UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසරකට පෙර අපවත්වී වදාළ හිස්සැල්ලේ සුදන්තා සිල්මෑණියන් වහන්සේ

වසරකට පෙර අපවත්වී වදාළ හිස්සැල්ලේ සුදන්තා සිල්මෑණියන් වහන්සේ

එදා නොදියුණුූ තත්ත්වයක, ජනශූන්‍යතාව තිබූ අවධියක අනුරාධපුරයට පැමිණ දායිකාවන් පිරිසකගේ උදව් උපකාර ඇතිව සසුන් කෙත සරු කිරීමට අප්‍රමාණ වීර්යකින් කටයුතු කළේ අනුරාධපුර , ගුවන්තොටුපල පාරේ, විහාරමහාදේවි ආරාමාධිපතිනි, අපවත් වී වදාළ “විනයකීර්ති ශ්‍රී ශාසන ප්‍රදීපාභිමාණී” සුදන්තා සිල් මෑණියන් වහන්සේය.

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අළුත්කූරු කෝරලයේ දාසියපත්තුවේ හිස්සැල්ල නම් ගම්පියසේ විසූ කරුණානායක පතිරුන්නැහැලාගේ ජේමිස් සිඤ්ඤෝ ගම්මුලාදෑනිතුමාට සහ විජයලත් පතිරන්නැහැලාගේ රෙසෝනෝනා ගුරු මාතාවට දාව උපන් දරුවන් හය දෙනාගෙන් හයවැනියා වෙමින් 1927.01.01 දින උපන් දියණියට සෝමාවතී කරුණානායක යන නම තබන ලදී.

විහාරමහාදේවි ආරාමයේ අභිනව විහාර මන්දිරය හා
අටවිසි බුද්ධ මන්දිරය

සුදන්තා සිල් මෑණියන් අරඹන ලද අනුරාධපුර ශ්‍රී සංඝමිත්තා
වාර්ෂික මහා පෙරහරේ එක් අවස්ථාවක්.

කුඩා කල තම ලොකු අම්මාගේ අතේ එල්ලී හිස්සැල්ලේ සුගතාරාමයට ගිය ඇය සිල් සමාදන් වූවාය. පොත් බලාගෙන සෝමාවතී සිල් පිරිසට බණ කීවාය. ආගම ධර්මය තම සිරුර පුරා දිවයන්නට විය. එහෙයින් හිස්සැල්ල ගමට මහත් අඩුපාඩුවක්ව පැවති සිරිසුගතාරාම දහම් පාසල ආරම්භ කිරීමට පුරෝගාමී වූ අතර, එම දහම් පාසලට පොත්පත් ද පරිත්‍යාග කළාය. තිස්හැවිරිදි විය වන විට ඇයට ජීවිත යථාර්ථය පසක් වන්නට වූයෙන් කඳුබොඩ විපස්සනා භවනා මධ්‍යස්ථානයේදී භාවනා පුහුණුව ලැබුවාය.

එම පුහුණුව තුළින් ලත් ආගමික පන්නරය මත 1958 දී ඇය බියගම විහාරමහාදේවි ආරාමයට ගොස් සිල් මාතාවක් වීමට අවශ්‍ය පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කළාය. එම නිසාම 1960 දී ඈ ධර්මාචාර්ය විභාගය ද සමත් වූවාය. යොවුන්විය සසුන්කෙතටම බැරකළ ඇය 1960.05.09 වැනි දින බියගම විහාරමහාදේවි ආරාමාධිපතිනිය වු ශාස්ත්‍රචාරිනී කෑගල්ලේ සුධර්මා සිල් මෑණියන්ගේ ශිෂ්‍යාවක වෙමින් හිස්සැල්ලේ සුදන්තා නමින් පැවිදි දිවියට ඇතුළු වූවාය.

අනුරාධපුර නව නගරයේ පිහිටි එවකට අනගාරික උපාසිකාරාමය වූ , දැනට විහාර මහාදේවි ආරාමය 1961 සැප්තැම්බර් මස කෑගල්ලේ සුධර්මා සිල් මෑණියන්ට භාර කෙරුණි. 1961.12.12 දින එම ආරාමය සුදන්තා සිල් මෑණියන්ට පවරන ලදී. ළඟපාත දියුණුූ ජනාවාසයක් නොපැවති අතර, කටු ඉපල්වලින් පිරුණු වටපිටාවේ ආගමික පසුබිම රෝපණය කරන්නට මහත් වෙහෙසක් දැරීමට සුදන්තා සිල් මෑණියන්ට සිදු විය.

1962.02.11 වන දින විහාරමහාදේවි කාර්ය සාධක සමිතියද, 1962.08.09 වන දින සිසුන් 15 කින් පමණ විහාර මහා දේවි දහම්පාසලද ආරම්භ කිරීමට සුදන්තා සිල් මෑණියන් සමත් වූවාය. අදවන විට එම දහම් පාසලෙන් ඉගෙනුම ලබා පිට වූ ශිෂ්‍ය සංඛ්‍යාව 8000 කට ආසන්න වී ඇත. පුරා අවුරුදු 40 ක් මෙම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය ඉසුලුයේ සුදන්තා සිල් මෑණියන් වහන්සේය.

සාමාන්‍ය පොහෝ දිනවල මෙම ආරාමයේ සිල් සමාදන්වන පිරිස 200 ක් පමණ වන අතර, වෙසක්, පොසොන් පොහෝ දිනවල 400-500 ක් පමණ වෙති. ආමිසපුජා, ප්‍රතිපත්ති පූජාවන් නිරන්තරයෙන් ආරාමය මුල් කර ගනිමින් පවත්වාගෙන ඒම වැදගත් කොට සැලකිය හැකිය. ප්‍රදේශයේ මහත් ජනාදරයට පත් ආරාමය බවට පත්කර ගන්නට හැකි වී ඇත්තේ විනයධර, ධර්මධර සුදන්තා සිල්මෑණියන් වහන්සේට මෙම ආරාමය සෙවනක් වු නිසා වසරකට වරක් සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ගුණ සමරනු පිණිස පවත්වන සංඝමිත්තා මහා පෙරහර අප්‍රතිහත ධෛර්යෙන් සංකේතවත් කරයි. සංඝමිත්තා පෙරහර සඳහා අරමුදලක් පිහිට වු අතර, දැනට එහි රුපියල් හය ලක්ෂයක පමණ මුදලක් තැන්පත්කොට තිබේ. 2002 සැප්තැම්බර් 15 වෙනි දින තම පියාගෙන් ලැබුණූ රු. 150000/- ක මුදලින් විහාරමහාදේවි දහම් පාසලේ දියුණුව සඳහා ගුරු උපහාර අරමුදලක් ද ආරම්භ කළ අතර, ක්‍රමවත්ව හා මනා කළමණාකාරිත්වයකින් යුතුව ආරාමය පවත්වාගෙන යනු ලැබුයේ සුදන්තා සිල් මෑණියන් වහන්සේ විසිනි.

සුදන්තා සිල් මෑණියන්ගේ ශිෂ්‍ය සිල් මෑණියන් වහන්සේලා

අවට විහාරස්ථාන සමඟත්,ආරාම සමඟත් සුහදත්වය සුරක්ෂිත කරගනිමින් කටයුතු කළ අතර, තම සෙවනැල්ල සේ ළඟින් සිට අපවත් වී වදාළ අරැව්වල සුනන්දා සිල් මෑණියන් වහන්සේට පින් පිණිස අනුරාධපුර දහයියාගම 3 වන පියවරේ, ඩී.එස්. සේනානායක විදුහලට 1997.04.07 දින බුදු මැදුරක් පරිත්‍යාග කළේ ආගමික ගුණ සුවඳ දරුවන් තුළ ඇති කරමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසාය. 2002 වර්ෂයේදී අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විදුහලේ ඉදිකළ බුදුමැදුර සඳහා බුද්ධ ප්‍රතිමාවක්ද පරිත්‍යාග කළාය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිල් මාතා සංගමයේ සභාපති ධුරය 1989 වසරේදී හිමිවීමත්, (1992-95 දක්වා) සමස්ත ලංකා දසසිල් මාතා සංගමයේ උප සභාපතිනිය වීමත් (1998-2001 දක්වා) පසුව එහි අධිකරණ අනුශාසක පදවිය

පිරිනැමීමත් හිස්සැල්ලේ සුදන්තා සිල් මෑණියන් වහන්සේ විසින් කරනු ලැබු ජාතික මෙහෙවරට 2002.12.27 දින ශ්‍රී ජයවර්ධනපුර ගුණසමරු පදනම මගින් ‘විනය කීර්ති ශ්‍රී ශාසනප්‍රදීපාභිමානි’ ගෞරව සම්මානයෙන් පිදීමත් ඇයට ශාසනික මෙහෙවරවල යෙදීමට මහත් ධෛර්යයක් වූවාය.

1961 වසරේ සිට විහාර මහා දේවි ආරාමයේ දක්නට ලැබෙන ප්‍රගතිය දෙස බලන විට අටවිසි බුදු කුටි සහිත විහාර මන්දිරයත්,බෝධි ප්‍රාකාරයත්,ආරාමය වටා ඉදිවුණු ප්‍රාකාරයත්, ධර්ම ශාලාවත්, දහම් පාසල් ගොඩනැගිලිත්, දාන ශාලාව, පැන් පොකුණූ, විදුලිය, ජලය , දුරකථන යනාදිය සුදන්තා සිල්මෑණියන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය ප්‍රතිමූර්තිමත් කරවන සාධකයන්ට.සුදන්තා සිල්මෑණියන් වහන්සේ ලද ජයග්‍රහණ අපමණය. කර ඇති ශාසනික ජාතික සමාජ මෙහෙවර ඊටත් වඩා විශාලය.

විහාරමහාදේවි පෙර පාසල දහම් පාසල් ශිෂ්‍ය සමිතිය, දහම් පාසල් ආදි ශිෂ්‍ය සංගමය, දහම් පාසල් සංවර්ධන සමිතිය, කුළඟන සමිතිය හා දායක සමිතිය යනාදි විවිධ සමිති සමාගම් මගින් සැදැහැතියන් ඒකරාශි කොට ඇත. ආරාමය මගින්ද තමන් විසින්ද සමාජයට උරුමකර දෙන ධර්මඥානය හා ශික්ෂාකාමිත්වය ඉදිරියටත් උරුම කරදෙන්නට මහත් ශිෂ්‍ය පිරිසක්ද බිහි කළහ. අනුරාධපුර ධම්මිකා,අනුරාධපුර සුමනසීලි, හුරුළුනිකවැව සුදර්ශනා, කඹරව ධර්මලතා, මොරහෙල සීලානන්දා, අනුරාධපුර අනෝමා, කඩුගන්නාවේ චිත්‍රනන්දා, පේමඩුවේ සුමේධා, හසලක උත්පලවන්නා, බෝම්බුවල සුධීරා, නිකවැරටියේ සංඝමිත්තා, තලාවේ සුලෝචනා, කණ්ඩලමේ සුපේසලා, දෙහිඅත්තකණ්ඩියේ සුලක්ඛනා, හංවැල්ලේ සුදීපා යන ශිෂ්‍ය සිල්මෑණිවරුන් ඒ අතර වේ. සුදන්තා සිල්මෑණියන් අපවත් වීමෙන් පසු දැනට විහාරාධිපතිනිය ලෙස කටයුතු කරන්නේ ශිෂ්‍ය අනුරාධපුර සුමනසීලි සිල් මෑණියන්ය.

හිස්සැල්ලේ සුදන්තා සිල් මෑණියන් අපවත්වීමෙන් වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් (2016.07.14) අභිනව විහාරාධිපතිනි අනුරාධපුර සුමනශීලි මෑණියන් විසින් දියණිවරු දෙදෙනකු සසුන්ගත කළාය. එම මෑණිවරු දෙදෙනා සමග...

එම ශිෂ්‍ය පිරිසෙන් සිදුවන සමාජ ආගමික මෙහෙවරක් උදෙසා ලැබෙන ජනප්‍රසාදය සුදන්තා සිල් මෑණියන් වහන්සේට නිරන්තරයෙන් හිමිවෙමින් පවතී. එය සනාථ කරනු වස් විවිධ සමාජ සංවිධාන විසින් විවිධ තනතුරු ගරු බුහුමන් දක්වන අතර,අනුරාධපුර පොතානේගම විනන්දාරාමය ද එතුමියට භාර කෙරුණි. දිරාපත්ව තිබූ කුඩා ගොඩනැගිල්ලක් සහිතව ආරාමයක් සඳහා ලද විනන්දාරාමය ප්‍රදේශවාසින්ගේද තමන් වහන්සේගේ පෞද්ගලික ධනයෙන්ද දැනට ගොඩනගමින් පවතී.

මේ සියලු වැදුම් පිදුම් ලබන්නට සුදුසු යතිවරියක් සමාජයට දායාද කළ දෙමාපියන් , ගුරු දේවෝත්තමාවිය වන ශාස්ත්‍රාචාරිනි කෑගල්ලේ සුදර්මා සිල් මෑණියන් වහන්සේත්, තම පැවිදි සොයුරිය වන ඇරැව්වල සුනන්දා සිල්මෑණියන් වහන්සේත්, තමන්ට සෙවණැල්ලක් සේ ළඟින් සිටි ප්‍රදේශවාසී ප්‍රභූන් සහ දායක දායිකාවනුත් මේ මොහොතේ සිහිපත් කරන්නේ මහත් හදපිරි භක්ත්‍යාදරයකිනි.

සසුනඹර ආලෝකමත් කළ සුදන්තා සිල්මෑණියන් වහන්සේ ලෝක ස්වභාවය ඉක්මවා යන්නට වෙරදැරුවේ නැත. කෙමෙන් වයෝවෘද්ධ වෙමින් දිරාපත් වන බව මෑණියන් වහන්සේ නිතර කතා කරන්නට වූවාය. වරින් වර රෝගාතුර වී රෝහල් ගත වුවාය. 2014 ඔක්තෝබර් මාසය දැඩි ලෙස රෝගාතුර වු මාසයක් විය. එවර සුවපත්ව ආරාමයට වැඩම කොට ඉතා ඉක්මණින් දායක පිරිස කැඳවා තම සියලු අයිතිවාසිකම් 2014.11.06 වෙනි දින ශිෂ්‍ය අනුරාධපුර සුමනසීලි සිල් මෑණියන් වහන්සේට අත්ලියවිල්ලකින් පැවරුවාය. 2015.07.01 වන දින දැඩි ලෙස රෝගාතුර වී රෝහල් ගත වුවාය. සිල්මෑණිවරු පිරිවරා නිහඩව දෙසතියක් පමණ උපරිම ප්‍රතිකාර ලැබුවත් සංස්කාරයන්ගේ අනිත්‍යතාව ප්‍රකට කරමින් 2015.07.10 වැනි දින සැමගේ දෙනෙත් වලට කඳුළු පුරවමින් අපවත් වූවාය.

හිස්සැල්ලේ සුදන්තා සිල් මෑණියන් අපවත්වී වර්ෂ පුර්ණ පින්කම 2016.07.13, 14 යන දෙදින තුළ පැවැත්විණි. 13 වෙනිදා ධර්ම දේශනය පවත්වනු ලැබුවේ අනුරාධපුර අනගාරික ධර්මපාල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති කිතුල්හිටියාවේ ධම්මරතන හිමියන් විසිනි. 14 වෙනි දින පෙරවරුවෙහි දැරියන් දෙදෙනෙකු සසුන්ගත කෙරුන අතර, දවල් සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක්ද සිදුකෙරිණි.

ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය
සුදන්තා සිල්මෑණියන් විසින් අරඹන ලද ශ්‍රී සංඝමිත්තා පෙර පාසලේ දරුවන්

 

  ඇසළ අව අටවක පෝය

  ඇසළ අව අටවක පෝය ජූලි 26 වනදා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
27 වන දා බදාදා අපරභාග අපරභාග 3.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 26 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]