UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් කදුරුගස්දමනට පන්සලක්

මිහින්තලේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් කදුරුගස්දමනට පන්සලක්

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හාමුදුරුවන් වහන්සේ වෙත දෙස් විදෙස් පින්වතුන්ගෙන් ලද ආධාර යොදවා ගම්වැසියන්ගේ ඉල්ලීම පරිදි කදුරුගස්දමන ගම්මානයට අලුතෙන් පන්සලක් සාදා දී ඇත.


නව විහාරස්ථානය විවෘත කළ අයුරු

අනුරාධපුර රඹෑව පරසන්ගස්වැව රත්මලේ කදුරුගස්දමන ගම්මානයට පන්සලක් මෙයට පෙර තිබුණේ නැත. ඒ ගමේ අය එක්වී මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන අපේ ලොකු හාමුදුරුවන්ට මේ බැව් කියා සිටියහ. උන් වහන්සේ එම ස්ථානයට වැඩමවා සොයා බලා පසු ගිය ඇසළ පෝයට එම ස්ථානයේ අලුතින් පන්සලක් සෑදීම ආරම්භ කළහ. මිහින්තලා රජ මහාවිහාරවාසී උපරතන හාමුදුරුවන් එහි ඉතා කුඩා කුටියක නතර කර වස් සමාදම් කරවූහ. ඒ අතර තුර තුන් මාසය පුරා ධර්ම දේශනා පවත්වමින්, ගමේ අයට දහම් මිහිර බෙදා දීමටත් කටයුතු කරන අතරතුර ගමේ අයගේද උපකාර ඇතිව විහාරස්ථානය ඉදි කිරීම් කටයුතු සිදු කළහ. මාස තුනක් වැනි කෙටි කාලයකින් කදුරුගස්දමන ගමට අලුතින් ධර්ම ශාලාවක්., බුදු මැදුරක් ආදි අංග සම්පූර්ණ පන්සලක් සාදා ගමේ සිටින වයසකම තැනැත්තා අතින් විවෘත කොට සඟසතු කර පූජා කිරීම පසු ගියදා (05) සිදු කළහ. අලුතින් ඉදිකළ පන්සල සඳහා මිහින්තලා රජ මහා විහාරාධිපති හිමිපාණන් වහන්සේ දෙස් විදෙස් පින්වතුන් ලබා දුන් ආධාර මුදල් රුපියල් ලක්ෂ විසිපහක් පමණ වැය කර තිබුණි.

එම විවෘත කිරීමත් සමඟ අභිනවයෙන් ඉදි කළ එම විහාරස්ථානයේ විශේෂ සිදුවීම් කීපයක්ද විණි.

විහාරස්ථානයේ ප්‍රථම කඨින පූජාව, ප්‍රථම සාංඝික දානය පිරි නැමීම, ආදිය එහිදී විශේෂය. ඉකුත් 04 වන දින චීවරය පෙරහරකින් වඩමවා පසු දින (05) පාන්දර සිට දවල් දානය වන තෙක් එම විහාරස්ථානයේදීම මැහුම් ශිල්පිනියක ලවා සිවුර මසා පෙරහරකින්, තූර්ය නාද සහ සාධු නාද මැද කදුරුගස්දමන වැවට ගෙන ගොස් සෝදා පිරිසුදු කර නැවත පෙරහරින් විහාරස්ථානයට වැඩමවා පන්සලේදීම සාදා ගත් පඬු ඔරුවක දමා සිවුර පඬු පෙවීම සිදු කළහ. නව විහාරස්ථානයට වැඩම කර සිටි මහා සංඝරත්නය වෙත ගමේ දායක පිරිස කඨින සිවුරක් ලෙස පූජා කළහ. මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ. “කදුරුගස් දමන ගමේ අය පන්සල හදලා දෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කළා. මම පින් කරලා තියෙන නිසා, දෙස් විදෙස් සියලුම දෙනාගේ සහයෝගයෙන් මට පුළුවන් වුණ මාස තුනකින් පන්සලක් හදලා සඟ සතු කරලා පූජා කරන්න. පෝය තුනකින් පන්සලක් අංග සම්පූර්ණව හැදුවා කියන්නේ විශ්ම කර්ම වැඩක්. මට උදව් උපකාර කළ සිමෙන්ති, වැලි, ලබා දුන් සැමට අත් උදව් දුන් සියලු දෙනාට මුදල් ලබා දුන් සියලු දෙනාට මම ආශිර්වාද කරනවා. ඒ වාගේම අප මේ කරන සමාජීය ,ආගමික සහ අනෙක් විශේෂ වැඩසටහන් රටට ලෝකයාට කියමින් අප දිරිමත් කරන ලේක්හවුස් ආයතනයේ බුදුසරණ පුවත් පත, දිනමිණ පුවත්පත ඒ වාගේම අනෙකුත් පුවත්පත් අගය කරන්න ඕන. එම ආයතනවල සේවය කරන ලොකු, කුඩා සියලු දෙනාටමත් ආශිර්වාද කරනවා. අප කරන සේවාවන් පුවත් පතක පළවුනාම අපට තවත් වැඩක් කරන්න හිතෙනවා.

ශ්‍රී මහා බෝධිය මුලින්ම වැඩමවූයේ, දළදා හාමුදුරුවන් වැඩම වූයේ, මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළේ මේ මිහින්තලා ආශි‍්‍රත අනුරාධපුරයට, මෙය පින් බිමක්, මේ පින් බිමේ අපට පුළුවන් හැටියට පින්කම් කරන්න ඕන. දිවා රාත්‍රි පැය විසිහතර පුරාම පින්, ලැබෙන කටයුතු මේවා. මිහින්තලේ දී තමයි රහතන් වහන්සේලා හැට අට නමක් මුලින් ලංකාවේ වස් වැසුයේ. ලංකාවේ මුල්ම කඨින පින්කම සිදු කළෙත් මිහින්තලයේදී.

“අද මෙම නව විහාරස්ථානයේදි මුල්ම වස් වැසීම, මුල්ම කඨින චීවර පූජාව, මුල්ම සර්ව රාත්‍රික ධර්ම දේශනය, මුල්ම මහා සාංඝික දානය සිදුකළා. අද වැඩම කළ මහා සංඝ රත්නයටත්, කදුරුගස්දමන ගමේ ජනතාවටත් මම ආශිර්වාද කරනවා” යැයි පැවසූහ. එම අවස්ථාවට දොරමඩලාවේ පණ්ඩිත පමුණුවේ සුමනජෝති හිමි ඇතුළු මහ සඟරුවන ද,අනුරාධපුර මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා අංශයේ පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු කදුරුගස්දමන ගමේ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.


නව ධර්ම ශාලාව සහ නව බුදු මැදුර


වැඩම කළ මහා සංඝරත්නය


 


කඨින චීවරය පිරිනැමූ අවස්ථාව

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]