහුගේ පියායි. මව විහාරමහා දේවියයි. ගැමුණු කුමරුට තිස්ස නම් බාල සොහොයුරෙකු ද විය.

එකල ‘පිහිටි රට’ රජකම් කළේ අසේල නම් රජෙකි. මේ කාලයේ ඉන්දියාවේ සිට විශාල සේනාවක් රැගෙන ලංකාවට පැමිණි එළාර නම් ද්‍රවිඩ රජු අසේල රජු පරදවා රජකමට පත් විය. ඔහු ධර්මිෂ්ඨ පාලකයෙකු වූ නමුත් ඔහුගේ සේනාව රටවැසියන්ට කරදර කළහ.

රුහුණු රට සිටි ගැමුණු කුමාරයා එළාර රජු සමඟ සටනට යාමට පිය රජුන්ගෙන් අවසර ඉල්ලුවේ ය. එහෙත් ඊට අවසර නොලැබුණු විට බහින් බස් වී ගැමුණු කුමරු පලා ගොස් සැඟ වී සිට පිය රජුගේ මරණයෙන් පසු නැවත රුහුණට පැමිණ රජකම භාර ගත්තේ ය.

පසුව දුටුගැමුණු රජතුමා එළාර රජු සමඟ සටනට යෑමට සූදානම් වූයේ ය. සොහොයුරු සද්ධාතිස්ස කුමාරයා දිගාමඩුල්ලේ ගොවිතැන් කරවමින් යුද්ධයට අවශ්‍ය ආහාර සැපයීය. දුටුගැමුණු රජතුමාට දසමහ යෝධයින් නමින් හැඳින් වූ දක්ෂ සෙනෙවිවරුන් දස දෙනෙක් ද සිටියහ.

විශාල සේනාවක් සමඟ විජිත පුරයට ගිය එතුමා විජිත පුරයේ වූ එළාර රජුගේ බළකොටුව යටත් කර ගත්තේ ය. ඉන්පසු අනුරාධපුරයට ගොස් එළාර රජුගේ සේනාවට මුහුණ දුන්නේ ය. එහිදී ද්‍රවිඩ සේනාව පරාජයට පත් විය. ගැමුණු රජතුමා සතුරාට පවා ගරු කරමින් එළාර රජුගේ දේහය රාජ්‍ය ගෞරවය සහිතව ආදාහනය කළේ ය.

ඉන්පසු රුහුණු, පිහිටි, මායා යනුවෙන් වෙන්ව තිබූ ශ්‍රී ලංකාවම එකම රාජ්‍යයක් යටතේ එක්සේසත් කිරීමට දුටුගැමුණු රජතුමාට හැකි විය. බුදු සසුනේ දියුණුවටද විශාල සේවයක් කළ එතුමා මිරිසවැටිය රුවන්වැලි මහා සෑය වැනි ස්තූපද, ලෝවාමහාපාය වැනි මන්දිරද ඉදිකිරීමට මුල් විය. ශ්‍රී ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨ රජෙකු වශයෙන් දුටුගැමුණු රජතුමාගේ නාමය අපට කිසිදිනක අමතක නොවේ.


සාලිකේදර ජාතකය


 

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]