UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරාර්ථකාමී අරමුණුදෙලොව ජය ගනී

පරාර්ථකාමී අරමුණුදෙලොව ජය ගනී

නිවන් දැකිය යුතුය යන අරමුණ අප ගොඩනඟා ගත යුත්තේ එවැනි අවබෝධයක් අපට ලැබුණ හොත්, ඒ තුළින් තවත් පිරිසක් දුකෙන් නිදහස් කිරීමට අවස්ථාව සැලසෙන නිසයි.අප නිර්වාණය අවබෝධ කරගත යුත්තේ එම නිසයි. සාමාන්‍යයෙන් එවැනි පුළුල් අවබෝධයකින් පුළුල් අරමුණකින් පරාර්ථකාමී අදහසකින් මනුෂ්‍යයා එවැනි උතුම් ප්‍රතිපදාවන්ට යොමු නොවීම නිසා සසර බිය හඳුනාගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ නිතර වදාරා ඇත.

සසර බය නිවැරැදිව හඳුනාගත් විට සසර දුකෙන් නිදහස් වීමට වහා වහා ප්‍රතිපත්ති පිරීමට පටන් ගනී. සසර බය හඳුනාගනිද්දීත්, සසර බය හඳුනා ගත යුත්තේ, තමන්ට ගැලවීම සඳහා පමණක් නොවන බව වටහා ගත යුතුයි. සසර බය හඳුනා ගත් පිරිස අනෙක් පිරිසත් සංසාරයෙන් ගලවාගැනීමට උනන්දු විය යුතුයි. සසර බිය දැකපු පුද්ගලයාට තනියෙන් ගැලවී යාමට සිතෙන්නේ නැත. තවත් පුද්ගලයෙකු හෝ එම බයෙන් එම දුකෙන් හෝ එම අසහනයෙන් නිදහස්් කරන්න නම්, එවැනි නිරාමිස අරමුණත් ඔබගේ චෛතසික තුළ වැඩීම අවශ්‍ය වෙයි. මේ සංසාරයෙහි මහා ඝෝර කටුක බව හඳුනාගත් නිසාම, ලෝ කුඹු නිරයට සත්ත්වයෙකු ඇදවැටුනහොත් කල්ප කාලාන්තරයකට නිදහස් විය නොහැකි බව සුමේධ තාපසතුමා අවබෝධ කරගත්හ.

නිරාමිස අරමුණ

දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර ඒ බව වටහාගත් පසු එතුමා මේ ලෝකය පිළිබඳව කල්පනා කරනු ලැබුවේද, ලෝකුඹු නිරයට ඇද වැටී දුක්විඳින සත්ත්වයන් නිදහස්් කරගැනීමට නම්, මා මේ භවය තුළ රහත් වී පලක් නොවන බවත්, ඒ සඳහා මා ලොව්තුරු බුද්ධත්වය ලබාගත යුතු බවත්ය. මා කෙසේ හෝ ලොව්තුරු බුදුබවට පත්වී ඒ තුළින් සෙසු ජනයා දුකෙන් නිදහස්් කරගන්නෙමි යන පරාර්ථකාමී නිරාමිස අරමුණ උන්වහන්සේ ඇතිකර ගනු ලැබුවේම සසර සැරිසරණ සත්ත්වයා පිළිබඳව සිතීම නිසයි. ලොව්තුරු බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණා නම් අපට සම්‍යයක් දෘෂ්ටියක් ඇතිවිය නොහැකිය. සද්ධර්මය පහළ නොවුණා නම් අපට ඇත්ත ඇති සැටියෙන් දැකීමට ක්‍රමයක් නැත. එම සියලුම ප්‍රතිලාභයන් ආධ්‍යාත්මිකව භුක්තිවිඳීමට ලැබී තිබෙන්නේ ද, සුමේධ තාපසතුමන්ගේ පරාර්ථකාමී සත්පුරුෂ සිතිවිල්ල නිසයි.

ඔබගේ අරමුණ නිර්වාණය සාක්ෂාත් කිරීම වුවද,බෞද්ධයන් ලෙස එම අරමුණ සපුරාගැනීමට නම්, සැම විටම කල්පනා කළ යුත්තේ මම අවබෝධය කරා ගමන් කළ යුත්තේ තව පිරිසක් වහා වහා දුකෙන් නිදහස්් කරගැනීම සඳහා වන උදාර සිතිවිලි පෙරදැරිවයි. මා ලෞකික පුද්ගලයෙකු ලෙස කෙලෙස් සහිතව සිට අනෙකා සසර සැඩ පහරින් ගලවා ගැනීම දුෂ්කර වෙයි. මා ගැලවිය යුත්තේ අනෙක් පිරිස ගලවා ගැනීම පිණිසයි. මා නිදහස් විය යුත්තේ අනෙක් පිරිස නිිදහස් කරගැනීම පිණිසයි. සිතිවිල්ල වැදගත් වන විට කරුණාව උපදී.එවිට මෛත්‍රිය ද, උපේක්ෂාවද, මුදිතාවද උපදී. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී සතර බ්‍රහ්ම විහරණ අප තුළ ගොඩනැඟෙන්නේම නිරාමිස චෛතසිකයන් සමඟයි.

පටු ලාභය

පුද්ගලික පටු ලාභයක් මනසෙහි වැඩුණහොත් මහරහත් බව පසේබුදු බව වහා වහා ඈතට යන අතර ලොව්තුරු බුදුබව විශාල වශයෙන් ඈතට ගමන් කරයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේලා පන්ලක්ෂ ගණනක් හමුවී ඇති බව ධර්මයෙහි සඳහන්ව ඇති අතර නියත විවරණ ලබා තිබෙන්නේද, විසි අටනමක් පමණයි. කෙතරම් කල්ප ගණනක් කෙතරම් දිගු වර්ෂ ගණනාවක් බෝධිසත්වයන් වහන්සේ අප වෙනුවෙන් පාරමිතා පුරා ඇතිද? මෙවැනි අතිදුර්ලභ ශාසනයක් ලැබුණේම නිරාමිස ගුණයෙන් යුක්තව සසර තුළින් නිදහස් වීමට සිතූ උතුම් බෝධිසත්වයන් වහන්සේ නමකගේ පාරමිතා පිරීම නිසයි. අප යමක් අවබෝධ කරගත යුත්තේද එලෙසයි. අවබෝධකර ගන්නා විට තවත් පිරිසකට අවබෝධ කරවනවාය යන සිතිවිල්ල පැමිණිය යුතුයි. මුදල් හම්බකරගැනීමේ ෙචිතනාවෙන් හෝ ව්‍යාපාරයක් කිරීමේ චේතනාවෙන් ධර්්මය පරිහරණය කිරීමට අප කල්පනා කරනවා නම්,දැනුම සහ මුදල් තිබුණාට සසරින් නිදහස් වන්නේ නැත. සසරින් නිදහස් වීමට ලැබෙන්නේ එය අප ඉතාම නිරාමිස ලෙස එම කටයුත්තෙහි නියැළෙන විට පමණයි. එය අප සියලු දෙනාටම සංසාරික ගමනෙන් නිදහස්් වීමට තිබෙන ප්‍රධාන කාරණාව වෙයි. ආත්මාර්ථය පැමිණි විගස අපගේ ෙවිගය අඩුවෙයි. අප අරමුණ සඳහා කටයුතු කළ යුතුද එය තවත් අයෙකු පැරදවීම සඳහා කටයුතු නොකළ යුතුයි.

තවත් පිරිසකට යහපතක් සැලසීම සඳහා මගේ ජයග්‍රහණය පාවිච්චි කළ යුතුයි. ආත්මාර්ථකාමී බව පැමිණි විගස එම අරමුණ ජයගැනීමට තිබෙන අවස්ථාව සහ කාල වකවානුව තවදුරටත් ඈතට ඇදී යයි. පරාර්ථයෙන් යුක්තව වැඩක් ඇරඹුව හොත් අවහිර බාධක මදක් හෝ තිබුණද, ආත්මාර්ථයෙන් ක්‍රියාවක් ආරම්භ කරන තරම් ගැටලු පැන නගින්නේ නැත.

පරාර්ථකාමී අරමුණ

ප්‍රශ්න තිබුණද අරමුණ පරාර්ථකාමී නිසාම එම ක්‍රියාවන් තුළ වේගය අඩුවීමක් ඇතිනොවෙයි. ඇමරිකානු ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු වූ ලින්කන්ගේ අරමුණ වූයේම පීඩාවට පත්ව සිටි කළු සුදු වර්ගවාදය නිමා කිරීමයි. එම අරමුණ ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එතුමා දාහත් වතාවක් පරාජයට පත් වුවද, එම අරමුණ තුළ තිබූ පරාර්ථය එම අරමුණ තුළ පැවතුණ නිස්සරණ බව එතුමා දහඅටවන වතාවෙදී ජනාධිපතිවරයා බවට පත්කරනු ලැබුවා. වර්තමානය තුළද ඇමෙරිකාව යම් තරමින් හෝ ආරක්ෂා වී පවතිනුයේද, කලු සුදු ආන්තික වාදයෙන් එම ජනාධිපතිතුමාගේ පහළ වීමයි. එතුමා තුළ පැවැති ලෞකික අරමුණ වුවද, දිනීමට පහසු වුයේ එතුමා තුළ පැවැති පරාර්ථකාමී අරමුණයි. දෙතුන් විට පරාද වුවද,අප සමාජය පිළිබඳව සිතන විට ෙවිගය පවත්වා ගත හැකියි. නිවන් දැකිය යුත්තේ අප වෙනුවෙන් නොව සමාජය වෙනුවෙන් බව අවබෝධ කරගත යුතුයි. ඇතැමි විට අප සත්‍ය දන්නවා වුවත්, ඇතැමි කොටස් ප්‍රකාශ නොකර සිටින අවස්ථා නැතිවාම නොවෙයි. අප කෙතරම් සත්‍ය වටහා ගෙන සිටියද කෙලෙස් සහිත නම් තව අයෙකුට ප්‍රකාශ කරගැනීමට වීර්යය ඇති නොවෙයි. එම වීර්යය පැමිණෙන්නේද, සත්‍ය සත්‍ය ලෙස පෙනෙන්න පටන් ගන්නේද, කෙලෙස් ක්‍රමයෙන් ඉවත් වන විටයිි කෙලෙස් ඉවත් වීමත් සමඟ සත්‍ය පැහැදිලිව දක්නට ලැබෙයි. රහතන් වහන්සේලාගේ දේශනා අතිශය නිර්මල වනුයේද එම නිසයි. උන්වහන්සේලා සාරය සාරය ලෙසද, අසාරය අසාරය ලෙසද ඉදිරිපත් කරයි.

නිවනට

නිවනට සම්බන්ධයක් නොමැති බොහෝ කාරණා බව දැන දැනත් එම හිස් බව එලෙසම පවත්වාගෙන යයි. දුකෙන් නිදහස්් වීමට කිසිම සම්බන්ධයක් නොමැති බව දැනගෙනත්, එය පවත්වාගෙන යනු ලබයි. කෙතරම් පරාර්ථකාමී වුවද, රහත් වන තුරුම ආත්මාර්ථයෙන් යම් යම් කාරණා අඳුරු කර දමයි. නිරාමිස බව තුළ පවතින පරාර්ථය ඔබගේ ආත්මාර්ථයත් සම්පුර්ණ කරදෙයි. බෝධිසත්ව අවධිය තුළ අප දුකින් නිදහස් කරවීමට අවශ්‍යව තිබුණද, අප නිදහස් කිරීමේ උදාර අරමුණින් යුතුව කල්ප ගණන් දස පාරමිතා පිරුවාට පසුව පළමුවෙන්ම නිදහස් වුයේ බුදුරජාණන් වහන්සේයි. එය නිවැරැදිව වටහා ගත යුතුයි.

අප අනෙකා වෙනුවෙන් ක්‍රියා කළද , පළමුවෙන්ම එහි ප්‍රතිපලය ලැබෙන්නේ තමාටයි. ඇතැම් පිරිස් පරාර්ථකාමී ක්‍රියාවන් සඳහා බිය වන්නේ අනෙකා වෙනුවෙන් කටයුතු කිරීම නිසා තමාගේ කටයුතු අවුල් ෙවිවිද? යන සිතිවිල්ල නිසයි. පොදු බව වෙනුවෙන් කරනු ලබන සැම ක්‍රියාවක්ම සෘජුව හෝ වක්‍රව ඔබගේ යහපත උදාකරයි. නිවන් දැකීම පමණක් නොවන අතරම ඔබ කරන සැම කටයුත්තකදීම නිරාමිස බව පවත්වා ගත යුතුයි.

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු පුර පසළොස්වක (ජනවාරි 12) පෝදා පත්‍රයේ පළවේ...

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6 වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]