UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ඓතිහාසික දළදා පෙරහර

අනුරාධපුර ඓතිහාසික දළදා පෙරහර

අනුරාධපුර ශ්‍රී දළදා මහා පෙරහර මෙම මස ( 18 – 19 ) යන දෙදින තුළ අභිමානවත් අයුරින් අනුරාධපුර පූජා නගරය හා නව නගරය කේන්ද්‍රකරගෙන පැවැත්වේ.

ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ මඟ පෙන්වීම මත පෙරහර සංවිධාන කමිටුව මඟින් මෙවර පෙරහර සංවිධානය කරයි.

අනුරාධපුර රාජධානියෙහි මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජ දවස දඹදිව කළිඟු රට රජකළ ගුනසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු දඹකොළ පටුනෙන් බැස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කළහ.

පසුව දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකරන ලද ධම්මචක්ක මාලිගයෙහි වඩා හිඳුවා පුද පූජා පවත්වා ආකර්ෂණීය පෙරහරක් පැවැත්වූ බව පෙරහර ඉතිහාසය කියයි.

ශ්‍රී දළදා වහන්සේ කිත්සිරි මෙවන් රජ දවස මෙරටට වැඩමකළ කල්හි එතුමා විසින් දළදා වහන්සේ ඇතුළු නුවරට වැඩම කරවා එහි වඩා හිඳුවා එහි භාරකාරත්වය අභයගිරි විහාරයේ උත්තර මූලයට භාරදී වාර්ෂිකව පෙරහර පැවැත් වූ බව පෙන්නුම් කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතිය මඟින් දිවා පෙරහරක් පැවැත් වූ අතර, පසුව පෙරහරක අවශ්‍යතාවය ගැන බොදු ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු හිටපු ඇමතිවරයකු මෙන්ම උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වූ දිවංගත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ සංකල්පයක් මත කිත්සිරි මෙවන් රජ දවසින් පසු ප්‍රථම එක්දින රාත්‍රී පෙරහර 1997 ජූලි 18 දින අනුරාධපුර පූජනීය පෙදෙස කේන්ද්‍ර කරගෙන පැවැත්විණි.

එම ප්‍රථම පෙරහර පැවැත්වීම සඳහා හිටපු අටමස්ථානාධිපති අපවත් වී වදාළ පල්ලේගම සිරිසුමන රේවත ඤාණරතන නා හිමියන් කමිටුවේ අනුශාසක ලෙස අනුශාසනා ලබා දුන් අතර, පෙරහර කමිටු වේ ප්‍රධාන ලේකම් ලෙස හිටපු නියෝජ්‍ය නගරාධිපති නීතිඥ ප්‍රේමසිරි මහතාගේද, හිටපු අනුරාධපුර මහ දිසාපති ජයම්පති හෙට්ටි ආරච්චි මහතාගේ ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාගේද සේවය මෙහිලා සිහිපත් කළ යුතු ය.

පෞරාණික සම්ප්‍රදායන්ට හා සංස්කෘතික ලක්ෂණයන්ට ප්‍රමුඛත්වය දෙමින් පෙරහරේ සියලු අංග සුවිශේෂ ලක්ෂණයන්ගෙන් යුතුව නැටුම් කණ්ඩායම් සියයකට අධික පිරිසක් පෙරහර අලංකාරවත් කරනු ඇත.

ප්‍රථම දිනයේ පෙරහර ආරම්භ කරනුයේ මහ බෝ සමිඳුන්ගේ නැගෙනහිර වාහල්කඩ අභියස ඉදිකරන ලද විශේෂ පීඨිකාවක සිට මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සධාතුක කරඬුව හස්ති රාජයා පිට ඇති රන්සිවි ගෙයෙහි තැන්පත් කිරීමෙන් අනතුරුවය.

පෙරහර එම ස්ථානයෙන් ආරම්භ කර ශ්‍රී මහා බෝ සමිඳුන් වටා ඇති පෙරහර මාර්ගයෙහි ගමන් කර පෙත් මග ඔස්සේ රන්මැලි මහ සෑ රදුන් අභියසින් පැරණි රෝහල් හන්දියට පැමිණෙනු ඇත. එම හන්දියේ පෙරහර මදකට නවතා කරඬුව සහිත හස්ති රාජයා, නැටුම් කණ්ඩායම් කිහිපයක් සමඟ (සංඝමිත්තා මාවත) ඇතුල් නුවර පිහිටි ප්‍රථම වතාවට දළදා වහන්සේ තැන්පත් කර තිබූ දළදා මාලිගාව වෙතට ගොස් එම ස්ථානයේ පැවැත්වෙන විශේෂ පූජාවකට සහභාගි වනු ඇත.

එම ස්ථානයේ පූජා කටයුතු මෙහෙයවීම අභයගිරි විහාරාධිකාරී කල්ලංචියේ රතනසිරි හිමියන් විසින් සිදු කිරීමෙන් අනතුරුව නැවත එම පිරිස රෝහල් හන්දියට පැමිණ මහ පෙරහරට එක් වී ථූපාරාම දෙසින් දකුණට හැරී අනුලා මාවත ඔස්සේ වයි හන්දියෙන් ගමන්කර අභයගිරි ව්‍යාපෘති මූලස්ථානය අභියසින් අභයගිරි විහාරස්ථානයට ගෙවදීමෙන් ප්‍රථම දින පෙරහර අවසන් වේ.)

දෙවන දින (19) පෙරහර ප්‍රථම දිනයේ ආරම්භ කළ ස්ථානයෙන් පටන්ගෙන ශ්‍රී මහා බෝධි මාවත සිංහකණුව, වට රවුම, දුම්රිය නගරය, මාර්කට් හන්දියෙන් දකුණට හැරි මෛත්‍රීපාල සේනානායක මාවත (මහවීදිය) ඔස්සේ ගමන්කර නවනගරයේ වට රවුමෙන් දකුණට හැරී, ලේක්හවුස් අනුරාධපුර ශාඛා ගොඩනැගිල්ල අභියසින්, මධ්‍ය මහා විදුහල් හන්දියෙන් දකුණට හැරී ජයන්ති මාවත ඔස්සේ, සිංහ කණුව වටරවුමෙන් වමට හැරී යළි ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ මහා විහාරයට ගෙවදීමෙන් මෙවර අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර නිමාවට පත්වනු ඇත.

පෙරහරේ පුණ්‍යානුමෝදනාව ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති නුවර කලාවිසේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන් විසින් සිදු කරනු ඇත.

පෙරහරේ සමාරම්භක අවස්ථාවට අටමස්ථානාධිපති නා හිමියන් ප්‍රධාන අටමස්ථානයට අයත් නා හිමිවරුද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා, ප්‍රධාන රජයේ මැති ඇමතිවරුද මහ දිසාපති ඩී.පී. ජී. කුමාරසිරි මහතා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ද පාර්ලිමේන්තු, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුද, ප්‍රාදේශීය ලේකම්වරුද රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ද සහභාගි වනු ඇත.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]