UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගැඹුරු අවබෝධයකින් තොරව කිසිම පුද්ගලයකු පිළිබඳව අදහසක් පළ නොකළ යුතුයි

ගැඹුරු අවබෝධයකින් තොරව කිසිම පුද්ගලයකු පිළිබඳව අදහසක් පළ නොකළ යුතුයි

ගෞරවනීය ස්වාමීන් වහන්ස, නින්දාවට අපහාසයට ලක්වීම අටලෝ දහමට අයත් කාරණාවක් වුවත්,යමි ප්‍රමාණයකට හෝ නින්දාවට අපහාසයට ලක්නොවී සිටිමට නොහැකිද?

එය අපගේ සංසාර ගමනට බලපාන්නේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක වග්ගයේදීී ඉතාම විශිෂ්ට මඟ පෙන්වීමක් ලෙස ඉතාමත් වටිනා සංකල්පයක් අවධාරණය කර තිබෙනවා. බුද්ධිමතුන්ගෙත්, වියතුන්ගේත්, ප්‍රඥාවන්තයන්ගේත් ගර්හාවට , නින්දාවට, අපහාසයට ලක්නොවී සිටීමට එම සංකල්පය අපට බොහෝ සෙයින් උපකාරී වෙයි. සංසාර ගමනේදී පස්පවි දස අකුසල් පුරවා ගන්නේ නැතිව ඊළඟ භව ගමන පරිහානිය කරා යාම වළක්වා ගැනීමට එම කරුණු හතර අපට උපකාරවත් කර ගත හැකියි . උන්වහන්සේ එහිදී පළමු කොටම අවධාරණය කරනු ලබන්නේ නුගුණ කිව යුත්තාගේ ගුණ කීමෙන් වැළකිය යුතුයි. දෙවනුව නොදැන නොබැස ගුණ කිව යුත්තාගේ දුර්ගුණ කීමෙන් වැළකිය යුතු බවට අවධාරණය කරයි . නොදැන , නොබැස අපැහැදිය යුතු ධර්මයෙහි පැහැදීමෙන් වැළකිය යුතු බව තෙවනුව අවධාරණය කරයි. නොදැන නොබැස පැහැදිය යුතු ධර්මයෙහි අපැහැදීමෙන් වැළකිය යුතු බවයි.

එම කරුණු හතර දෙස අවධානය යොමුකිරීමෙන් අපට පෙනෙනුයේ බුදුරජාණන් වහන්සේ ඉතාම ගැඹුරු ලෙස මඟ පෙන්වා දී තිබෙන්නේ මේ ලෝක වශයෙන් අපට පරිහානියට පත්විය හැකි ධර්මතා සහ සංසාරික වශයෙන් අප දුගතිගාමී විය හැකි ධර්මතා හතරක් බවයි. නොදැන නොබැස නිවැරැදි ගැඹුරු අවබෝධයකින් ප්‍රත්‍යක්ෂ ඤාණයකින් තොරව කිසිම පුද්ගලයකු පිළිබඳව අදහසක් පළ නොකළ යුතු බවට බුදුපියාණන් වහන්සේ අවධාරණය කර තිබෙනවා. පුද්ගලයකු යහපත් යැයි ප්‍රකාශ කරනවා නම්,එම පුද්ගලයා පිළිබඳව ගැඹුරු අවබෝධයක් අපට තිබිය යුතුයි. කිසියම් පුද්ගලයකුගේ මතුපිටින් පෙනෙන ස්වභාවය නොවෙයි. එම පුද්ගලයාගේ අභ්‍යන්තරික ස්වභාවය. අභ්‍යන්තරික ස්වභාවය හඳුනාගැනීමට නම්, අප ඉතාම සිහියෙන් නුවණින් යුතුව ඉතා දීරිඝ කාලයක් පුද්ගලයකු ඇසුරු කිරීමට සිදුවෙයි. එවැනි ගැඹුරු ඇසුරකින් තොරව එවැනි ගැඹුරු අවබෝධයකින් තොරව අප මතුපිටින් වතාවක්, දෙකක් මුණ ගැසීමෙන් අවස්ථා කිහිපයකදී පමණක් කතා බහ කර තිබෙන පුද්ගලයකුගේ ගුණ වර්ණනා කර තවත් පුද්ගලයකුට ඔහු හෝ ඇය හදුන්වාදීමෙන් අප කරනු ලබන්නේ අපරාධයකි. ඇතැමි විට අප කියන්නාවූ ප්‍රකාශය පිළිගෙන යමෙකු මොහු හෝ ඇය සරණ යා හැකියි. අනුගමනය කළ හැකියි. එකට ජීවත්වීමට තීරණයක් ගත හැකියි. එවිට අප ගුණ ප්‍රකාශ කොට ඇත්තේ ඉතාම අයහපත් පුද්ගලකුගේ නමි, ටික කාලයක් එකට සමීපව ඇසුරු කරන පුද්ගලයාට එම සත්‍ය හෙළිදරවි වෙයි. සමහර විට අප හඳුන්වා දුන් තැනැත්තා හෝ තැනැත්තිය නිසා ඔහු හෝ ඇය පීඩාවට පත්වෙලා තිබෙනවා විය හැකියි. එක පැත්තකින් අප පුද්ගලයකුට කරනු ලබන්නේ අගතියක්. ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිත කාලයම අඳුරු කිරීමේ පාපකර්මයක් වෙයි. එතුළින් අපට විශල පවක් සිදුවෙයි. එය අපගේ සංසාර ගමනට බාධාවක් ද වෙයි. අප එවැනි ක්‍රියාවක් කළ බව බුද්ධිමතුන් , ප්‍රඥාවන්තයන් දැනගත් විට අපට මොනතරමි චෝදනා කරාවි ද?මොනතරමි දෝෂාරෝපණය කරාවි ද? එම කාරණාව ඉතාම ගැඹුරින් වටහාගත යුතු බවට බුදුපියාණන් වහන්සේ අපට යෝජනා කර තිබෙනවා. ගැඹුරු අවබෝධයකින් තොරව තවත් පුද්ගලයකුගේ දුර්ගුණයක් කීමට යාම යහපත් ක්‍රියාවක් නොවෙයි.

අප පුද්ගලයකුගේ දුර්ගුණ ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ කළ යුතු වන්නේ ඔහු හෝ ඇය ඉතාම ළගින් ඇසුරු කිරීමෙන් මිස එසේ නොමැතිව කිසිදු සොයා බැලීමකින් තොරව , විපරමකින් තොරව යහගුණ තිබෙන ඉතාම උදාර පුද්ගලයකුගේ දුර්ගුණ ප්‍රකාශ කිරීමට පටන් ගන්නවා යනු අප කරනු ලබන්නේ කෙතරම් විශාල අපරාධයක් ද? එය යමි පුද්ගලයකුට සිල්වතකු,ගුණවතකු , ප්‍රඥාවන්තතයකු ,සද්පුරුෂයකු හමුවීවමට තිබුණ අවස්ථාවක් වළක්වා දැමීමක් විය හැකියි. තවත් පුරුෂයකුට සද්පුරුෂයකු හමුවීමට තිබෙන අවස්ථාව අප විසින් වළක්වා දැමුව හොත් අපගේ සංසාර ගමන තුළ සද්පුරුෂයන් හමුවීම මඟහැරී යාහැකියි. එහි කර්ම විපාක අපට ඒකාන්ත වශයෙන්ම පැමිණෙයි. චේතනාත්මකව අප එය කළා යනු අප එහි විපාකයට මුහුණ දිය යුතුයි. එනිසා කිසිම පුද්ගලයකුගේ අයහපතක් පිළිබඳව ප්‍රකාශයක් කිරීමට ඔබ කිසි විටෙකත් නොපෙළඹිය යුතුයි. ඇතැමි විට යමෙකුගේ මුළු ජීවිතයම අඳුරු කරනු ලබන්නේ, පුර්ණ අවබෝධයකින් තොරව අප හඳුන්වාදෙනු ලබන්නාවු ඉගැන්වීමි හා අප කරනු ලබන්නාවු පැහැදිළි කිරීම් මතවාද හා දර්ශනයන්ය. එවැනි සමහර කරුණු කාරණා අපගේ සංසාර ගමන විනාශ කරමින් මේ ලෝක වශයෙන් අපගේ ජීවිතය සම්පූර්ණ පරිහානියට යවන ධර්මයන් ඉගැන්වීම් වගේම මතවාද ද තිබෙනවා. එවැනි මතවාද, එවැනි දර්ශනයන් , එවැනි ඉගැන්වීම් පිළිබඳව කිසිඳු අවබෝධයකින් තොරව යහපත් ආගමක් , යහපත් ඉගැන්වීමක් , යහපත් අදහසක් , යහපත් මතවාදයක් යැයි හඳුන්වාදෙමින් එම තොරතුරු යම් පුද්ගලයකුගේ ඔළුවට කාවද්දවනු ලැබුවහොත් අප කරනු ලබන්නේ ඔහුට හෝ ඇයට විශාලම විනාශයක් . ඔහු එම මතවාද අනුගමනය කර ඇතැම්ි විට මිථ්‍යා දෘෂ්ටිකයකු විය හැකියි. ඔහු භයානක කර්ම රැස්කරගෙන අපාය ගාමී වුවහොත් ඔහු අපායගාමී වන පාපයට අප වගකිව යුතුයි. අප එම වගකීම අපගේ ජීවිතය තුළ දැරිය යුතු වෙනවා. එනිසා කරුණාකර ඔබ යම් පුද්ගලයකුට යමිකිසි දහමක් හඳුන්වා දෙනවා නමි,එය පිළිබඳව පළමු කොටම ඔබ පුර්ණ අවබෝධයක් ලබාගත යුතුයි. පුර්ණ අවබෝධයකින් තොරව ඔබ කවදාවත්ම යමි පුද්ගලයකුට ධර්මයක් දේශනා කරන්න යන්න එපා. ධර්මයක් පැහැදිළි කරන්න යන්න එපා. ධර්මයක් ලියා කියා ප්‍රචාරය කරන්න යන්න එපා. ඔබවත් තේරුම් නොගත්ත ධර්මයක් ඔබ තවත් පුද්ගලයකුට වටහාදීමට උත්සාහ කරනවා යනු කෙතරමි අයහපත් ක්‍රියාවක්ද?. පරලොව පිළිනොගන්නා ධර්මයන් ඇතැමි විට තිබිය හැකියි. සංසාර ගමන පිළිනොගන්නා ධර්මයන් සමහර විට තිබිය හැකියි. කර්මය, කර්මඵලය විශ්වාස නොකරන ධර්මයන් තිබිය හැකියි. තමන් කරන්නාවු කර්ම තමන් කරා එන බව පිළිනොගන්නා ධර්මයන් තිබිය හැකියි. එවැනි ධර්මයන් අප විසින් යමි පුද්ගලයකුගේ ජීවිතයට ළඟා කිරීම සහ සමීප කිරීම විශාල අපරාධයක් වෙනවා සේම මිථ්‍යා දෘෂ්ටියක් සමාදන් කරවීමක් වෙයි. එම නිසා ඔබ ඉතාම බුද්ධිමත්ව සැළකිලිමත්ව කටයුතු කළ යුතුයි. යමෙකුට යමිකිසි පැහැදීමක් ඇති කර වන දේ පිළිබදව ඔබ කරනු ලබන්නේ නිවැරැදි දේ මද?ඔබ වැරැදි ධර්මයක් සරණ ගොස් සිටිනවා නමි, ප්‍රඥාවන්ත මිනිසුන් ඔබගේ මුග්ධ ක්‍රියාව පිළිබඳව ඔබට දෝෂාරෝපණය කරාවි.ඇතැමි විට ඔබට ඔවුන් සිනහසෙයි. මේ පුද්ගලයාට මේ තරම් වටිනා මිනිස් ජීවිතයක් ලැබිලත්, බුද්ධිය දියුණු කරගැනීමට අවස්ථාව ලැබිලා තිබියදීත් මේ පුද්ගලයා අනුගමනය කරනු ලබන්නේ මොනවගේ දහමක්ද? යනුවෙන් ඔබ අවඥාවට ලක්වෙයි. එම නිසා ඔබ ඒ පිළිබඳව ගැඹුරට සිතිය යුතුයි. ඔබ ඒ පිළිබඳව ගැඹුරින් කල්පනා කළ යුතු බවට ඉතාම කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවධාරණය කළ යුතුයි. ඔබගේ ජීවිතය තුළ පහදින්න අවශ්‍ය කරන්නේ ධර්මයට නමි, කවදාවත් ඔබ අපහදින්න එපා. සරණ යායුතු ධර්මයට නමි, ඔබ සරණ යාමෙන් වළකින්න එපා. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසී තිබෙන මෙම බුද්ධෝප්පාද කාලය තුළ, මහා භද්‍රකල්පය තුළ ඔබට මිනිස් භවයක් ලැබුණෙම ඔබ පෙර කර තිබුණු පුණ්‍ය මහිමය නිසයි. පුබ්ෙබිච කත පුඤ්ඤතා යනුවෙන් ප්‍රකාශ කරනු ලැබුවේ එයයි. පෙර කළ පින් නිසා අපට ලැබුණ උතුම් මිනිස් ආත්ම භාවය අප විනාශ කරගෙන කිළිටි කරගෙන නාස්තිකරගනු ලබන්නේ ඇයි? අපට ඉතා වටිනා ශ්‍රී සද්ධර්මය තිබෙන අවස්ථාවේ අප විනාශ වන්නේ ඇයි?ඒ උතුම් සද්ධර්මය සරණ යමු. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමු. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අනුගමනය කරමු. එය දැනගෙන බැසගෙන එය වටහාගෙන සරණයාම අපගේ මේ ලෝක වශයෙන් ජීවිතය මහා ශාන්ති දායක ස්ථානයක් බවට පත් කරන්නත් සංසාරික ජීවිතය අප නිර්වාණාවබෝධය කරා මෙහෙයවීමටත් අනිවාර්යෙන්ම උපකාර වන හේතු සාධකයක් බවට පත්වෙයි. එමනිසා නොදැන නොබැස පහදින්න අවශ්‍ය ධර්මය තුළ ඔබ අපහදින්න එපා. ඔබගේ සිත රිදවාගන්න එපා. ඔබගේ සිත තුළ අප්‍රසාදයක් ඇති කර ගන්න එපා. තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිළිබඳව පමණයි එලෙස ප්‍රකාශ කළ හැකිවන්නේ. ඔබ අවශ්‍යයෙන්ම කළ යුතු වන්නේ ධර්මය පිළිබඳව දැනගෙනම අවබෝධයෙන් පැහැදිය යුතුයි. ඔබ මෙම කාරණා හතර අනුගමනය කරනවා නමි, මේ ලෝක වශයෙන් පිරිහීමත් නවතාගත හැකි වනවා සේම සංසාරික වශයෙන් දුගතිගාමී වන අකුසල් පිරීමත් ඔබට නවතාගත හැක වේවි.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]