UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිඳු හිමි රැගෙන වැඩි සදහම් දේශනා

මිහිඳු හිමි රැගෙන වැඩි සදහම් දේශනා

මිහිඳු මා හිමියන් සම්බුදුදහම හඳුන්වාදීමත් සමඟ රටේ ජනතාව නව ජීවයක් ලැබුවාසේ බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරන්නට පටන්ගත්හ. තිසරණ, පන්සිල් සමාදන් වූහ. භික්ෂූන් වහන්සේට වඳින්නට, ගරු කරන්නට මවුපියන්ට සලකන්නට පුරුදු වූහ. චෛත්‍යයට බෝධියට වඳින්නට පුරුදු වූහ. මිනිස්සු එකමුතු ව ගමේ පන්සලක් හා බණ මඩුවක් හදාගත්හ. බණ මඩුව ගමේ පාසල බවට පත්විය. භික්ෂූන් වහන්සේ මේ පාසලේ ගුරුවරයා විය. මේ නිසා ගමේ නායකත්වය භික්ෂුවට ලැබුණු අතර ගමේ ආරවුල් විසඳු නඩුකාරය, වූයේද උන්වහන්සේය.

ගමේ ආරක්ෂකයා මෙන්ම මුරදේවතාවා බවට පත් වූයේ උන්වහන්සේ ජනතාව සියලු කලාශිල්ප ඉගෙන ගත්තේ පන්සල කේන්ද්‍රකරගෙනය. නවමහල් ප්‍රාසාද අහස උසට බැඳි සුදෝ සුදුවන් වෙහෙර වහන්සේ, වැව් අමුණු ආදී විවිධ නිර්මාණ පන්සල ඇසුරින් බිහිවිණි.

ලංකාවට වැඩම කළ මිහිඳු මා හිමි පළමුව විමසුමට ලක් කළේ රජු බුද්ධිමතෙකුදැයි යන බවයි. අඹ ගසක් මුල්කරගෙන ඇසූ ප්‍රශ්නය තුළින් එය පැහැදිලි වේ. එය ඉතිහාසයේ සඳහන් පළමුවන බුද්ධි පරීක්ෂණය ලෙස සැලකේ.

රජුත් මිහිඳු හිමියනුන් අතර ඇති වූ සාකච්ඡාවෙන් පසු චුල්ල හත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. මිහිඳු මා හිමියන් මෙබඳු සූත්‍රයක් තෝරාගත්තේ ඇයි? ඇතා යනු වනාන්තරයේ ඉතා සුලභ සතෙකි. ගෞරවනීය සතෙකි. රජුගේ වාහනයද ඇතාය. පාසටහන් අතර විශාලම පා සටහන ඇත්තේ ඇතාටය. මේ සූත්‍රයේදී බුදුරදුන්ගේ ඤාණ පද හතර ඇතාගේ පා සටහන් හතරට උපමා කර ඇත. මේසූත්‍රයේ දී බුදුරදුන් ගැන ප්‍රශ්න කළ ජාණුස්සෝණි බමුණාට පිලෝතික බමුණා කීවේ ඇතුන් අල්ලන දක්ෂ පුද්ගලයෙකු වනයට ගොස්් විශාල ඇත් පා සටහන් දැක එය මහා හස්ති රාජයෙකුගේ යැයි දැන ගන්නා සේ බුදුරජාණන් වහන්සේගේ ඤාණ පාද හතරක් දැකගත් බවයි. එදා ජීවමාන බුදුරදුන් දවසේ භාරතයේ විසූ ඉතාම දක්ෂ, ඉතාම ප්‍රසිද්ධ කෂ්ත්‍රිය පණ්ඩිතයෝත් බ්‍රාහ්මණ පණ්ඩිතයෝත් ගෘහපති පණ්ඩිතයෝත්, ශ්‍රමණ පණ්ඩිතයෝත් බුදුරදුන් හමු වී අපි මේ විදියේ ප්‍රශ්න අසමු. ඒවාට නියම පිළිතුරු දෙන්ට බැරි වුණොත් අපි නියම පිළිතුරු දී වාදයකට පටලවා ගනිමු. වාද කර පරදවා ලජ්ජා කරමු. යනුවෙන් කතිකාකර බුදුරදුන් හමුවට ගොස් පිළිසඳර කතාවෙහි යෙදුණහ. අවසානයෙහි බුදුරදුන් හමුවේ ඇසීමට සූදානම් කරගත් ප්‍රශ්න අමතකවෙති. පණ්ඩිත කම් නැති වී මාන්නය නැති වී බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ භාග්‍යවත්ය. සම්‍යක් සම්බුද්ධය, ඔබ වහන්සේගේ ධර්ම ස්වාක්ඛාතය. සංඝයා සුපටිපන්නය, යනුවෙන් පවසමින් තිසරණ සරණයති. සමහරු සියල්ල අතහැර පැවිදි වෙති. සමහරු බුද්ධශ්‍රාවකයන් බවට පත්වෙති.

මෙය ඇසූ ජාණුස්සෝණි බමුණා පසු දවසක බුදුරදුන් හමුවට ගොස් පිලෝතික විසින් බුදුරදුන් පිළිබඳව කළ විස්තරය ප්‍රකාශකළ විට පිලෝතික දැක් වූ ඇත් පා උපමා අසම්පූර්ණ බව බුදුරදුහු පෙන්වා දුන්හ.

හස්ති ශිල්පියා දක්ෂයෙක් නම් දිග පළල ඇත් පාසටහන් දුටු පමණින් මහා හස්තිරාජයෙකුගේ යැයි නිගමනය නොකරයි. ‘වාමණිකා’ නම් ඇතින්නියගේ පා සටහන් විශාලය. තවදුරටත් වනාන්තරය තුළට යනවිට විශාල පාසටහන් මෙන්ම උස් ගස්වල කඩා දැමූ ඇතුන් පිට ඉල තැනුත් හමුවෙයි. ඒ උච්චාකාලාරිකා නම් ඇතින්නියගේ ය. වනය තුළ තවත් ඉදිරියට යනවිට විශාල පා සටහන්, කඩා දැමූ ඇත් දළ පහරින් කැඩුනු, බිඳුනු, සීරුනු තැන්ද දකියි. ඒ ‘උච්චා කණේරුකා’ නම් ඇතින්නියගේ ය. තවදුරටත් ඉදිරියට යන විට ඇතකුගේ විශාල පා සටහන් හමුවෙයි. කඩා දැමූ උස් ගස්වල අතුද උස් ගස්වල දළ පහරද දකියි. එසේම ගසක් මුල හිඳින හෝ ඇවිදින නැත්නම් වැතිර සිටින ඇතාද දකියි. හස්ති ශිල්පියා මේ විශාලම ඇතා යයිද හස්තිරාජයා යයිද දැනගනී. මේ උපමාව යමක් දුටු පමණින් පිළිනොගන්නා ලෙසත් එය තවදුරටත් විමසා බලා ප්‍රත්‍යක්ෂවම දැන තීරණය කළයුතු බවත් පෙන්නුම් කරයි. මේ උපමාව ඇතුන් පිළිබඳවත් ඔවුන්ගේ හැසිරීම් රටාව පිළිබඳවත් දන්නා රජුට මෙන්ම අන් අයට ද පහසුවෙන් තේරුම් ගත හැක්කකි.

ඇත් පා උපමාව අනුව අවසානයේ දී විශාලම ඇතාගේ, පා සටහන් දැක, ඒ ඇතාත් දැක විශාලම ඇත්පා සටහන යැයි නිගමනයක එයි. මේ අයුරින්ම ප්‍රථම ධ්‍යානයට පැමිණීමෙන් පමණක් බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය. ධර්ම ස්වාක්ඛාතය. සංඝයා සුපටිපන්නය. කියා නිගමනයකට නොපැමිණිය යුතු ය. ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යානයන්ට පැමිණියේද බුදුරජාණන් වහන්සේ සම්‍යයක් සම්බුද්ධය යනාදී ලෙසින් නිගමනයකට නොපැමිණිය යුතු ය. පූර්ව ආත්මයන් සිහි කිරීමේ නුවණ (පුබෙබ නිවාසානුස්සති ඤාණය) ලැබුවද සත්වයින්ගේ චුතිය හා උපත දකින ඤාණය ලැබුවද තථාගතයන් වහන්සේගේ ඤාණ පදය යැයි නිගමනය නොකළ යුතු ය. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ යැයි තීරණය නොකළ යුතු ය. අවසානයේ තම සිත කාමාසව, භව ආසව, අවිජ්ජා ආසවයන්ගෙන් මිදී නැවැත උපතක් සිදු නොවන තත්ත්වයට පත්වීම බුදුරජාණන් වහන්සේගේ ඤාණ පදය ලෙස දක්වා ඇත. මෙයින් පසුව බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය ස්වාක්ඛාතය, සංඝයා සුපටිපන්නය කියා තීරණය කළ හැකි ය. ජාණුස්සෝණි බ්‍රාහ්මණය, මෙතෙකින් ඇත් පා උපමාව සම්පූර්ණ යැයි බුදුරදුහු පෙන්වා දුන්හ.

මෙම ප්‍රථම ධර්ම දේශනාවෙන්ම පැහැදුනු රජතුමා මිහිඳු හිමියන්ට රජ මැදුරට වඩින ලෙස ආරාධනය කළත් එම අවස්ථාව අවේලාව බැවින් ඇරයුම නොපිළිගෙන මිහින්තලාවේම වැඩසිටියහ. එහිදී රැස් වූ දෙවියන් වෙනුවෙන් සම චිත්තපරියාය සූත්‍රය දේශනා කළහ. පසුදින රජතුමාගේ ආරාධනයෙන් අනුරාධපුරටය වැඩමකළ මිහිඳු හිමියෝ විමානවත්ථු, පේත වත්ථු, සච්ච සංයුක්ත යන ධර්ම දේශනා පැවැත්වූ බව පෙනේ.

විමානවත්ථු, කතා

ශ්‍රී ලාංකික ජනතාව බුදුහම කෙරේ ඇඳ බැඳ තබා ගැනීමටත් කර්මය හා එහි විපාකය ප්‍රත්‍යක්ෂව පෙන්නුම් කිරීමටත් සුචරිතවත් සමාජයක් බිහිකරලීමටත් විමානවත්ථු, පේතවත්ථු කතා දෙක ඉතා වැදගත් වන බවත් එය පහසුවෙන් මොවුනට අවබෝධකරගත හැකි බවත් මිහිඳු හිමියෝ දැන සිටියහ. යම් කිසි දෙයක් කිරීමේදී ශ්‍රද්ධාව හා චිත්ත ප්‍රසාදය වැදගත් වන බවත් එයින් ඇතිවන ඵල විපාකත් තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි දුර්ගුණවලින් වන අහිතකර ඵල විපාකත් මේ දේශනා තුළින් මැනවින් පෙන්නාදී ඇත. මෙහි එන එක කතාවක් දෙස බලමු. මුගලන් හිමි දිව්‍යලෝකවල ඇවිදගෙන යන විට ලස්සන දිව්‍ය මාලිගයක් හා ලස්සන දෙවඟනක් දකිති. ඔබ මේ තරම් ලස්සන රූපයක් හා මේ තරම් ලස්සන දිව්‍ය විමානයක් ලැබීම. කරන ලද පුණ්‍ය කර්මය කුමක්දැයි මුගලන් හිමි ප්‍රශ්න කරයි.

මම ගිය ආත්මයේ දාසියක ලෙස ගෙදරක සියලු වැඩ කෙළෙමි. එහිදී පොඩි අඩුපාඩුවක් හෝ සිදුවුවොත් ගෙදර ස්වාමි දියණිය හා ගෙදර ස්වාමියා මට බණියි. තර්ජනය කරයි. අතින් පයින් පහර දෙයි. ඒ සියල්ල දරා ගත්තෙමි. ඔවුන් කෙරෙහි තරහක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති කර නොගත්තෙමි. සිත නරක් කර නොගත්තෙමි. ඉවසීමෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ දිව්‍ය විමානය හා මේ ලස්සන රූප ශෝභාව ලදිමි. වෙනත් කිසිදු කුසලකර්මයක් කරන්නට මට ශක්තියක් තිබුණේ නැත. මේ සංවාදය ගැන මොහොතකට සිතන්න. අප එදිනෙදා ගත කරන පීඩාකාරී ජීවිතයේ දී ඉවසීම ගතටත්, සිතටත් මහඟු ඖෂධයකි. ගතත්, වචනයත් සිතත් වැරදි විදියට පරිහරණය කිරීමෙන් මොනතරම් දුක්, ගින්දරක් විඳිනවාද යන්න පේත වත්ථුව පෙන්වා දෙයි. කර්ම විපාක වල ප්‍රායෝගික පැත්ත මේ සූත්‍රය තුළින් දක්වා ඇත.

රජුගේ මගුල් ඇත්හලේ දී දේශනා කළ දේවදූත සූත්‍රය උපතත් මරණයත් ඇතුළු ජීවන ගමනේ ස්වභාවය තමන් විඳින, දකින අත්දැකීම් තුළින්ම පෙන්නුම් කළ සූත්‍රයකි. කුසල් කරන අය සුගතිගාමී වන අයුරුත්, අකුසල් කරන අය දුගතිගාමී වන අයුරුත් මේ සූත්‍රයෙහි මුලින්ම දක්වා ඇත. වැරදි වැඩ කළ අය අපායේදී යමපල්ලන් විසින් යම රජු ඉදිරිපිට පමුණුවනු ඇත. යමරජු දේවදූතයින් පස්දෙනෙකු ගැන වෙන වෙනම කරුණු දක්වමින් වරදකරුගෙන් ප්‍රශ්න කරයි.

පළමුවන දේවදූතයා යනු උඩුකුරුව සිටිමින් තමාගේම මළ මුත්‍ර වල ගැලී සිටින ළදරුවාය.

දෙවන දේවදූතයා යනු වයසට ගිය, දිරාගිය සිරුරක් ඇති, කුදු වූ නැමුණු ශරීරය ඇති, හැරමිටිය අතින් ගෙන වෙව්ලමින් ගමන් කරන, ඉදුනු කෙස් හා ගිලණු ඇස් ඇති රැලි වැටුණු ස්ත්‍රිය හෝ පුරුෂයාය.

තුන්වන දේව දූතයා යනු දැඩිලෙස රෝගීවූ තැනැත්තා ය. මළ මුත්‍රගොඩෙහි වැතිර සිටියි. තවත් අයෙකුගේ උදව්වෙන් ඔසවා තබයි.

සිව්වන දේව දූතයා අපරාධකර දඬුවම් වශයෙන් දස වධ විඳින අයෙකි. කසයෙන්, වේවැලෙන්, දඬු මුගුරුවලින් ඔහුට පහර දෙති. අත් පා කන් නාසා කපා දමති. බල්ලන් ලවා හපා කවති. හුලතියති. කඩුවෙන් ගෙල සිඳිති.

පස්වන දේවදූතයා යනු මරණයට පත් වී එක් දිනක් ගත වූ දින දෙකක්, තුනක් ගත වූ ඉදිමුණු, නිල් වූ, සැරව ගලන මළ සිරුරය.

ඉහත කී අවස්ථා පහ ගැන වරදකරුගෙන් ප්‍රශ්න කළවිට ඒ අවස්ථා දුටු බවක් නමුත් ඒ ගැන නොසිතූ බවත් ඒ ගැන නොසලකා කටයුතු කළ බවත් ඒ නිසාම කුසල් කිරීමට නොහැකි වූ බවත් යම රජු ඉදිරිපිටදී ඔහු ප්‍රකාශ කරයි. මේ ක්‍රමයට තුන්දොරින් සිදුකරන වැරදිවැඩවල විපාකත් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන අවස්ථාවන් පිළිබඳවත් විස්තර කරමින් එදිනෙදා අත් විඳින සිද්ධීන් තුළින් කරුණු ඉදිරිපත් කර මිනිසා සුචරිතවත් කිරීමට ගත් උත්සාහයක් මෙම සූත්‍රය මඟින් පෙන්නුම් කර ඇත.

මෙයින් පසුව රාජකීය උද්‍යානයේ දී මිනිස් ජීවිතයක දියුණුවත් පරිහානියත් පෙන්නුම් කරන ‘බාල පණ්ඩිත’ සූත්‍රය දේශනා කළහ. මෙම සූත්‍රයෙන් බාලයා හා පණ්ඩිතයා අතර වෙනසක් ඔවුනොවුන් සතු ලක්ෂණත් පැහැදිලි කර ඇත. බාලයා තුන් ආකාරයකින් දුකට දොම්නසට පත්වේ. බාලයා යනු නපුරු සිතිවිලි සිතන, නපුරු වචන කියන, නපුරු ක්‍රියා කරන තැනැත්තෙකි. බාලයා කොතන සිටියත් අන් අය ඔහුගේ අගුණ කියයි. ඔහුගේ වැරදි වැඩ ගැන කතා කරයි. මේවා අසන දකින බාලයා දුකට දොම්නසට පත්වෙයි. වැරදි වැඩ කළ බාලයාට රජු විවිධ දඬුවම් දෙයි. ඒවා ඉතා වේදනාකාරීය. මෙලොවදීම අත්විඳින දුක්ඛයන්ය.

කළ වරදට තරාතිරම නොබලා දඬුවම අනිවාර්ය බව සමාජගත සිද්ධීන් තුළින් ද ප්‍රත්‍යක්ෂය. එය කිසිවෙකුටවත් සැඟවිය නොහැකිය. මරණින් පසුවද ඔහුට විඳින්නට සිදුවන අපායගාමී හා තිරිසන්ගත දුක් පිළිබඳව සඳහන් ය.

පණ්ඩිතයා හෙවත් නුවණැත්තා යනු හොඳ සිතිවිලි, හොඳ වචන, හොඳ ක්‍රියාවලින් යුත් අයෙකි. මොහු මෙලොව දීම තුන් ආකාරයකින් සතුටුවේ. අන් අය තමාගේ ගුණ කියනු ඔහුට අසන්නට ලැබේ. එයින් සතුටට පත්වේ. වැරදි වැඩ කළ අය විවිධාකාර දඬුවම් විඳින බව ඔහුට පෙනේ. මා එබඳු වරදක් කර නැතැයි සොම්නසට, සතුටට පත්වේ. විවේකීව සිටින විට කරන ලද හොඳ දේවල් මතක් වේ. මරණින් මතු ස්වර්ගයෙහි උපදී.

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම වීමෙන් තුන්වන දින රජගෙදරදීම දන් වළඳා නන්දන උද්‍යානයෙහි වැඩ සිටිමින් ආසිවිසෝපම සූත්‍රයද හතරවන දින අනමතග්ගිය සංයුක්තයද දේශනා කර ඇත. පස්වන හයවන, හත්වන දිනම නන්දන උයනෙහි වැඩසිටිමින් ඛජ්ජනියක සූත්‍රයද ගෝමය පිණ්ඩික සූත්‍රයද සත්වන දින ධම්මචක්කපවත්තන සූත්‍රයද දේශනා කිරීමෙන් අටදහස් පන්සීයක් පමණ දෙනා මාර්ගඵල වලට පත් වූ බව සඳහන් ය. ශාසනය බබුළුවමින් එම උයනෙහිම වැඩ සිටි හෙයින් නන්දන උයන ජෝතිය වනෝද්‍යානය නමින් ද ප්‍රසිද්ධ වී ඇත .


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]