UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ආර්ථික දර්ශනය – 15 : දැවෙමින් අවසන් වන තණහුලක් වැනිය කාමය

බෞද්ධ ආර්ථික දර්ශනය – 15 :

දැවෙමින් අවසන් වන තණහුලක් වැනිය කාමය

පංච කාමයට අයත් ලිංගික ආශාව මිනිසා මෙන්ම සියලු ජීවීන්ට පොදු වූ ධර්මතාවයකි. මිනිස් චින්තනය හා සම්බන්ධ චිත්ත වේග අතරින් ලිංගික ආශාව අතිශය ප්‍රබලය. බුදුරදුන් පෙන්වා දෙන්නේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රීයටත් දැඩිලෙස ආකර්ෂණය වන බවයි.

මෙනිසා පුරුෂයාගේ සිත්ගත් රූප අතරින් ස්ත්‍රී රූපයත්, ස්ත්‍රියගේ සිත් ගත් රූප අතරින් පුරුෂ රූපයත් හැර සිත ආකර්ෂණය කෙරෙන වෙනත් රූපයක් හෝ සටහනක් ලොව විද්‍යාමාන නොවන බව අංගුත්තර නිකායේ චිත්තරියාදාන සූත්‍රයේ දැක්වේ. රූපය පමණක් නොව ස්ත්‍රිය පිළිබඳ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය පුරුෂයාගේ සිත ආකර්ෂණය කරන අතර පුරුෂයාගේ එම අංග ස්ත්‍රියගේ ආකර්ෂණය කෙරෙහි ඉවහල් වේ. මේ අනුව ස්ත්‍රී පුරුෂ රූපයෙහි පංචකාමයම පිහිටා තිබෙන බව පැහැදිලිය. එසේම ස්ත්‍රී පුරුෂ ලිංගික කාමයතුළ පංචකාමයම අන්තර්ගතවන බවද පැහැදිලිය. මෙම ආකර්ෂණීය බව සහජ එකක් වන අතර එය පාපයක් නොවේ. එහෙත් එම සහජ ස්වභාවය බාහිර විවිධ අරමුණු මගින් උත්තේජනය කරනු ලැබීම නිසා පුද්ගලයා ඒ කෙරෙහි දැඩිලෙස ආසක්ත වේ. ස්වාභාවික චිත්තවේගය පාලනයකින් යුතුව ක්‍රියාවට නැංවීමෙන් පුද්ගලයාට හෝ සමාජයට හානියක් නොවේ. එහෙත් එම අවබෝධය නොමැති පුද්ගලයා ස්ත්‍රීන් කෙරෙහි මෙන්ම පුරුෂයන් කෙරෙහිද ධූර්තයෙක් බවට පත්වේ. කෙනෙකු පිරිහීමේ හේතු පෙන්වාදෙන පරාභව සූත්‍රයෙහි ස්ත්‍රී ධූර්ත වීම (ඉත්ථිධුත්තො) එක් හේතුවක් ලෙස දැක්වේ. සිඟාලෝවාද සූත්‍රය ඉදිරිපත් කරන ධන විනාශයේ දොරටු අතරින් අවේලාවේ වීථි සංචාරය, පාප මිත්‍ර සේවනය හා නිතර විනෝදය පිණිස උත්සව සම්භාෂණයන්ට සහභාගි වීම වක්‍රාකාරයෙන් ස්ත්‍රීන් කෙරෙහි ලොල් බවක් ඇතිවීමට හේතුවක් විය හැකි ය. මෙයින් පළමු හා තෙවන අවස්ථා වර්තමානය හා ගැළපූ විට නිතර සමාජ ශාලාවලට යාම, එහි කාලය ගත කිරීම හා එහි පැවැත්වෙන විවිධ විනෝද අවස්ථාවලට සහභාගි වීමෙන් විවිධ පුද්ගලයන්ගේ ඇසුරට යොමුවිය හැකිය. ඇතැම් විට මෙම ඇසුර යහපත් එකක් නොවන බව වර්තමාන සිදුවීම් මඟින් තහවුරු කරගත හැකිය. බොහෝ ධනවත් පුද්ගලයන් මෙවැනි ස්ථානවලට යොමුවීමෙන් ටික කලකින් ධනයෙන් මෙන්ම සෞඛ්‍ය අතින්ද පිරිහුණු පුද්ගලයන් බවට පත් වූ අවස්ථා කොතෙකුත් අසන්නට ලැබේ. බොහෝ සමාජ ශාලාවල සුරාව සූදුව දුරාචාරය හා කාම සේවනය ප්‍රධාන සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලැබේ. සමාජ ශාලාවල අරමුණ ද එකී අයහපත් සේවාවන් සැපයීමය. මෙම පසුබිම තුළ එය ඇසුරු කරන්නෙකුට කිසිසේත් යහපතක් අපේක්ෂා කළ නොහැකි ය. එය උපයන ධනය විනාශවන දොරටුවක් මිස එයින් වන කිසි යහපතක් නොමැත.

ස්ත්‍රී ධූර්ත වීම මෙන්ම පුරුෂ ධූර්ත වීමත් දහමට අනුව වරදක් වේ. ස්ත්‍රී ධූර්ත වීම ධන විනාශයේ දොරටුවක් ලෙස දක්වා තිබෙන්නේ බොහෝ පුරුෂයන් විනෝදය හා ආශ්වාදය සඳහා කාන්තාවන්ගේ ඇසුර අපේක්ෂා කිරීම බහුලව සිදුවන්නක් නිසා විය හැකිය. උපයන ධනය කාමාශ්වාදය පිණිස යෙදවීම ධනය විනාශ වීමට හේතුවක් වේ. රාගයෙන් රත් වූ මිනිසා තමාගේ අයහපත පිණිස කල්පනා කරයි. එසේම අන්‍යයන්ගේ අයහපත පිණිස කල්පනා කරයි. රාගය පදනම් කරගත් කාමාශ්වාදය පිටුපස හඹායාමේ ප්‍රතිඵලයක් ලෙස ධනය විනාශය පමණක් නොව තම පවුලේ සාමය හා සමගියද විනාශකරගත් පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. විශේෂයෙන්ම බොහෝ ධනවත් තරුණයන් තම ධනය කාමාශ්වාදය පිණිස වැය කොට ජීවිතය අසාර්ථක කරගත් අවස්ථා තිබේ. තරුණකමත,්ධනයත් යන දෙකම එකතු වූ තැනට බුද්ධිය හෝ සාදාචාරය නොතිබුණහොත් ඉහත කී අයුරින් ධන විනාශයේ දොරටු විවෘත වී සියල්ල විනාශයට යා හැකිය. තරුණ අවධියේ සදාචාරයෙහි පිහිටා ධනය උපයන තැනැත්තාගේ අනාගත ජීවිතය අර්ථවත් වන අතර එසේ නොකරන තැනැත්තාට මසුන් නොමැති විලක් දෙස බලමින් දුක්වන මහළු කොස්වාලිහිණියෙකු මෙන් දුකට පත්වීමට සිදුවන බව ධම්මපදයේ දැක්වේ. තරුණ වයස සහජයෙන්ම කාමාස්වාදය කෙරෙහි දැඩිලෙස යොමුවන අවදියක් වන හෙයින් තරුණ පිරිස නීතිය හා සදාචාරය පිළිබඳ සැළකිලිමත් වී ආත්ම දමනයක් ඇතිකරගත යුතු වේ. එසේ නොවුණහොත් ඔවුන් ධනයෙන් පමණක් නොව වෙනත් අංශයන්ගෙන්ද පිරිහුණු පුද්ගලයන් බවට පත්විය හැකිය.

කාමාස්වාදය කෙරෙහි දැඩිලෙස ආසක්ත වූ පුද්ගලයාට එයින් අර්ථවත් සුවයක් ලැබිය නොහැකි බව බුදුරදුන් විසින් නොයෙක් අවස්ථාවල දේශනාකොට තිබේ. කාමයෙහි ආදීනව නැතැයි පිළිගත් අරිට්ඨ නම් භික්ෂුවගේ මතය බැහැර කිරීම පිණිස බුදුරදුන් ගෙනහැර දැක්වූ කරුණු අලගද්දූපම සූත්‍රයේ දැක්වේ. එම සූත්‍රයේ විවරණය කෙරෙන පරිදි කාමය වනාහි ඇට කැබැල්ලක් බඳුය. (අට්ඨිකංඛලූපමා) මස් ලේ නැති ඇට කැබැල්ලකින් කිසිදු රසයක් විඳිය නොහැකිය. එය බුදින සතෙකුට හෝ මිනිසෙකුට කුස පිරුමක්ද නැත. කාමය ආශ්වාදනය කරන්නාට කොතෙක් ලැබුණත් සෑහීමක් නොමැත. එසේම තෘප්තියක්ද නොමැත. තව තවත් අලුත් ආශ්වාදයන් සොයමින් වෙහෙසෙයි. මස් කුට්ටිය බහු සාධාරණය. මස් කුට්ටියක් ගත් පක්ෂියෙකු ගුවනේ පියාසර කරන විට සෙසු පක්ෂින්ද එය ඩැහැ ගැනීමට සැරසෙනු ඇත. මේ හේතුවෙන් පක්ෂීන් අතර ගැටුමක් නිර්මාණය වෙයි. ඇතැම් විට එකිනෙකා කා කොටාගෙන මරණයට පත්වෙයි. එසේම එකම කාම වස්තුවට බොහෝ දෙනෙක් අයිතිවාසිකම් කියන හෙයින් එය අත්පත්කරගැනීමට යාමේ දී විවිධ ගැටලු නිර්මාණය වේ. තවත් කෙනෙක් එය භුක්ති විඳිනවා දකින්නට කැමති නැත. තමා සතු කරගැනීමේ අරගලය නිසා ජීවිත හා දේපළලද විනාශ විය හැකිය. කාමය බහු සාධාරණ නිසා බුදුරදුන් එය මස්කුට්ටියක් හා සමකොට (මංසපෙසූපමා) තිබේ. කාමය තණ හුලක් බඳුය (තිණුක්කුපමා) තණ හුල ක්‍රමයෙන් දැවී අවසන්ව ඇතැම් විට අල්ලාගෙන සිටින්නාද පිළිස්සීමට ඉඩ තිබේ. කාමයත් එබඳුය. කාමාශ්වාදය දැවෙමින් අවසන් වන්නකි. කාමය අඟුරුවලක් බඳුය( අංගාරකාසුපමා) සමීපයට ද යා නොහැකිය. දැඩි ගින්න හේතුවෙන් දැවීමට තැවීමට ලක් වෙයි. කාමය ඇතුළතින් හා පිටතින් පුද්ගලයා දැවීමට හා තැවීමට පත් කරයි. කාමය සිහිනයක් බඳුය. (සුපිනකූපමා) සැබෑවක් නොවේ. සිහිනය මායාවකි. කාමයත් මායාවක් වේ. කාමය ඉල්ලාගත් දෙයක් හා සමානය(යාචිතුකූපමා) ඉල්ලා ගත් දෙය තාවකාලිකය. එය ආපසු දිය යුතුවේ. කාම ආශ්වාදයත්, ඉල්ලාගත් දෙයක් සේ තාවකාලිකය. කාමය ගසක ගෙඩියක් බඳුය (රුක්ඛඵලූපමා) කවර හෝ මොහොතක ගසෙන් ගිලිහී යනු ඇත. කාමයත් එබඳුය එය කොතරම් මිහිරි ලෙස ආශ්වාදනය කළද එය අපෙන් ගිලිහී යනු ඇත. කාමය මස් කපන කොටයක් හා සමානය( සතතිසුපමා) මස් කපන කොටය අධික ලෙස නැවත නැවතත් කැපීමට භාජනය වන්නේ ය. කාමයේ ආදීනව වශයෙන් පුද්ගලයා නැවත නැවතත් අනේකවිධ වද වේදනාවන්ට ලක් වන්නේ ය. කාමය අඩයට තියුණු හුලක් බඳුය. (අසිසූනුපමා) තියුණු හුලකින් පහරදුන් විට ශරීරය විනිවිද යන්නේ ය. එවැනි ආයුධයක් නිසා ඇති වෙන කැපුම් තුවාල ජීවිතය වුව විනාශ කරයි. කාමයද එසේමයි. කාමාස්වාදය හේතුවෙන් මරණය වුව සිදුවීමේ අවස්ථා එමටය. කාමය තුළ නිරන්තරයෙන්ම පවතින්නේ සැකය හා බිය යන දෙකයි. කාම ආස්වාදයේ නිරත පුද්ගලයන් නිතරම සැකෙන් හා බියෙන් කාලය ගත කරනු ලැබේ. මෙනිසා බුදුරදුන් කාමය සර්ප හිසකට උපමා කර තිබේ. (සප්පසිරූපමා) සර්පයා කවර මොහොතක දෂ්ඨ කරන්නේද යන්න නිශ්චිතව කිව නොහැකිය. එබැවින් සර්පයකු දුටු විට සැකය හා බිය ඇතිවෙයි. කාමාස්වාදයද බිය හා සැකය මුල්කොට පවතී. බුදුරදුන්ගේ මෙම දේශනයෙන් පෙන්වා දෙන්නේ කාමය කොතරම් ප්‍රබල ලෙස පුද්ගලයා දැඩි ලෙස පීඩාවට පත්වන ආකාරයයි. කාමය තුළ යම් ආශ්වාදයක් තිබේ. ඒ නිසාම පුද්ගලයා එයට ආසක්ත වේ. එයින් මුසපත් වී කාමාතුරයෙකු බවට පත් වේ. බුදුරදුන් දේශනා කළේ කාමයේ සැබවින්ම ඇත්තේ අල්ප ආශ්වාදයක් බවය. (අප්පස්සාදා) නමුත් එහි දුක් ගොඩක් මෙන්ම ආදීනව ගොඩක් තිබේ. (බහුදුක්ඛා බහු ආදීනවා) මෙම තත්ත්වය වටහා නොගත් තැනැත්තා කාමාස්වාදය පිණිස ස්ත්‍රීන් කෙරෙහි ලොල් වී ස්වකීය ධනය මෙන්ම කීර්තියත්,ශාරීරික සෞඛ්‍යයත් විනාශ කරගනී.

කාමාශ්වාදය පතා විවිධ සමාජ ශාලාවල ඇසුර ලබමින් විශාල වශයෙන් ධනය වැය කරන ව්‍යාපාරික පන්තියක් ද දක්නට ලැබේ. එහෙත් එම ධනය එවැනි පහත් ක්‍රියා සඳහා යොමු කිරීමට වඩා ඵලදායක ලෙස ආයෝජනය කළ හැකි අවස්ථා කොතෙකුත් තිබේ. බුදුරදුන්ගේ ධර්මය මැනවින් වටහාගත් ව්‍යාපාරිකයෙකුට මෙන්ම ධනවතෙකුට තම ධනය තමාගේ සුඛවිහරණය කෙරෙහි පමණක් නොව ලෝකයාගේ යහපත වෙනුවෙන්ද වැය කොට දෙලොවම ජයගත් කෙනෙකු බවට පත්විය හැකිය.

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]