UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

ශ්‍රී සුමංගල නා හිමි අධ්‍යාපන ක්‍රමය

බෞද්ධ අධ්‍යාපනයක් කොහෙත් ම නැතැයි කිවයුතු තරමට එය පිරිහි පවතිද්දී වැලිවිට සිරි සරණංකර සංඝරාජ මා හිමියන් නිසා (18 වෙනි සිය වසේ මැද භාගයේ දී) නියම කන්දෙන්’ ගලා ආ අධ්‍යාපන ප්‍රණාලිය අවුරුදු 150ක් පමණ කාලයක් තිස්සේ යන්තමින් නොසිඳි පැවත ආයේය. කරතොට හා වලානේ මහ තෙරවරුන්ගෙන් තරමක් වේගවත් වුණු ඒ දම්සත් දියදහර මාලිගාකන්දේ හික්කඩුවේ ශ්‍රී සුමංගල විද්‍යාතටාකයට වැටී ලොව පුරා ඉතිරී පැතිරී ගියේය.

රට පාලනය සම්පූර්ණයෙන් ම (1815) ඉංග්‍රීසින් භාර ගත් පසු ලංකා ජාතික අධ්‍යාපනය ඔවුන්ට ඕනෑ හැටියට සකස් කර ගත්තා පමණක් නොව, අධ්‍යාපන මාර්ගයෙන් රට වැසියා ඔවුන්ගේ ආගමට හරවා ගැනීම ද ඉතා සාර්ථක ලෙස කරගත්තෝය. මෙසේ ක්‍රිස්තියානි මිෂනාරීන් නගරවල මෙන් ම ගම්බදව ද පාසල් තබමින් බාලපරම්පරාව කිතුසමයට හරවා ගන්නවා දුටු ජාති හිතෛෂි උදාර සිංහල බෞද්ධයෝ පන්සල් අධ්‍යාපනය දියුණු කරන්ටත්, පාසල් පිහිටුවන්ටත් කල්පනා කළහ. එහෙත් ඊට රජයෙන් කිසිම අනුබලයක් නොලැබුණු අතර, තමන් ආර්ථික තත්ත්වයෙන් පිරිහී සිටීම නිසා ඒ උදාර අදහස සාර්ථක කරලීම ඉතා දුෂ්කර කාර්යයක් විය. කෙසේ වෙතත් භික්ෂූන්ගේ සහයෝගය නිසා ඔවුන්ගේ උත්සාහය අඩපණ නොවීය.

එසේ ම මේ කාලයෙහි භික්ෂු අධ්‍යාපනය ද ඉතා දුබල තැනකට බැස තිබුණේය. දිවයිනේ පන්සල් කීපයක පාලි සිංහල හා සංස්කෘත භාෂාවන් ඉගැන්වීම යන්තමින් පැවතුණ අතර ඒ ධර්මශාස්ත්‍ර පරම්පරාව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව ආරක්ෂා කරගෙන ආ භික්ෂූවරයෝ කීප දෙනෙක් වූහ. බෞද්ධ විද්‍යාලතාව නියම කන්දෙන් මාලිගාකන්දට ඇදී එන තුරු සියවස් එක හමාරක් පමණ කාලයක් තිස්සේ වැවී ගිය ආකාරය මෙහිලා විස්තර කිරීමට අනවකාශය. මේ කාලය තුළ කිසිම බෞද්ධ ධර්මශාස්ත්‍රායතනයක පිරිවෙනක දහදොළොස් දෙනෙකුට වඩා ශිෂ්‍යයන් එක් වර ඉගෙනීම කළ බවට එතරම් කරුණු නැත්තේය. රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනේ උසස් ම අවස්ථාවෙහි පවා (හික්කඩුවේ සුමංගල නායක මා හිමියන් ප්‍රධානාචාර්යව සිටිද්දී) සිටියේ ශිෂ්‍යයන් 20ක් පමණ බව මාහිමියන් සිය හිතමිතුරු ගුණරත්න වාසල මුදලිඳුට ඉංග්‍රිසියෙන් ලියා එවන ලද ලිපියෙන් පෙනේ.

1873 දී මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමෙන් පසු හික්කඩුවේ නායක මාහිමියෝ නව අධ්‍යාපන යුගයක් ඇරඹූහ. ‘චිරාගත පාරම්පරික අධ්‍යාපන සම්ප්‍රදාය පසුබිම් කර නව අධ්‍යාපන ක්‍රමයක් ද නිර්මාණය කළහ. මෙහි ඊට ශ්‍රී සුමංගල අධ්‍යාපන ක්‍රමය යි කියනු ලැබේ. මෙය මුලින් ම ක්‍රියාත්මක කළේ හත්අට දෙනෙකුන් පමණ ශිෂ්‍ය සමූහයකට වූවද, කල් නොයාම සිය දහස් ගණන් ශිෂ්‍යයෝ ඉන් ප්‍රයෝජන ගත්හ.

ශ්‍රී සුමංගල අධ්‍යාපන ක්‍රමය වූ කලී කොහෙත් ම වෙනසක් නොවී පටන් ගත් හැටියෙන් ම පැවැති එකක් නොව, බුදුරදුන්ගේ විනය ශික්ෂාවන් මෙන් අමුතු වෙමින්, එකතු වෙමින්, සකස් වෙමින් මාහිමියන් වැඩසිටිද්දීම විකාශයට පත් එකකි. එහෙත් එහි මූලික ලක්ෂණ කිසි විටකත් වෙනස් නොවී පැවතුණේය. විද්‍යෝදය ශාඛා පිරිවෙන්වල ද මේ ක්‍රමය ම අනුගමනය කරන ලදී. නමුත් මෑතක දී පැණවුණු නව පිරිවෙන් පනත් නිසා ඒ පැරණි ධර්මශාස්ත්‍ර අධ්‍යාපන ක්‍රමය අභාවයට පත්විය. විද්‍යෝදය පිරිවෙනේ නම් තාම ඒ පැරණි ශ්‍රී සුමංගල අධ්‍යාපන ක්‍රමය පණ අදිමින් මෙන් පවතින බව කිව යුතුය.

ශ්‍රී සුමංගල අධ්‍යාපන ක්‍රමය විවරණය කිරීමට පිටු සිය ගණනක් කැප කළ යුතුය. මෙහි ලා ඒ පිළිබඳ මූලික ලක්ෂණ කීපයක් සැකෙවින් ඉදිරිපත් කිරීමට වඩා අවකාශයක් නොලැබෙන්නේය. මේ සඳහා ශ්‍රී සුමංගල ලේඛන, විද්‍යෝදය නිර්දේශ පත්‍ර විමසා බැලීම ඉතා වැදගත්ය. මාහිමියන් එක් උගත් ශිෂ්‍යයෙකුට යවන ලද ලිපියකින් ශ්‍රී සුමංගල අධ්‍යාපන ක්‍රමය මැනවින් පිළිබිඹු වන හැටි බලන්න.

“ උඹ විසින් එවූ ලියුම ලැබුණා. උඹ සිංහල ව්‍යාකරණ කාට නමුත් උගන්වනවා නම් එය ඉතා ආදරයෙන් උත්සාහ ඇතුව කරන්ට ඕනෑ. උඹට විස්තර කරන්ට අපහසු වූ තැනක් පැමිණි විට කරුණු විචාරා එවාපන්. ඒ ඇර හැමදාම හැමතැන ම සම්පත් නැමැති ගෙයි දොර අරින යතුර ආචාර සම්පත්තිය බව සිතාපන්. වීර්යවන්ත වීම සැප ගෙන දෙන බව යැයි සිතාපන්. ඉන් නිසා ආචාර සම්පත්තියත් වීර්යයත් අඩු නොකොට ක්‍රියා කරන්ට ඕනෑ. එසේ කරන බව දැනගත් විට මගෙන් වැඩිපුර උපකාර ලැබෙන්ට පුළුවනි. නිතර පංචශීලය රැක ගන්ට වෑයම් කරපන්.

මේ වගට උඹේ ආචාර්යය. H. Sumangala 17 Oct. 1877

මේ කෙටි ලිපියෙහි මා හිමියන්ගේ ශ්‍රී සුමංගලීය අධ්‍යාපන පරමාර්ථය, අධ්‍යාපන ක්‍රමය හා අධ්‍යාපන ප්‍රතිඵල යන වැදගත් කරුණු තුන ගැබ්වී ඇත. මේ තුන ඕනෑම අධ්‍යාපන විශාරදයකු විසින් අධ්‍යාපන මූලධර්ම වශයෙන් විග්‍රහ කළ හැකි ඒවාය. “උගන්වනවා නම් එය ආදරයෙන් උත්සාහ ඇතිව කරන්ට ඕනෑ” යන වචනයෙන් හා අපහසු තැනක් පැමිණි විට විචාරා එවාපන්’යන වචනයෙන් ද මාහිමියන්ගේ අධ්‍යාපන ක්‍රමය ප්‍රකට වේ. ශිෂ්‍යයා කෙරෙහි ආදරය තිබිය යුතුය. අවබෝධ කරවීමෙහි ලා උත්සාහය තිබිය යුතුය. තමන් නොදන්නා දෙය හොඳින් දැනගෙන ම උගන්වනවා මිස, බොරු ඉගැන්වීම හෝ නූගන්වා අත හැර යාම වැළකීම ද සඳහා විචාරය තිබිය යුතුය. මේ කරුණු තුන ගුරුවරයෙකු කෙරෙහි පිහිටිය යුතු වූ ද අනුගමනය කළ යුතු වූ ද වටිනා අධ්‍යාපන ක්‍රමයෝය.

ආචාරසම්පත්තිය ගැන මෙහි අවධාරණයෙන් කරුණු කීමෙන් මාහිමියන් අධ්‍යාපන පරමාර්ථය වශයෙන් ගෙන ඇත්තේ ‘විනය හෙවත් හික්මීම බව පැහැදිලිය. ‘එසේ කරන බව දැනගත් විට මගෙන් වැඩිපුර උපකාර ලැබේ.’ යන මාහිමි වදනින් පෙනෙන්නේ අධ්‍යාපන ප්‍රතිඵලයයි. එනම් අර්ථලාභයයි. මේ වනාහි ඉතා සුළු විවරණයකි.

ශ්‍රී සුමංගල අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විමසා බැලීමට මීට වඩා කරුණු රාශියක් ඇත්තේ ය. මෙහි ලා සැලකිය යුතු වැදගත් කරුණක් ඇත. එනම් පන්තියකට හෝ පන්ති පටිපාටියකට හෝ නියම කරන ලද පොත් ලැයිස්තුවක් හෝ නිර්දේශපත්‍රයක් දෙස බලා ඒ අනුව එදා හෝ අද අධ්‍යාපන ක්‍රමයේ යම් විෂමතා ප්‍රමාණ කිරීම එතරම් සුදුසු නොවේ. බොහෝ විට එකම පොත හෝ එකම විෂය එදා අධ්‍යාපන විෂය මාලාවටත් අද අධ්‍යාපන විෂයමාලාවටත් ඇතුළත් ව පැවතිය හැකිය. එහෙත් එදා ඒ පොත හෝ විෂය ඉගැන්වූ ආකාරයත්, අද උගන්වන ආකාරයත් වෙනස් ය. එහෙයින් ම ඒ පිළිබඳව ශිෂ්‍යයාගේ දැනීම ද එදාට වඩා අද වෙනස් විය යුතුය. ඇතැම් විට එදා හා අද එය උගන්වන ආකාරය වෙනස් වූවත් දැනීම වෙනස් නොවිය හැකි අවස්ථා ද ඇත. තවත් අතකින් එදා ඉගැන්වූ ආකාරයට අනුව සතියකින් දෙන දැනීම අද අධ්‍යාපන ක්‍රම අනුව දිනකින් දිය හැකි වනු ද ඇත. එසේ ම ඇතැම් කරුණු පිළිබඳව අද අවුරුද්දක් ඉගෙන ගෙන ලබන දැනුමට වඩා එදා මාසයක් ඉගෙන ලත් දැනුම සාරවත් බව ද පෙන්විය හැකිය. ඒ කොයිහැටි වෙතත් අධ්‍යාපන ක්‍රම පිළිබඳ වෙනස අප විසින් පිළිගත යුතුව ඇත.

ක්‍රමය කුමක් වූවත් දැනුම ලබා ගැනීම අධ්‍යාපනයේ එක් ප්‍රධාන පරමාර්ථයකි. අප විසින් සැලකිය යුත්තේ “අධ්‍යාපනයෙන් එය හරිහැටි සිදුවේද යන්නයි. එය නොසිදු වේ නම් අධ්‍යාපන ක්‍රමය දික් හෝ වේවා කෙටි හෝ වේවා ඉවත් කළ යුතුය. එදා පාලි, සංස්කෘත හා සිංහල භාෂා ශාස්ත්‍රත්, බුද්ධ ධර්මයත්, වෛද්‍ය, ඡ්‍යොතිෂ, ගණිත, මිනිත ආදී විද්‍යා ශාස්ත්‍රත් අධ්‍යාපන විෂයයෝ වූහ. ඒ ඒ විෂයයන් ඉගෙනීමේ දී භාවිත කළ සම්ප්‍රදායක් අප මා හිමියෝ ඇති කළහ. ඒ පිළිබඳව සැකෙවින් මෙසේ නිර්දේශ කළ හැකිය.

1. කටපාඩම් කිරීම (බොහෝ වියරණ පොත් ආදියත් පිරිත් හා ධර්ම සූත්‍ර ද කටපාඩම් කළ යුතුය.)

2. පාඩම කීම (කට පාඩම් කළ දේ දිනපතා සවස නැවත කීම)

3. පදගතාර්ථ කීම (සාහිත්‍ය පොත් ඉගෙනීමේ දී පදගතාර්ථ කීම අවශ්‍යයි)

4. බණ පොත් ඉගෙනීමේ දී (පදගතාර්ථ කීමේ දී) ශිෂ්‍යයා වාඩි වී කීමත්, අන් සියල්ලක් ම හිටගෙන සිට පාඩම් දීමත් එදා සිරිතය.

5. ශිෂ්‍යයා පාඩම් දෙද්දී ගුරුවරයා නිහඩව අසාගෙන සිටීම හා වැරදෙන විට ඒ බව ගුරුවරයා විසින් ඇඟවීමත්, අවසන්හි ප්‍රශ්න නගා දැනීම තහවුරු කිරීමත් සාමාන්‍ය සිරිතය.

6. ගැටලු තැනක් වූ විට එය කෙසේ හෝ විසඳා මිස ඉක්මවා නොයාමත් ඒ සඳහා ශබ්ද කෝෂ අටුවා ටිකා නිතර පරිශීලනය කිරිමත් සිරිත විය.

7. රචනා වශයෙන් ලියවූයේ බොහෝ සෙයින් පාලි හා සංස්කෘතයයි. සටහන් දීමක් ගුරුවරයා විසින් කොහෙත් ම නො කළ අතර ශිෂ්‍යයා විසින් ම ඒ ඒ විෂයයන්ට සටහන් සාදා ගෙන පරිශීලනය කරන ලදී.

8. දෙපැයක පමණ කාලයක් ඉගැන්වීම කළ අතර බොහෝ සෙයින් ගිහියෝ උදේ වරුවේ ද, පැවිද්දෝ සවස් වරුවේ ද ඉගෙනීම කළහ.

9. බුද්ධ ධර්මය පැවිදි සිසුන්ගේ ප්‍රධාන අනිවාර්ය විෂය වූ අතර ආයුර්වේදය ගිහි සිසුන්ගේ ප්‍රධාන විෂය විය.

10. ගුරුවරයා සිටින තැනට ශිෂ්‍යයන් යනවා විනා ශිෂ්‍යයන් සිටින තැනට ගුරුවරයා යන සිරිතක් එදා නොවීය. එසේ ම ගුරුවරයා නැගිට සිටින කිසිම විටක ශිෂ්‍යයා වාඩි වී සිටීමක් නැත.

ශ්‍රී සුමංගල අධ්‍යාපනය පිළිබඳව ඉතා විසිතුරු විවරණයක් මෙසේය.

“උන්වහන්සේ වැඩසිටි කල්හි වරින් වර විද්‍යෝදය පිරිවෙනට මම ගියෙමි. එක් දවසක් මා පිරිවෙනට ගියේ පිරිවෙනේ පන්ති පටන් ගෙන තිබුණු අවස්ථාවකය. පස්වරු 2ට සියලු පන්ති ආරම්භ කෙරෙයි. ඒ වෙලාවෙහි හික්කඩුවේ නාහිමියන් වහන්සේගේ පන්තිය පුස්තකාලයෙහි විය. එතැනට පැමිණි මම පසෙක සිට ඉගැන්වීමට ඇහුම් කන් දීගෙන සිටියෙමි.

උන්වහන්සේ එදින ඉගැන්වූයේ ලඝු සිද්ධාන්ත කෞමුදිය යි. පන්තිය ද දහදොළොස් නමක් භික්ෂූන්ගෙන් සමන්විත විය. උන්වහන්සේ කවිච්චියක වැඩ හිඳ ශිෂ්‍යයන් දෙන පාඩම් තේජාන්විතව සාවධානව ඇහුම් කන් දී ගෙන ඉන්න විලාසය මට පෙනුනේය. ශිෂ්‍ය පන්තිය හේත්තු විය හැකි දිග බංකුවල වාඩි වී සිටියේය. ශිෂ්‍යයන්ගේ ගුරු ගෞරවය හා පක්ෂපාතකම පුදුම සහිතය.

සෑම ශිෂ්‍යයන් ම අර්ථය පාඩම් දිය යුතුය. පාඩම් දෙන ශිෂ්‍යයා ආසනයෙන් නැගිට පාඩම් දිය යුතුය. තමන් වහන්සේට කැමැති තාක් පාඩම් දුන් කළ ඔහුට නවත්වා ඊළඟ ශිෂ්‍යයාට පාඩම් දීමට සංඥා කෙරෙයි. මෙසේ පන්තියේ සියල්ලන් ම පාඩම් දිය යුතුය. එයින් පසු පොතේ කරුණු පැහැදිලි කර කියා දී නැවත අර්ථය අස්වා අවසන් කෙරෙයි. එකල පැවැති පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අර්ථ වාචනාව ගරුකොට සිදු වූ හෙයින් හරබර එකක් විය. ශිෂ්‍යයෝ ද සාරවත් ව අර්ථවත් ව ඉගෙන ගත්හ. එහෙයින් ඔව්හු නියම පණ්ඩිත්‍යය ලැබූහ. අද මෙන් එදා පන්තියක අධ්‍යාපන කාලය විනාඩි හතළිස් පහක් හෝ පැයක් නොවීය. දෙපැයක් නැත්නම් පැය එක හමාරක්වත් කාලය ගත වන බව කිව හැකිය.

එදා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ව්‍යවහාර වුණු වචනවලින් ද අධ්‍යාපන ක්‍රම රාශියක් මතු කර ගත හැකිය. ‘පාඩම් දෙනවා’ යනුවෙන් අදහස් කළේ විශේෂයෙන් ශිෂ්‍යයා කටපාඩම් කළ දෙය ගුරුවරයා ඉදිරියෙහි ප්‍රකාශ කිරීමත්, සාමාන්‍යයෙන් සාහිත්‍ය ආදියට පොත බලා ගෙන (සන්න පොත නොවේ) අර්ථ කීමත්ය. මෙය තර්කානුකූලව විග්‍රහ කරතොත්, දිය යුත්තේ, දිය හැක්කේ, තමා ලඟ තිබෙන දෙයකි. නැති දෙයක් දිය නොහැකිය. පාඩම් දීමට නම් තමන්ට පාඩම් තිබිය යුතුය. එනම් කලින් පාඩම් හදාගෙන පැමිණිය යුතුය. ගුරුවරයා කරන්නේ එය නිවැරදි කිරිම හා පැහැදිලි කිරීමත් ය. ‘පාඩම් ගන්නේ’ ගුරුවරයාය. කලින් නොදැන පාඩම්දීමට පැමිණීමත් එදා නොවීය. එදා ශිෂ්‍යයෝ ගුරුවරයාගෙන් පාඩම් ගැනීමට පන්තියට නො ආහ. ‘පොත් කියනවා’ යනු ද එදා ඉගෙනීමට භාවිත කරන ලද වචනයකි. විශේෂයෙන් අර්ථ අස්වා ගැනීම ඉන් අදහස් කෙරේ.

මෙම අධ්‍යාපන ක්‍රමයේ උසස්කම ප්‍රමාණකර ගැනීමට තිබෙන ඉතා හොඳ ආදර්ශය නම් ඒ ඒ අවස්ථාවෙහි සම්පාදනය කරන ලද ප්‍රශ්න පත්‍රයයි. ප්‍රශ්න පත්‍ර තනන්නේ ඒ ඒ විෂය පිළිබඳ විශේෂඥයන් විසිනි. ඊට උපදෙස් දෙන්නේ ඒ පිළිබඳ විශාරදයන් විසිනි. සාමාන්‍යයෙන් ප්‍රශ්න අසන ආකාරය සොයා බලා ඒ ඒ විෂයයන් ඉගනීම හා ඉගැන්වීම නොවැළක්විය හැකි සිරිතකි. ඒ ඒ පන්තියට, ඒ ඒ පොතපතට තනන ලද ප්‍රශ්න පත්‍ර අනුව ඒ ඒ කාලවල අධ්‍යාපන තත්ත්වය බොහෝ සෙයින් වටහාගත හැකිය. එසේ ම ශ්‍රී සුමංගල අධ්‍යාපන තත්ත්වය දැන ගැනීමට ද තත්කාලීන ප්‍රශ්නපත්‍ර විමසිය යුතු බව කිවමනා නොවේ. ඒ අනුව මාහිමියන්ගේ අධ්‍යාපන ක්‍රමයෙහි විශේෂ ලක්ෂණ කීපයක් මෙසේ ඉදිරිපත් කළහැකිය.

1. වියරණ නීති පද සිද්ධි, සූත්‍රානුසාරයෙන් දැක්විය යුතුවීම.

2. පාලි, සංස්කෘත හා පැරණි සිංහල සාහිත්‍ය පොත්වලට පදගතාර්ථ දීමට හැකියාව තිබිය යුතු වීම.

3. විෂය කරුණු ගැන අටුවා ටීකානුගත ගැඹුරු දැනුම අපේක්ෂා කිරීම.

4. අකිතපද විග්‍රහකිරීම හා විවේචනය කිරිම

5. අත්තනොමතයට වඩා ඡෙක ප්‍රයෝගය ගරුකළ යුතු වීම.

6. ධර්ම විනයට උසස් තැනක් දීම.

7. හුදු විවේචනයට වඩා ධාරණය අපේක්ෂා කිරීම

8. ලත් දැනුම න්‍යායානුකූලව ස්ඵුට වූවක් වීම.

තවද මා හිමියන් භාෂා සාහිත්‍ය ඥනය ලබා ගැනීම සඳහා ම සංස්කෘත සාහිත්‍යයත් ඡන්දොලංකාරත් හැදෑර වූ නමුත් ප්‍රතිපදාවක් වශයෙන් හෝ දර්ශනයක් වශයෙන් එහි හරයක් නැති බවත් බුද්ධ ධර්මයම ක්‍රියාත්මක කළ යුතු බවත් සලකා ඇති හැටි උසස් සම්මුඛ ශිෂ්‍යවරයෙකුගේ මේ ප්‍රකාශනයෙන් ඔප්පු වේ.

‘දිනක් සංස්කෘත අලංකාර ග්‍රන්ථයක් ..... ආරම්භයේ දී මේ මාහිමිතුමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වූ උතුම් වචන නම් “උන්නැහේ ඔය බාහිර ශාන්ත්‍ර පිදුරු මෙන් නිසරුය. ධර්ම විනය නම් රන් රුවන් මෙන් ගරුය. එබැවින් මේ බාහිර දේවල් ගැන වඩා නොවෙහෙසි ධර්ම විනය විෂයෙහි ම තමුසෙලාගේ මුළු උත්සාහය යෙදිය යුතුය. යනුයි.

පොත පත කියවීම පිළිවෙලින් කරගෙන යනවා මුත් අවුරුදු පතා කරන පරීක්ෂණ ක්‍රමයක් කලින් පන්සල් අධ්‍යාපනයෙහි නොතිබුණේ ය. විදුදය ඇරඹීමේ පටන් මාහිමියෝ වාර්ෂික පරීක්ෂණ ක්‍රමය ආරම්භ කිරීමට අදහස් කොට බටුවන්තුඩාවේ පඩිතුමා හා න්‍යායවේදී ශාස්ත්‍රධර විලියම් ප්‍රේරා රණසිංහ නීතිඥතුමා ද ලවා මුල් වර්ෂ තුනක් ම පාඨ පරීක්ෂණය කරවූහ. ප්‍රථම පරීක්ෂණ වාර්තාවේ

යතිපතිනි, ඔබ වහන්සේ ඉගැන්වීම ආරම්භ කළේ සත් දෙනෙකුගෙන් මුත් සත් දහසකින් වත් ගුණ වි නතර නොවන බව අපි කරුණු දුටුමු’යි.

පරීක්ෂකවර රණසිංහ මහතා විසින් වාර්තාගත කොට ඇත. 1876 පටන් අද දක්වා වාර්ෂික පරීක්ෂණය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව කෙරිණ.

ඓතිහාසික ස්ථාන සියැසින් දැකම කරුණු අවබෝධකර ගැනීමත්, පින් සිදු කර ගැනීමත් සඳහා ඒවා පසක් කළ යුතුය යනු ද මාහිමියන්ගේ අදහසකි. ඒ සඳහා උන්වහන්සේ ද දඹදිව බුද්ධගයාවට යාමට සූදානම් වූහ. එහෙත් ඉඩ ලැබී නැති බව උන්වහන්ස්ගේ ම ලිපියකින් පෙනේ.


හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි 105 වන ගුණානුස්මරණය

විද්‍යෝදය පිරිවෙනේ දී

දහනවවන සියවසේ දී සිරි ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්වතාණන් වශයෙන් දෙස් විදෙස් පඬිවරුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ආගමික, ජාතික, අධ්‍යාපනික සංස්කෘතික අංශයන්ගේ උන්නතියේ යුග මෙහෙවරක නියැළුණු බෝධිසත්ව ගුණෝපේත ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ගේ 105වන ගුණ සමරු උළෙල මෙම 29 දින සවස 3ට කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ විද්‍යෝදය පිරිවෙනේ පරිවෙනාධිපති බලංගොඩ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගුණ සමරු උළෙලේ ශාස්ත්‍රීය දේශනය මහාචාර්ය නෙළුවේ සුමනවංස මාහිමියෝ පවත්වති. විද්‍යෝදය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති දිවියාගහ යසස්සී නා හිමි ප්‍රධාන ලේකම් මහාචාර්ය වෑගම පියරතන නාහිමිවරුන්ගේ සංවිධානත්වයෙන් පැවැත්වෙන මෙම ගෞරවනීය අවස්ථාවේ දී විද්‍යෝදය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය එළි දැක්වීමත්, පාරිවේනික දක්ෂ ශිෂ්‍යයන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය ද සිදු කෙරේ.

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]