UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු:  චිත්තා මහරහත් තෙරණින් වහන්සේ

චිත්තා මහරහත් තෙරණින් වහන්සේ

සංසාර සාගරයට පිළිපන් සෑම ලෝක සත්ත්වයෙක්ම අනන්ත අප්‍රමාණ දුක් විඳිති. එසේ සසර ඉපදීම නැති කළ, ශෝක දුරු කළ, සියලු තැන්හි නොඇලී ඉන් මිදුණා වූ, සියලු කෙලෙස් ගැට සිඳලූ රහතන් වහන්සේට දැවිල්ලක් නැත.කෙලෙස් නැසූ සිත්තැවුලක් හෝ දැවිල්ලෙක් ඇති නොවේ. අනන්ත දුක් සාගරයෙන් එතෙර වූ චිත්තා මහ රහත් තෙරණින් වහන්සේ පිළිබඳව සිත පහදවා ගනිමු.

චිත්තා තෙරණින් වහන්සේ පෙර බුදුවරයන් වහන්සේ පහළ වූ සමයෙහි අධිකාර්යය ඇතිව භවයේ ඇතිකරගත් කුසලයෙන් කල්ප අනූහතරකට පෙර චන්දභාගා නම් ගංගාතෙර කිඳුරියක වී උපන්නාය. ඕ දිනක් රුක්මුලක හුන් පසේ බුදුවරයන් වහන්සේ නමක් දැක පැහැදුණු මනසින් බටමල් පුදා ඇඳිලි බැඳ වැඳ නමස්කාරකර පැදකුණුකොට ගියාය. එසේ කරන ලද පින්කමින් තව්තිසා භවනට ගියාය. දිව්‍යරාජයන් තිස්හය දෙනෙකුගේ දිව්‍යරාජිණියක බවට පත්වූවාය. සක්විති රජවරුන් දහදෙනෙකුගේ මෙහෙසිය බවට පත්වූවාය. මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි අනන්ත අප්‍රමාණ සැප විඳ තුන්ලෝකාග්‍ර වූ අප ගෞතම සම්බුදු ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මගධයෙහි රජගහනුවර එක්තරා ගෘහපති මහාසාර කුලයක ඉපිද ‘චිත්තා’ යන නමින් උපත ලැබුවාය.

වැඩිවියට පත් ඕ තොමෝ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මය මැනවින් ශ්‍රවණය කොට ශ්‍රද්ධාව උපදවා ජීවිතයේ සන්ධ්‍යා සමයේදී සියලුසැප සම්පත් හැරදමා උත්තරීතර වූ පැවිද්ද ලබනු වස් මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය වෙත එළඹ භික්ෂුණී ශාසනයට ඇතුළුව භාග්‍යවන්ත වූ භික්ෂුණියක බවට පත්වූවාය. සන්ධ්‍යා සමයෙහි පැවිදි වූ නිසාවෙන් මහලු භාවයට පත්ව සිටි නිසා සැරයටි වාරුවෙන් චිත්තා තෙරණියෝ පාත්‍රය ගෙන ගිජ්ඣකූඨ පර්වතයට නැඟ භාවනා වැඩීමට සුදුසු ස්ථානයක් වෙත ගොස් එහි හිඳ ගෙන කෙලෙස් තවන වීර්යය ඇතිව විදර්ශනා වඩන්නට වූවාය.

ඝෝරතර භයංකර සසරට ඇද දමන්නා වූ සියලු ක්ලේශ ධර්මයෝ ප්‍රහාණය කොට අර්ථ,ධර්ම, නිරුක්ති, පටිභාන යන සතර පටිසම්භිදා සහිතව මහ රහත් භාවයට පත්වූවාය. රාගාදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කළ චිත්තා මහ රහත් තෙරණින් වහන්සේ උත්තරීතර වූ රහත් භූමියට සැපත්ව තමා විඳින්නා වූ නිරාමිස පී‍්‍රති සුඛය ප්‍රකට කරනු වස් පහත සඳහන් උදානය ප්‍රකාශ කොට වදාළ සේක.

“කිඤ්චාපි ඛොම්හි කිසිකා
ගිලානා බාළ්හදුබ්බලා
දණ්ඩමොලුම්භ ගච්ඡාමි
පබ්බතං අභිරූහියං”

“මම කෘශ ශරීරයක් ඇතිව, රෝගිව , දැඩිසේ දුර්වලව සිටිමින් සැරයටියේ ආධාරයෙන් මහත් අපහසුවෙන් හෙමින් සීරුවේ ගිජ්ඣකූඨ පර්වතයට නැග”

”සංඝාටිං නික්ඛිපිත්වාන
පත්තකංච නිකුජ්ජිය
සෙලෙ ඛම්භෙසිමත්තානං
තමොක්ඛන්ධං පදාලියාති”

“සඟල සිවුර පසෙකින් තබා පාත්‍රයද යටිකුරු කොට තබා ගල්තලාවෙහි හිඳගෙන මෝහස්කන්ධය විනාශයට පත් කොට යළි සසරෙහි ඉපදීමට හේතුවන තණ්හාව නසා වනසා දැමුවෙමි”.

අනන්ත පාරමී දම් සපුරා හුදු දෙතිස් කුණවලින් සැදුම්ලත් මේ කයෙහි අනිත්‍ය ස්වභාවය දැක ඒ කයම මේ සිතේ ප්‍රභාෂ්වරභාවය ගම්භීරත්වය දැකීමට උපයුක්ත වන බව දැක මහත්වූ වීර්යයෙන් යුක්තව කටයුතු කළ බැව් මනාව පැහැදිළි වේ.

සඟල සිවුර පසෙකින් තබා වීර්යයෙන් යුක්තව උත්තරීතර වූ රහත්භූමිය උදෙසා තෘෂ්ණාව ප්‍රහාණය කොට වදාළ ආකාරය අපූරුය. සිතේ සන්සිඳීම ලැබීම උදෙසා වයස්භේදයක් නොමැත. තරුණ, මහලු, ළමා කුමන අවධියකදී ද සසරෙහි පුරුදුතාවය අනුව සිත වැඩීමේ උපරි කාර්යය සිදුකොට වදාළ සේක. මේ ආකාරයට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සැනසුණු අයුරු අපූරුය.

“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් අරහත් වූයේ ආශ්‍රවක්ෂය කළේ වෙයි. බඹසර ජීවිතයක් ගත කළේ වෙයි. විමුක්තිය සඳහා කටයුතු කර නිමවූයේ වෙයි. බර ඉවත ලූයේ වෙයි. භව සංයෝජනයන් සහමුලින්ම ප්‍රහීණ කළේ වෙයි. මැනවින් දැන නිදහස් වූයේ වෙයි. ජීවත් වන්නා වු ඔහුගේ පසිඳුරන් නොනැසී පවත්නා හෙයින් හෙතෙම මනාප අමනාප වශයෙන් අරමුණු ගනියි. සැප දුක් විඳ ගනියි. රාග, ද්වේෂ මෝහ ක්ෂය කළේ වේ.”

මේ අයුරින් සසර ක්ලේශයන් දුරු කළාවූ උතුමෝ ආශ්චර්යවත් වූ උත්තරීතර පුද්ගලයෝ වෙති. සිත ප්‍රභාස්වරයි. සිතේ නියම ස්වභාවය අචංචල බවයි. සිත නොකැළඹුණු බවකි. මහමුහුද කළඹනුයේ මහත්වු සුළඟකිනි. ප්‍රභාෂ්වර සිත කළඹන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය ඔස්සේ හමාගෙන එන රූප, ශබ්ද , ගන්ධ ,රස, ස්පර්ශයයි. අචංචල සිතක බලයක් ඇත්තේ ඒකාග්‍ර වූ සිතකයි මනසකයි බලය ඇත්තේ.

කුරුලු වැද්දෙකුගේ දැලකට මහා කුරුලු රෑනක් හසුවුනොත් එයින් මිදී දැල කපාගෙන හෝ යන්නේ බොහෝම සුළු පිරිසක්. එසේම හැමදාම මරණයට පත්වන ඇය, හැමදාම මරණය නිසා බියපත්වන අය, මරණයෙන් සමුදෙන අය, මරණයෙන් මේ ජීවිතයෙන් සමුගෙන ඉන්න අප හිතන්නේ නෑ. මේ මාරයාගේ දැලෙන් මිදෙන්න. ඒ මාරයාගේ දැලෙන් මිදෙන්නේ මිනිස් ජීවිත ලබාගත් ඉතා සුළු පිරිසක්.

එසේ උතුම් මිනිස් ජීවිතය ලබාගත්තා වූ චිත්තා මහරහත් තෙරණින් වහන්සේ මහත්වූ සැනසුම් සුසුම් හෙළූ උත්තමාවියක බවට පත් වූයේ මේ සසර උපදනා සියලු සත්වගට ආදර්ශයක් සපයමිනි.

චිත්තා මහරහත් තෙරණියගේ මෙ සසරෙහි කිසිඳු තැනක ඇලීමක්, ගැටීමක් නොමැත්තේය. කිසිඳු කෙනෙකු සමඟ ඇලීමක්, ගැටීමක් නොමැත්තේය. පිරිපුන් විල් අතහැර යන හංසයන් සේ පිරිසුදු , නිකෙලෙස් සිත් ඇති වීතරාගී වූ වීතදෝසී වූ, වීතමෝහී වූ සියලු රහත් උතුමෝ හැමතැනම හැරදමා යති. චිත්තා මහරහත් තෙරණියෝද සම්බුද්ධ ශාසනයෙහි කෘත්‍යය ඉටුකළ හංස රාජිණියක වූවාය.

ඇස, කන, දිව, නාසය, ශරීරය පීනනයෙහි යෙදී වසන්නා වූ අනන්ත අප්‍රමාණ කාමභෝගී පෘථග්ජන සත්ත්වයන් අතරෙන් පංචකාම සේවනයෙන් වියුක්තව කසාවතක් දරාගෙන ප්‍රවෘජ්‍යා භූමියට පිළිපන්නා වූ ඒ පැවිදි දිවියෙන් උත්තරීතරත්වයට පත්වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දූ පුතුන් වැනි රහත් උත්තමයන් වහන්සේලා සිහිකරන ඇසිල්ලකුදු මහත් ශ්‍රද්ධාවෙන් පීනා යනු ඇත. විරාගී සිතක සැහැල්ලුව නොඇලෙන සුළුබව, නොගැටෙන සුළු බව, විරාගි බව , ද්වේශයෙන් තොරබව, මෝහයෙන් තොර බව දකින්නට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට උද්දීප්ත කරන්නට චිත්තා මහරහත් තෙරණියෝ සැබවින්ම දක්ෂ වූවාය. පිරූ පාරමී බලෙන් වැඩූ කුසල් බලයෙන් චිත්තා මහරහත් උත්තමාවියක ලෙසින් පිරිනිවී වැඩ වදාළ සේක.

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]