UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී මහා බෝධින් වහන්සේට වූයේ කුමක්ද?

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී මහා බෝධින් වහන්සේට වූයේ කුමක්ද?

දිවමන් මුනිඳුන් සමයේ භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනුම මතම රෝපණය වූ ආනන්ද බෝධීන් වහන්සේගේ විස්තරය අප කථා කළෙමු. බුදුරජාණන් වහන්සේ සකල සතට සෙත පිණිස ආනන්ද බෝධීන් වහන්සේ සෙවනේ නැඟෙනහිර දිශාවට මුහුණලා රැයක් පහන්වන තුරු සමාපත්ති සුවයෙන් වැඩිසිටි සේක.

දෙනෝ දහක් දෙන – වඳීනා බෝධිය

සෘර්ධියෙන් රෝපණය වීමක්, වජිරාසන බෝධීන් වහන්සේගේ බීජයක් වීමත්, බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ හෙයිනුත්, ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙන් උපස්ථාන කළ හෙයිනුත්, රහතන් වහන්සේ පවා වැඳුම් පිදුම් කළ හෙයිනුත්, ශ්‍රද්ධාවන්තයන් බුදුරජුන් දුටුවා සේ ආනන්දයට පත් වූ හෙයිනුත්, මහත් වූ පුද සත්කාර ලැබූ හෙයිනුත් ආනන්ද බෝධීන් වහන්සේ පූජනීයත්වයෙන් දෙවැනි වූයේ වජිරාසන බෝධීන් වහන්සේට පමණි. එදා සෘර්ධියෙන් පැන නැඟුණු බෝධීන් වහන්සේ අද දක්වාම එලෙසම වැඩ සිටින සේක. සෘර්ධියෙන් පැන නැඟුණ ශාඛා පහෙන් ශාඛා කිහිපයක් වර්ෂ ගණනාවකට පසු කඩා වැටී ඇති නමුත්, මහා පෞරාණික තෙදවත් කඳ දරා ආනන්ද බෝධීන් වහන්සේ දෙනෝ දහසකගෙන් වැඳුම් ලබමින් අදත් සකල සතට සෙත සලසමින් වැඩ සිටින සේක. මෙය දෙව් මිනිස් ගෞතම ශ්‍රාවක දරුවනට ශාසනයේ උරුමයක්ම වන්නේය. සැවැත්නුවර ජේතවනාරාමයේ අතීතයේ තිබු ඒ නිකෙලෙස් සේයාව අද සේයාවක් විලස හෝ අපට දකින්නට ලැබෙන්නේ ආනන්ද බෝධීන් වහන්සේගෙන් පමණි. එනිසා දඹදිව වන්දනා ගමන් යන ඔබ ආනන්ද බෝ සමිඳු සෙවනේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල අභියස සේ වැඳ වැටී බුදුගුණ සිහි කළයුතු වේ.

ආනන්ද බෝධියට බෝධිපූජා කිරීම

අපල උපද්‍රව දුරු කරන සේ ලියූ කොඩිවැල්, ලෞකික ප්‍රාර්ථනා ලියූ කොඩිවැල්, රෙදි කෑලි ඇමුණු කොඩිවැල් ආදියෙන් එවැනි උතුම් බෝධින් වහන්සේ නමකට පූජනීය උපහාරයක් සිදුවේදැයි ඔබම සිතන්න. බුදුගුණ සිහිවෙන බෞද්ධ කොඩි, බෝ රජුන් වඳීන කවි, ආර්ය සත්‍යය සටන් කළ පතාක ආදිය පැළැදීමෙන් අපට පින් කරගත හැකිය. රන්සළු, චිවර, සුවඳමල්, ඖෂධ පූජා නොයෙක් පිරිකර පූජා කිරීම පින් රැස් කරවන්නේ ය. මෙහිදී වටිනා කාරණය වන්නේ සිත පහන් කර ගැනීමයි. බෝ සෙවනේ බුද්ධානුස්සතිය වඩන්නට, ආර්ය සත්‍යය සිහි කරන්නට, සිත සමාධිගත කරගන්නට ඇත්නම් එයට වඩා බෝධි පූජාවක් කොයින්ද? අපේ රටේ ආනන්ද බෝධි ශාඛාවෙන් හටගත් ශාඛ බොහෝමක් වැඩ සිටිති. ඒ බෝධීන් වහන්සේ ඉතා ශ්‍රද්ධාවෙන් පුද සත්කාර කොට වන්දනා කිරීමෙන් පින් රැස්කර ගත හැකිය.

වජිරාසන භූමියේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ

භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේම ගයාවේ උතුම් බෝ රජුන් ගිහි පැවිදි උතුමන්ගෙන් වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටි බව මීට පෙර විස්තර කළෙමි. කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් වනයේ සල්ගස් දෙකක් අතර පිරිනිවන් මංඤ්චකයේ වැඩසිටින භාග්‍යවතුන් වහන්සේගෙන් ආනන්ද ස්වාමින් වහන්සේ විමසන්නේ “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින විට නොයෙක් මනෝභාවනීය භික්ෂු භික්ෂූණින් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට වඩිති. එවිට අපට ද ඒ භික්ෂූන් ඇසුරු කරන්නට ලැබේ. දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් පසු අප කෙසේනම් එවැනි භික්ෂූන් මුණ ගැසී ධර්ම කතාවේ යෙදෙන්නේද?” එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් ආනන්ද, ශ්‍රද්ධාවන්ත කුªල පුත්‍රයකු විසින් දැක වන්දනා කොට පහන් සංවේගයට පත්විය යුතු ස්ථාන හතරක් තිබේ. එනම්, (1) භාග්‍යවතුන් වහන්සේ උපන් ස්ථානය මෙයයි කියා ලුම්බිණිය දැක පහන් සංවේගය උපදවා ගැනීම, (2) මේ භාග්‍යවතුන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වූ ස්ථානයයි කියා ගයාවේ වජිරාසන භූමිය දැක පහන් සංවේගය ඇතිකර ගැනීම, (3) මේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධර්මචක්‍රය පැවැත්වූ ස්ථානය කියා බරණැස ඉසිපතනය දැක වැඳපුදා පහන් සංවේගය උපදවා ගැනීම, (4). මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය කියා මේ කුසිනාරාවේ උපවර්තන භුමිය දැක වැඳපුදා පහන් සංවේගය උපදවා ගැනීම.

පින්වත් ආනන්ද, යම් කෙනෙක් මේ උතුම් චේතිය වන්දනාවේ පහන් සිතින් එද්දී අතරමඟදී මියගියත් ඔහු සුගති ලොව උපදින්නේ ය. පින්වත් ආනන්ද, මේ සතර ස්ථාන වන්දනා කිරීමට පැමිණෙන මනෝභවනීය භික්ෂූන් ඔබට ඇසුරු කිරීමට ලැබෙන්නේ ය.

ඒ අනුව ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙකු මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බිමයි සිතමින් නිතර වන්දනා කළේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේටමැයි. කොතෙකුත් මහරහතන් වහන්සේ විසින් මහා බෝ වන්දනා කළේදැයි ගණනින් කිව නොහැකිය. එසේම වජිරාසන වන්දනාවේ පැමිණෙන ධර්මධර, විනයධර සුපේෂල භික්ෂු භික්ෂුණියන් සැදැහැවතුන් රැය පහන් වනතුරු මහා බෝ සෙවනේ ධර්ම සාකච්ඡා කළහ. බවුන් වැඩූහ. සසර ගමන නිවා සැනසුනහ.

ජය ශ්‍රීමහා බෝධින් වහන්සේට වසර තුන්සිය වන විට

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ධර්මාශෝක රජුගේ කාලය එනතෙක් බෝධින් වහන්සේ පිළිබඳව විශේෂ විස්තරයක් හමුනොවේ. නමුත් බෝධින් වහන්සේ නිරුපද්‍රිතව බොහෝ දෙනාගෙන් වැඳුම් පිදුම් ලබමින් විරාජමානව වැඩ සිටි බවනම් පැහැදිලි යි. බිම්බිසාර රජුගෙන් පසුව පියා මරා රජ වූ අජාසත්ගෙන් පසුව රජ වූ සියලු දෙනා පිතෘ ඝතක රජවරු විය. එහිදී රට වැසියන් කෝප වී මේ පිතෘ ඝාතක රජ පරපුර පන්නා දමා ඇමැතියෙක් රජු බවට පත් කෙළේය. ඒ ක්‍රමයෙන් මේ පාඨලිපුත්‍රයේ “නන්ද” නමැති රාජ පරම්පරාවක් බිහිවුණි. ඔවුන්ගේ අන්තිමයා වූ “ධනානන්ද” රජුගේ ධන ලෝභයත්, කාමුකත්වයත්, රටවැසියන් පෙලීමත් නිසා තක්ෂිලාවේ චානක්‍යය බ්‍රාහ්මණ ආචාර්යවරයා ධනානන්ද වනසා චන්ද්‍රගුප්ත කියන මෞර්ය කුමාරයා රජ බවට පත් කළේය. මේ මෞර්ය වංශය විඩූඩභ ශාක්‍යය ඝාතනයෙන් පැනගිය ශාක්‍යය පරපුරෙන් පැවත එන්නෙකි. පසු කලකදී ඒ චන්ද්‍රගුප්ත රජුගේ පුතා බිංදුසාර රජ වූයේය. ඔහුගේ පුතුන් සියලු දෙනා අතරින් අශෝක කුමරු සහෝදරයන් ඝාතනය කොට චණ්ඩාශෝක ලෙස ප්‍රසිද්ධ වෙමින් රජ විය. ඔහු ශාන්ත රජෙකු කළේ නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ විසිනි. ගෞතම සසුනේ හිතැති ශ්‍රාවකයෙක් වූ ධර්මාශෝක රජතුමා මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ ඇසුරින් බණ දහම් ඉගෙන මුළු දඹදිවම බුද්ධ භූමිය ලෙස නැවත නඟා සිටුවන ලදී.

ධර්මාශෝක රජුගේ සෙනෙහස ලැබූ බෝධින් වහන්සේ

මහා ධාතු නිධානය උගුල්වා ද්‍රෝණ හතක ධාතුන් වහන්සේ දැක බලා ධාතු නිධන් කොට අසූහාරදහසක වෙහෙර විහාර කළ ධර්මාශෝක රජු විසින් තමාට වන්දනා කිරීමට පාත්‍රා ධාතුවේ සර්වඥ ධාතු පුරවා තබා ගත් අතර, රජ මාළිගයේ උතුම් ධාතු මන්දිරයේ නොයෙක් උපහාර පූජා පවත්වන ලදී. නමුත් රජු වඩාත් සමීප වූයේ බෝධින් වහන්සේ වෙතටය. නිතර නිතර දෙවේලේ බෝධින් වහන්සේට වන්දනා කළේය. මහත් බෝධි උපහාර පූජා පවත්වන්නට යෙදුණි. සිය අතින්ම උපස්ථාන කළේය. මහා පිරිස් පිරිවරා බෝධි උපහාර පූජා පැවැත්වීය. මේ ගැන සාංචියේ කැටයම් අධ්‍යයනය කරන කෙනෙකුට මනාව වටහා ගන්නට පිළිවන. මහා පිරිස් පිරිවරා බෝධි මණ්ඩලයට ධර්මාශෝක රජු පැමිණෙන ආකාරය ඒ කැටයම්වල මූර්තිමත් කර ඇත.

මහින්දාගමනයත්, දක්ෂිණ ශ්‍රී බෝධි ශාඛාව වැඩමවීමත්, මහා බෝ පෙළහරත්, විශ්මිතය. බෝධි උපහාර පූජාව ඇතුළු විස්තර අප ඉදිරියේදී ඉගෙන ගන්නෙමු. මහා බෝ අනුහසින් ඔබට සෙත් වේවා.


පසුගිය සතියෙන්:-  ශ්‍රී මහා බෝධි පුරාණය - 4 :  ආනන්ද බෝධින් වහන්සේගේ රෝපණය

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]