UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් අව අටවක 2016.10.22

වටින පින්කම

කඨින පින්කමෙහි ඇති වටිනකම පිළිබඳ අපි ඉකුත් වප් පුර පසළොස්වක පෝදා පත්‍රයෙහිද සඳහන් කළෙමු. තෙමසක් තරම් දිගු කාලයක් පුරා මහත් වෙහෙසක් දරා සූදානම්වීමෙන්, කැපවීමෙන් සිදු කරන මහ පින්කමක් නිසාම අදත් ඒ ගැන සටහනක් තැබීම කාලෝචිත වේයැයි සිතමු.

ශ්‍රද්ධාවත්, ඕනෑකමත්, ධනයත් තිබේ නම් ඕනෑම මහඟු පින්කමක් ඕනෑම අවස්ථාවකදී සිදු කිරීමේ හැකියාව පවතී. එහෙත් කඨින පින්කම කෙතරම් පහසුකම් පැවතියද අවශ්‍ය ඕනෑම වෙලාවක සිදු කළ හැකි පින්කමක් නොවේ. වස්සාන සමයෙහිදී ඇසළ පුර පසළොස්වකදා පොහොය විනය කර්ම සිදුකර ඇසළ අව පෑළවියදා වස් වැසීම පෙර වස් විසීමය. වස් තෙමස පුරා එය ආරක්ෂා කරමින් වස්සජ්ජේදනය කර නොගැනීමෙන් වප් පුර පසළොස්වක දා මහා පවාරණයෙන් පවාරණය කළ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් කඨින පින්කම සඳහා මහෝපකාරී වේ. පෙර වස් වසා යම්කිසි කරදරයක් හෝ අසනීපාදිය නිසා පෙරවස් පවාරණය කළ නොහැකි වූ භික්ෂූන් වහන්සේට ද කඨිනය පිළිගත හැකි ය.

වප් පුර පසළොස්වක පෝදායින් ආරම්භ වූ මෙම වසරේ චීවර මාසය ඉල් පුර පසළොස්වක පෝදා දක්වා පවතී. එම කාලය තුළ දී කඨින පින්කම් සිදු කිරීම පෞරාණික චාරිත්‍රයද වේ. මෙම වටින පින්කමෙහි ඇති තවත් සුවිශේෂත්වයක් පවතී. එනම් එක් ස්ථානයකදී වසරකට එක් වරක් සිදු කළ හැකි දුර්ලභ පින්කම වනුයේද කඨින පින්කමය. එමගින්ද කඨිනයෙහි ඇති වටිනකම අවබෝධ කර ගත හැකිවේ. වෙනත් විශේෂ පින්කම් සිදු කළද, නොකළද සෑම විහාරස්ථානයකම වසරකට වරක් දායක පිරිසගේ මහත් ශ්‍රද්ධාවත්, ඕනෑකමත් නිසාම සිදු කරන විශේෂ පින්කමකි කඨින පින්කම. ආමිස දානයන් අතර කඨින චීවර පින්කම උතුම් පින්කමකි.

වස් කාලය එළඹීමත් සමඟ වස් කාලය පුරාම ලොකු කුඩා සියලු දෙනා සංවිධානාත්මකව සිදු කරන පින්කමකි කඨින පින්කම. ඇතැම් විට ඒ සඳහා දිනපතා තෙරුවන් වන්දනා, බෝධිවන්දනා ආදිය පවත්වමින් ඊට මහත් සූදානමක් වස් තෙමස පුරා ඇති කර ගනු ලැබේ. වස්සානයේ එළඹෙන චීවර මාසය උදාවෙත්ම ඇතැම්විට දින ගණනක් පුරා දම් දෙසුම් මාලා ඇතුළු පින්කම් මාලාවක් සංවිධානය කර ගනු ලැබේ. දායක පිරිස සියලු දෙනාගේ උනන්දුවෙන් උද්‍යෝගයෙන් ආධාරයෙන් සිදු කරන කඨින පින්කම වසරේ අමතක නොවන මහ පින්කමක් බවට පත් කර ගැනීමට විහාරස්ථානයට අත්‍යවශ්‍ය විහාරාංගයක් ඉදිකර ගෙන එය නිතර අනුස්මරණය කළ හැකි පින්කමක් බවටද පත් කර ගනු ලැබේ. සියලු දෙනා දැනුම්වත් තරමින් දායක කර ගනිමින් පවත්වනු ලබන වටින පින්කමද කඨින පින්කම වේ.

කඨිනය පිළිගන්වන දායක පක්ෂයටත් කඨිනය පිළිගනු ලබන පැවිදි පක්ෂයටත් ආනිශංස උදාකර ගත හැකි මහ පින්කමකි. අතීතයේ දී අභිනවයෙන් නිවසක් ඉදිකර ගත් විට එම නිවස පළමුව තෙරුවන් උදෙසා වෙන් කිරීම් වශයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේ එම නිවසෙහි වස්වසවා ගැනීමේ චාරිත්‍රයක් පැවතිණි. ආනිශංස පිළිබඳ අවධානය යොමු කරන සැදැහැවතුන් අද පවා එම චාරිත්‍රය ඉටු කරන අයුරු කලාතුරකින් හෝ දක්නට ලැබෙන බවද සඳහන් කළ යුතු වේ.

දෙවියෙක් වුවද මනුෂ්‍යයෙක් වුවද සසර ගමන පුරා පින් අවශ්‍ය වේ. බුද්ධිමත් මනුෂ්‍යයා යහපත් අරමුණක් පෙරමුණට ගෙන කවර හෝ කුසල ක්‍රියාවක නිරත වීමට උනන්දුවනු ලැබේ. ඒ සසර ගමනට පින් අවශ්‍ය වන බව අවබෝධ කර ගැනීමෙන් ශක්ති පමණින් පින්දහම්හි නිරත වීමට කල්පනා කරන බැවිනි.

අතීත බෞද්ධ සමාජය පින් පොත නිරන්තරව පරිහරණය කරන ලද්දේ තමන් කරන යහපත් ක්‍රියාවන් සටහන් කිරීමට ය. එසේ සටහන් තබා ඉඩ ලද විට ඒවා සිහියට නඟා ගනිමින් නැවත නැවත සතුටට පත්වීමට එය උපයෝගී කර ගන්නා ලදී. වර්තමානයේ දී පවා පින් පොත පරිහරණය කරන අය නැත්තේ නොවේ. මිනිසත් භවයක් ලබා ගැනීමට ඇති දුර්ලභ බව වටහාගෙන ලබාගත් වටිනා ජීවිතය යහපතට යොමු කර ගනු ලබන්නේ මනුෂ්‍යයන් අතර බුද්ධිමත් මනුෂ්‍යයන් පමණි. ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා පින්පොත උපයෝගී කර ගැනීමට කල්පනා කළ යුතු වේ. උපන් නිසාම ජීවත්වීම පමණක් ගැන නොසිතා තමාටත් තමා වෙසෙන අවට සමාජයටත් යහපතක් සැලසෙන අයුරෙන් ජීවත්වීම බුද්ධිමත් ක්‍රියාවක් වන බව කල්පනාවට ගැනීමෙන් දිවිගමන පුරා සදා අනුස්මරණීය මහඟු පින්කම්වල නිරතවීමට ශක්තිය හිමිවේ.

 

   වප් අව අටවක පෝය

 වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]