UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

51 වෙනි ජන්ම දිනය සපිරි වලවෙල හේමානන්ද නාහිමි

51 වෙනි ජන්ම දිනය සපිරි වලවෙල හේමානන්ද නාහිමි

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සද්ධම්ම යුක්තික (මාතර) මහා නිකායේ ගම්පහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ත්‍රිපිටකවේදී සද්ධර්මාචාර්ය වලවෙල හේමානන්ද නාහිමිපාණන් වහන්සේ නොවැම්බර් 07 වෙනිදින සිය 51 වෙනි ජන්ම දිනය සපුරනු ලැබූහ.

උන්වහන්සේ හම්බන්තොට බෙලිඅත්ත ආසනයේ වලවෙල ග්‍රාමයේ පුන්‍යවත්ත පරිසරයක් තුළ උදයනන්ද වනිගසිංහ හා සෝමාවතී වනිගසිංහ දම්පතීන්ට දාව 1965 නොවැම්බර් 07 වෙනිදින උපත ලැබීය. සහෝදරයන් හතර දෙනෙකු හා සහෝදරියන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලේ සත්වැන්නා ලෙස උපත ලැබූ එම කුමරුවා නමින් හේමන්ත වනිගසිංහ නම් වීය. මුලින්ම අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ තිහළුව මහා විද්‍යාලයෙන්ය. අත්තා සහ අත්තම්මා විසින් සිය ඉඩකඩම් වලවෙල ග්‍රාමයේ දේවරක්ඛිතාරාම විහාරස්ථානයට පූජා කොට තම මුණුපුරු හේමන්ත කුමරුන්ට බුදු දහමේ අනුසස් කියා දෙමින් සිත තුළ බුදු පුතෙකු රෝපණය කළහ. තම මිතුරා මහණ දම් පුරණ අයුරු සියැසින් දුටු හේමන්ත කුමරු තම පෙර සංසාරේ පුරුද්ද නිසා දෝ මෑණියන්ට ඇවිටිලි කොට කෙසේ හෝ මහණ වන්නට වුවමනා බව පසක් කොට මෑණියන්ගේ සහෝදරයකු වන එවකට ගිංතොට වැලිවිට අභිනවාරාමයේ විහාරාධිපතිව වැඩ විසූ වලවෙල සෝමසිරි නාහිමියන්ගේ මග පෙන්වීමෙන් වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයට පා තබයි. එවකට විහාරාධිපතිව වැඩවිසූ කොස්ගොඩ ශ්‍රී දේවානන්ද නාහිමියන්ගේ සෙවණේ සිට ගිහි ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපන කටයුතු කරද්දී 1979 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝය දින බාදිලියාතුඩුව විජයනන්දාරාම විහාරස්ථානයේ දී තඹදියේ පේමාලෝක නාහිමියන් වෙතින් සාමණේර බණදහම් අත්පොත් තැබූ අතර එතැන් පටන් පිරිවෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කළහ.

අනතුරුව 1981 නොවැම්බර් 15 වෙනිදින කොස්ගොඩ ශි‍්‍ර දේවානන්ද නාහිමින්ගේ සහ වලවෙල සෝමසිරි නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් හුණුපිටිය ශි‍්‍ර විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී වලවෙල හේමානන්ද නමින් බුද්ධ ශාසනයේ උතුම් පැවිදි භාවය ලබන්න භාග්‍යවන්ත වූහ. සාමණේර භික්ෂූන් වහන්සේ නමක් ලෙසට හුණුපිටිය ග්‍රාමයේ කාගේත් සිත් දිනාගෙන හේමානන්ද ස්වාමීන් වහන්සේ තම ශක්ති ප්‍රමාණයෙන් ආගමික කටයුතු වල නියැලුණි. ඒ උදෙසා කටයුතු කරන අතර බෝධි පූජා පින්කම් ද සංවිධානය කළහ.

කොස්ගොඩ ශ්‍රී දේවානන්ද නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු වලවෙල සෝමසිරි නාහිමියන් විහාරාධිපතිව සිටිය නමුත් උන්වහන්සේද රෝගාතුර වූයෙන් ඒ සඳහා උවටැන් කිරීමට කාලය කැපකිරීමෙන් තමන් වහන්සේගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය. සෝමසිරි හිමියන්ගේ අපවත් වීමද මේ අතර සිදුවෙයි. එහෙත් අධිෂ්ඨානශීලිව කටයුතු කළ හේමානන්ද හිමියන් විහාරස්ථානයේ බෞද්ධාරක්ෂක සභාවේ සහයෝගය ඇතිව හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම විහාරයේ අභිනව විහාරාධිපති වහන්සේ බවට පත්වූයේ උපසම්පදා පින්කමක් සමගය.

විශාල දායක දායිකාවන් සංඛ්‍යාවක් වෙසන හුණුපිටිය ග්‍රාමයේ ආගමික සාමාජයීය, සංස්කෘතික අංග කෙරෙහි මහත් ඕනෑකමින් කටයුතු කළහ. කැලණි කලාපයේ පැරණිම දහම් පාසල පණගන්වා විදුහල්පතින් වහන්සේ එය දිවයිනේ හොඳම දහම් පාසල් අතරට ගෙන ආහ. ගුරු පත්වීම් ලැබෙද්දී ඒවා ඉවත දමා දායක දායිකාවන්ගේ හා පන්සලේ දියුණුව ගැන සිතීය. 1987 දී ශ්‍රී විජය පෙර පාසල ආරම්භ කරන ලද්දේ බෞද්ධ දරුවන් කුඩා කාලයේදීම බෞද්ධ පරිසරයක හැදිය යුතු බව පෙන්වා දීමටය.

එපමණක් නොව උන්වහන්සේ පාසල් අධ්‍යාපනය අවසන් කරන දරුවන් උදෙසා 1988 දී ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ අනුබද්ධ කාර්මික විද්‍යාලයක් ලෙස හේමානන්ද කාර්මික විද්‍යාලය ආරම්භ කර කාර්මික පුහුණු පාඨමාලා උගන්වන සාර්ථක මධ්‍යස්ථානයක් බවට පත් කළහ. ගොඩනැගිලි අවශ්‍යතා සඳහා තරුණ පිරිස සමග ගෙයක් ගෙයක් පාසා ගොස් ආධාර උපකාර ලබාගෙන 1993 දී දෙමහල් ගොඩනැලිල්ලක් ඉදි කර ගත්හ. 2002 නොවැම්බර් මස අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන් වහන්සේගේ සුරතින් විවෘත වූ නව බෝධි ප්‍රාකාරය සහිත අටවිසි බුද්ධ මන්දිරය හා අංග සම්පුර්ණ පූජා භූමියක් සෑදවීය. 2003 වර්ෂයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකර විවෘත කරන ලදී. අභියෝගකාරී අවස්ථාවල නොසැලී සිටීමේ එඩිතරකම උන්වහන්සේ සතුවිය. තමන් වහන්සේට පූජා කළ ඉසුරුදම් සෙවණ විවේක සෙනසුන නමින් තවත් හිමිනමකට පරිත්‍යාග කිරීමට සමත්වීම ශාසනයට ඇති ලැදියාව පෙන්වන්නකි. විවේකය ලද සෑම වීමට විදේශ ධර්මදූත සේවයේ යෙදීමද වැදගත් වේ.

බී. සරත් වික්‍රමසූරිය

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]