UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය:- 4 :   රාජ්‍යත්වයට උරුමකම් පෑමට හේතු වූ දළදා වහන්සේ

රාජ්‍යත්වයට උරුමකම් පෑමට හේතු වූ දළදා වහන්සේ

මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව ලංකාවේ රාජ්‍යත්වයට පත්වූ නිශ්ශංකමල්ල රජතුමා දළදා පූජාව පැවැත්වීමෙහි විශේෂ ලැදියාවක් තිබූ රාජ්‍ය නායකයෙකු ලෙස මහා වංශයේ සඳහන් වේ.රජුගේ පුතනුවන් වන වීරබාහු මහාආදිපාදවරයා සහ කුමරිය වූ සර්වාංග සුන්දරී නමින් හැඳීන්වූ කුමරියත් වර්තමානයේ නටබුන් ලෙස පවතින පොළොන්නරුවේ හැටදාගෙය නම් දළදා මන්දිරය කරවා දළදා වහන්සේට පූජා කළ බව එහි සෙල්ලිපියක සඳහන් වේ.

එසේම දළදා පෙරහර වීදි සංචාරය කරවා සැදැහැතියන් උදෙසා දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සලසාදී තිබේ. ඉන් පසුව විජයබාහු රජතුමා පොළොන්නරුවේ දළදා මන්දියරයක් කරවා උසස් අන්දමින් දළදා පූජාවන් හා පෙරහර පවත්වා ඇති බවට මහා වංශයේ තොරතුරු සඳහන්වේ. මේ ආකාරයට පොළොන්නරු රාජධානි සමයේ සිටි සෑම රාජ්‍ය පාලකයෙක්ම දළදා වහන්සේ උදෙසා පැවැත්වූ පුද පූජාවන් පිළිබඳ මනාව පැහැදිලි කළ හැකිය. පොළොන්නරු රාජධානි සමයේ ලංකාවේ ඇති වූ විදේශීය ආක්‍රමණ කාලිංග මාඝ යන ආක්‍රමණිකයාගේ ආක්‍රමණ හේතුවෙන් දළදා වහන්සේ කොත්මලේ ප්‍රදේශයට වැඩමවාගෙන ගොස් තිබේ.එහිදී වාගීිෂ්වර නම් හාමුදුරුනමක් විසින් දළදා වහන්සේ ආරක්ෂා කරගෙන සඟවා තබාගෙන සිටි බවට තොරතුරු සඳහන්ය කාලිංගමාඝගේ ආක්‍රමණයෙන් රට බේරාගැනීම සඳහා ඉදිරිපත් වුණු තුන්වෙනි විජයබාහු රජතුමා දඹදෙණිය රාජධානිය කරගනිමින් පොළොන්නරු රාජධානි සමයේ සිට රාජ්‍යයත්වයට උරුමකම් පෑමට හේතුවක් වූ දළදා වහන්සේ කොත්මලේ සිට දඹදෙණියට වඩමවා බෙලිගල් නුවර ප්‍රදේශයේ විශාල දළදා මාලිගාවක් ඉදිකොට දළදා වහන්සේ එහි තැන්පත් කර පුද පූජාවන් පැවැත්වූ ආකාරය සඳහන් වෙයි.

දළදා වහන්සේ ආරක්ෂාකිරීම රජතුමා වගකීමක් යැයි සලකාගෙන චිරාගත සම්ප්‍රදාය ඒ ආකාරයෙන්ම ඉටුකිරීම සඳහා රජු වගබලා ගත්තේය. දළදා වහන්සේ උදෙසා පැවැත් විය යුතු සියලු පුද පූජාවන් පිළිබඳ තොරතුරු මූලාශ්‍ර ආශ්‍රයෙන් දැනගත් රජතුමා දළදා පෙරහර උත්කර්ෂවත් අයුරින් සිදු කළ බවට මහා වංශයේ සඳහන් වෙයි. දඹදෙණි රාජධානිය වශයෙන් පැවතුණත්,ඒ කාලය වන විට අනුරාධපුර සහ පොළොන්නරු නගර විටින් විට සතුරු බලවේග මධ්‍යයේ පැවතුණි.එයින් රට සම්පූර්ණයෙන්ම මුදවාගැනීමට කටයුතු සිදුකරන ලද්දේ දෙවන පරාක්‍රමබාහු රජතුමා විසිනි. එතුමා මුළු රටම නැවතත් සතුරන්ගෙන් බේරාගෙන බෙලිගල්් නුවර දළදා මාලිගාවේ වැඩසිටි දළදා වහන්සේ දඹදෙණි පර්වතය මත විශාල දළදා මාලිගාවක් කරවා එහි තැන්පත් කරන්නට යෙදුණි. දෙවන පරාක්‍රමබාහු රජතුමා අතිශය භක්තිමත් රජෙකු නිසා මාලිගා පරිශ්‍රය තුළ හා ඒ අවට බොහෝ විහාරාරාම ඉදිකරමින් ප්‍රතිසංස්කරණය කරමින් එම ස්ථානවලට දළදා වහන්සේ මහත් වූ පෙරහරින් වඩමවාගෙන පෙරහර වීථි සංචාරය කරවා මහජනතාවට ප්‍රදර්ශනය කළේය.

ඒ ඒ විහාරවලදී දළදා හාමුදුරුවන් වහන්සේ තැන්පත් කළ සෑම ස්ථානයකදීම පුද පූජාවන් සිදු කරන්නට නියෝග කළේය. දඹදෙණි රාජධානි සමයේදී ද දළදා වහන්සේට විටින් විට සතුරු බලවේග ඇති විණි. දඹදෙණි රාජධානියේ අවසාන භාගයේ සිටි බුවනෙකබාහු රජතුමාගෙන් දළදා වහන්සේ ලබාගත් ආර්යචක්‍රවර්තී නම් පුද්ගලයා දළදා වහන්සේ රැගෙන ඉන්දියාවේ පඬිරජුට බාර කළ බව මහා වංශයේත් දාඨා වංශයේත් සඳහන්ය. ඉන් පසු බුවනෙක බාහු රජතුමාගෙන් පසුව දඹදෙණි රාජ්‍යයට පැමිණි පරාක්‍රමබාහු රජතුමා ඉන්දියාවේ සිටි පඬි රජ සමඟ මිතුරුව ඉන්දියාවට ගොස් දළදා වහන්සේ ඉල්ලාගෙන නැවතත් ලංකාවට වැඩමවා ගෙනවිත් පුද සත්කාර පෙරහර වන්දනාමාන කිරීම් පෙර ආකාරයෙන්ම සිදුකර තිබේ. මේ අතරවාරයේදී දෙවන බුවනෙකබාහු රජතුමා පරාක්‍රමබාහු රජු සමඟ යුද්ධ වැද පරාක්‍රමබාහු රජු පරාජයට පත්කරමින් දළදා වහන්සේ කුරුණෑගලට වැඩමවාගෙන ගිය ආකාරය මහාවංශයෙත් දාඨාවංශයේත් සඳහන් වේ. මේ කාල ඉතිහාසයේ රාජධානි තැනින් තැනට සංක්‍රමණය වූ අවස්ථාවක් ලෙස සඳ හන් කළ හැකියි.

කුරුණෑගලට දළදා වහන්සේ වැඩමවාගෙන ගොස් එහි මාලිගාවක් තනා දළදා වහන්සේ වඩා හ¼ිදුවා තමන්ගේ රාජ්‍යත්වය තහවුරු කරගත් ආකාරය ඉතිහාසය අනාවරණය කරයි. කුරුණෑගලට දළදාව වැඩම කරන්නට යෙදුනේ සිව්වෙනි පරාක්‍රමබාහු රජතුමා බවට ඇතැම් ඉතිහාස ග්‍රන්ථවල සඳහන්ය. එතුමා දළදා වහන්සේ උදෙසා පැවැත් විය යුතු පුද පූජාවන් හා සිරිත් විරිත් රාශියක් පිළිබඳව දීර්ඝ වශයෙන් තොරතුරු සොයාගත්තේය. එතුමාගේ කාලයේදී ඒ වෙනුවෙන්ම දළදා සිරිත සිංහල කෘතිය රචනා කරන්නට අවශ්‍ය කටයුතු සලසා අනුග්‍රහ දක්වූ ආකාරය මහාවංශයේ සඳහන් කර තිබේ. දළදා වහන්සේට කළ යුතු තේවාව හා පුදපූජාවන් පිළිබඳ තොරතුරුත් එය ක්‍රමානුකූලව කරන්නේ කෙසේද? යන්න පිළිබඳ එහි සඳහන් වී තිබේ. ඉන් පසුව දළදා වහන්සේ ගම්පොල රාජධානියටත්,ඉන් අනතුරුව කෝට්ටේ රාජධානියටත් වැඩම කර තිබෙන අවස්ථාවන්වලදී දළදා පෙරහර පුද පූජාවන් සාමාන්‍ය පරිදි සිදු කර ඇත. එයට හේතුව කෝට්ටේ රාජධානි අවධියේ ප්‍රබල ලෙස ලංකාවට බලපාන්නට යෙදුනු පෘතුග්‍රීසි ආක්‍රමණයි.එවැනි ආක්‍රමණික අවස්ථාවන්වලදි, මෙරට සිටි ඇතැම් රජවරු අන්‍ය ආගමක් වැළඳගෙන එම දහම මේ රටේ ව්‍යාප්තකරන්නට කටයුතු කළහ. දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා කළ යුතු පුදපූජාවන් පිළිබඳව සැළකිල්ලක් දක්වන්නට යෙදුනේ ද නැත.

නමුත් කෝට්ෙටි රාජධානි සමයේදී රාජ්‍යයත්වයට පැමිණි හයවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාල වකවානුව තුළ ලංකාවේ බෞද්ධ ජනතාවට නැවතත් නැඟී සිටින්නට අවස්ථාව උදා වුණි.ඒ කාලයේදී දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා කළ යුතු පුද පූජාවන් සිරිත් විරිත් ආදිය පෙර රජදරුවන් සිදු කළ ආකාරයටම සිදු කරන්නට කෝට්ටේ හයවෙනි පරාක්‍රමබාහු රජතුමා කටයුතු කළේය. එම කාල වකවානුවේදී රජතුමා දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා කෝට්ටේ රාජධානිය තුළ තෙමහල් ප්‍රාසාදයක් නිර්මාණය කරවා දළදා වහන්සේ එහි තැන්පත් කරවූයේය.එමෙන්ම දළදා වහන්සේ උදෙසා සියලු සත්කාර සම්මාන පෙළහර ප්‍රදර්ශනය කිරීම් ආදී කටයුතු සිදු කරන්නට යෙදුන බව ඉතිහාසයේ වාර්තා වේ.එතුමාගේ කාලයේදී තොටගමුවේ රාහුල හාමුදුරුවන් වහන්සේ මෙන්ම අනෙකුත් හාමුදුුරුවන් වහන්සේලා විසින් ්රචනා කරන්නට යෙදුන ලද සැළලිහිණි සංදේශය, පරෙවි සංදේශය, හංස සංදේශය ආදී කෘතිවල සඳහන් වී ඇති පරිදි එම සංදේශය රැගෙන යන ගමන් මාර්ගයේදී දළදා හිමි වැඩ හිඳි තෙමහල් ප්‍රාසාදය දැක ගන්නට හැකියාව ලැබෙන බව කියැවෙයි. සැළලිහිණි සංදේශයේ ඉතාමත්ම රසවත්ව එය වර්ණනා කර තිබෙන අයුරු මෙසේය.

ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙන් සැදී
දෙන නොමදා සිරි සඟ මොක් සැප නිසැදී
ලද මුනිදා දම් කඳ පහස මන බැඳී
වදු දළදා හිමි තෙමහල් පහය රැඳී

දළදා වහන්සේ තැන්පත් කර තිබෙන තෙමහල් ප්‍රාසාදය ඔබගේ ගමන් මාර්ගයේදී දැකගන්නට හැකි බව එහි සඳහන් කර තිබේ.


ශ්‍රී දළදා පුරාණය:- 3 :  ජීවමාන බුදුරජාණන් වහන්සේ වූ දන්තධාතූන් වහන්සේ

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]