UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භාවනාවේ සැබෑ අරුත

භාවනාවේ සැබෑ අරුත

භාවනා යනු වැඩීමයි. වැඩි දියුණු කිරීමයි. කුමක් වඩන්නේද වැඩිදියුණු කරන්නේද යත් සිතද නුවණද වඩන්නේ ය. දියුණු කරන්නේය. සිත දියුණු කරලීම චිත්ත භාවනාවය. එය සමථ භාවනා නමින් ද හැඳින්වෙයි. නුවණ වැඩීම ප්‍රඥා භාවනාවයි. එයම විපස්සනා නමින්ද හැඳින්වෙයි.

බුදුන් වදාළ පරිදි සීලයෙහි පිහිටා සිතද නුවණ ද වැඩිය යුතු ය. එය මැ සසර දුක් නිවාලන මගයි. “මහණෙනි, මෙතරම් වැදගත් වූ මූලික වූ අන් කිසිඳු දහමක් මම නොදකිමි. වැඩිදියුණු නොකිරීමෙන් බොහෝ අවැඩ සිදු වන්නා වූ ඒ දහම නම් සිතය. සිත වැඩිදියුණු නොකිරීමෙන් (පිරිහෙන්නට ඉඩ හැරීමෙන්) මහත් මැ අවැඩ සිදු වන්නේය.” “මහණෙනි, වැඩිදියුණු කිරීමෙන් බොහෝ වැඩ සිදු වන මෙතරම් වැදගත් වූ මූලික වූ අන් දහමක්ද මම නොදකිමි. ඒ දහමද සිතය. සිත වැඩිදියුණු කරලීමෙන් (භාවනාවෙන්) මහත්මැ වැඩ සැලසෙන්නේය.”

සිත පිරිහීමෙහිලා මූලික වන්නේ රාග, ද්වේශ, මෝහාදී කෙලෙස්ය. ඒවා වැඩෙන්නට ඉඩ හැරීම විවිධාකාරයෙන් පුද්ගලයා පිරිහීමට පත්කරයි. දුසිරිතට යොමු කරයි. ඔහු තෙමේ තමාටද ලෝකයටද අවැඩ අනර්ථය ම සිදු කර ලන්නේ ය. සිත දියුණු වීමෙහිලා මූලික වන්නේ වීතරාග, වීතදෝස, වීතමෝහ ආදී නිකෙලෙස් සිතිවිලිය. ඒවා වැඩිදියුණු කරලීම නම් වෑයමෙන් කළ යුත්තේ ය. එසේ කිරීම මෙලොවද පරලොවද දියුණුවම සලසයි. පුද්ගලයාට මෙන්ම සමාජයටද සෙත සදයි. ලෝකය ඇදගෙන යන්නේ සිතයි. සියලු සත්වයෝ සිත නමැති එකම දහමට වසඟව සිටින්නෝ යැයි බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්හ. තමා සිතට වසඟ නොවිය යුතුය.රාග, ද්වේශ, මෝහාදීන්ගෙන් කිලිටිව පවත්නා මේ සිත දමනය කළ යුතු ය. එය සැප පිණිසම වේ. ඒ සඳහා වන චිත්ත භාවනාව බුදුදහමෙහි ඉගැන්වෙයි. එයමැ නුවණ වඩන විපස්සනාවට පූර්වංගම වන්නේ ය.

මහණෙනි, කායික, චෛතසික (මානසික) යැයි රෝග දෙයාකාර වේ. කායික රෝගවලින් තොරව වසරක්, දෙවසරක්, දස වසරක් හෝ සිය වසරක් නිරෝගීව සිටින සත්වයෝ දක්නා ලැබෙති. එසේ වුවද ( පිරිපුන් මානසික සෞඛ්‍යය උදාකරගත්) චෛතසික රෝගවලින් තොරවූ මොහොතක් හෝ මානසික නිරෝගී බව අත්දකින කිසිවෙකුත් නැත. ඇත්නම් ඒ රහතුන් වහන්සේ පමණකැයි බුදුදහමෙහි දැක්වෙයි.

මිනිසුන් නිබඳවම පීඩාවට පත් කරන මානසික රෝගද, ඒවාට තුඩුදෙන විවිධ හේතු යුක්තීන්ද, එම හේතු පාලනය කරලීමෙන් (චිත්ත, සමථ භාවනාවෙන්) හා එම හේතු මුළුමනින්ම උදුරා දැමීමෙන් (විදසුන් – ප්‍රඥා භාවනාවෙන්) උදාකරගත යුතු සැබෑ මානසික ආරෝග්‍යයද, ඒ සඳහා වන මාර්ගයද බුද්ධ ධර්මයෙහි ඇතුළත් වෙයි. මිනිසුනට වැළදෙන මානසික රෝග සුසාලිසකැයි විටෙක උගන්වන පෙළ දහම ඒවාට අදාළ නිසි පිළියම් ද නිර්දේශ කරයි. මිනිසුන් කයින් ලෙඩ වන්නේ මූලික හේතු තුනක් නිසාය. එනම් වාතය, පිත හා සෙමයි. කායික වෛද්‍යවරු මෙකී තුන්දොස් සමනය කරනු පිණිස ප්‍රතිකාර කරති. එමෙන්ම මිනිසුන් සිතින් ලෙඩවන්නට ද හේතු තුනක් තිබේ. එනම් රාගය, ද්වේශය හා මෝහයයි. උතුම් මානසික වෛද්‍යවරයා වූ බුදුරජාණන් වහන්සේ මෙකී තුන්දොස් සමනයට මඟ පෙන්වති. ඒ මඟ පෙන්වීම නම් භාවනාවය. “මහණෙනි, වෛද්‍යවරු (ශරීර ගත වූ අහිතකර විස ඉවත් කරනු පිණිස) විරේචනය කරවති. (විරේක බෙහෙත් දෙති) මහණෙනි, මම ද එසේ කරමි. මා දෙන විරේචනය නම් ආර්ය විරේචනය යයි. එයින් ජාති, ජරා, මරණාදී (සසර මග ලෙඩ) නැසෙයි. “බුදුන් වහන්සේ ශල්‍ය වෛද්‍යවරයෙකු හා සමාන වෙති.” යි විටෙක පෙළ දහමෙහි දැක්වේ. ඒ රාගාදී කෙලෙස් හුල් ගලවන වෛද්‍යවරයා යන අර්ථයෙනි. මෙසේ “සත්හට වන බව දුකට වෙදාණන්” වන්නේ බුදුරජාණන් වහන්සේමය. ඒ වෙදකම නම් භාවනාවයි. සමථ භාවනාව ලෙඩ පාලනය කරයි. විපස්සනාව ලෙඩ නිට්ටාවටම සුව කරයි.

මානව වර්ගයා වෙත සැබෑ මානසික සෞඛ්‍යය උදා කරනු පිණිස උරදුන් චින්තකයන් දාර්ශනිකයන් හා ආගමික ශාස්තෘවරුන් අතර බුදුරජාණන් වහන්සේට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මිනිස් සිතෙහි ස්වභාවයත් එයට වැළඳෙන රෝගාබාධයනුත් ඊට තුඩුදෙන හේතුකාරකත්, එය නිරෝගී කර ගැනීමට හා ඊට අදාළ මාර්ගයත් පිළිබඳ බුද්ධ දේශනා රාශියකි. ධම්ම පද චිත්ත වර්ගය එබඳු එක් ප්‍රකට අවස්ථාවකි. සිතෙහි ස්වභාවය නම් දුර ගමන් යාමය. හුදෙකලාව හැසිරීමය. පැතිකඩක් හැඩයක් නැති එය සැඟවී සිටින්නේ ය. යමෙකු එබඳු වූ මේ සිත භාවනා මඟින් දමනය කරන්නේ ද හෙතෙම මරණින් මිදේ යැයි එහි එක් ගයෙක ඉගැන්වේ.

සිත ලෙඩ වූ කල්හි, කෙලෙස් මලින් දූෂිත වූ කල්හි, මතින් මත්ව ගිය කල්හි ජීවිතය හා ලෝකය පිළිබඳව ඇති තතු මිනිසාට නොපෙනීම පුදුමයක් නොවේ. කිලිටි වූ අවුල් වූ මත් වූ ලෙඩ වූ සිතට යථාර්ථය සිතිය නොහැකිය. ඒ බව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි කිලිටිව ගිය අපිරිසුදු මළ බැඳී ගත් වස්ත්‍රයක් වේද, රෙදි වලට සායම් පොවන්නෙකු එම වස්ත්‍රය ගෙන නිල් පැහැය, රත් පැහැය, ලේ පැහය හෝ මඳ රත් පැහැය හෝ එම වස්ත්‍රයට පොවනු කැමැතිව, එකී එකී පැහැය ගත් සායමෙහි එය ගල්වන්නේ පොඟවන්නේ වේද එම වස්ත්‍රය මනා කොට එම වර්ණ උරා නොගන්නේමය.” එලෙසින්ම කිලිටි වූ සිතට ඇති තතු නොපෙනේ. නොවැටහේ. යථාර්ථය උරා නොගැනේ. මහණෙනි, පිරිසුදුව බබලන නොකිලිටි වූ යම් වස්ත්‍රයක් වේද රෙදි සායම් පොවන්නෙකු එම වස්ත්‍රය ගෙන නිල් පැහැය රත් පැහැය, ලේ පැහැය හෝ මඳ රත් පැහැය හෝ එයට පොවනු කැමතිව එකී පැහැය ගත් සායමෙහි එය ගල්වා නම් පොඟවයි නම් එම වස්ත්‍රය මැනවින් එම වර්ණය උරා ගන්නේ ය. එලෙසින්ම නොකිලිටි පිරිසුදු සිත ඇති තතු දකී. වටහා ගනියි. මේ අර්ථයෙන් සමනය කොට ලූ සමථ භාවනාවෙන් එකඟ කරන ලද, පාලනය කරන ලද සිත විදර්ශනාවට යොමු කළ කල්හි ඇති තතු දක්නා නුවණ පහළ වේ. (යථා භූතං ඤාන දස්සනං) සියලු බාහිර වූද අභ්‍යන්තර වූද සප්‍රාණි සවිඤ්ඤාණක වූද, අප්‍රාණී අවිඤ්ඤාණක වුද, ධර්මයෝ හේතු ප්‍රත්‍යාකාරයටම යටත්ව සිටින්නෝය. එබැවින් සංස්කාර ධර්මයෝය. ඒ සියල්ල අනිත්‍යය. විපරිණාමීය. එබැවින්ම දුක් සහිතය, අසාරය, අතෘප්තිකරය, අර්ථ ශූන්‍යයැයි හෙතෙම වටහා ගනී. එබැවින්ම අනාත්මය. මගේයැයි මමයැයි සළකා ගත නොහැක්කේ යැයිද අවබෝධ කරයි. මෙකී ත්‍රිලක්ෂණාවබෝධයම නිවන් සාදා දෙයි. මෙසේ සමථ භාවනාව කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ සංඛ්‍යාත කෙලෙස් යටපත් කර සිත පිරිසුදු කරයි. කුසලාරම්මණයෙහි සිත එකඟ කරයි. එහි ප්‍රතිඵල වශයෙන් ලෞකික වූ අභිඤ්ඤා, ධ්‍යාන, සමාපත්ති ආදී උසස් යෝගී තත්ත්ව ලබා ගත හැකිය. විපස්සනා භාවනාව හෙවත් ත්‍රිලක්ෂණ භාවනාව ප්‍රඥා ප්‍රතිලාභය පිණිසම වේ. සිත මුළුමනින්ම කෙලෙස් මලින් මුදා නිවන් සාදා දෙන්නේ විපස්සනාවය. ඉහත කී සමථ භාවනාව පිළිබඳ යම් අවදිකමක් බුදුරදුන් දවස විසූ ඇතැම් ශ්‍රමණ යෝගීන් අතර පැවති බව ආලාරකාලාම, උද්දකරාමපුත්ත වැන්නවුන් අෂ්්ඨසමාපත්තිලාභීන් බව පෙළදහමෙහිම සඳහන් වීමෙන් හෙළි වෙයි. තවද සම කාලීන මහණ බමුණන් අතර සමහරුන් වීර්යයෙන් උත්සාහයෙන් නැවත නැවතත් වෙර වඩා මැනවින් මෙනෙහි කොට පුබ්බේ නිවාසානුස්සති, දිබ්බචක්ඛු යන ලෞකික අභිඥා ලබා සිටි බවද සූත්‍රාන්තයන්හි සඳහන් වේ. එසේ වුවද විදර්ශනාව බුදුරදුන් විසින්ම සොයාගත් භාවනා ක්‍රමයක් බව කිය යුතු ය. සමථය සම්පූර්ණයෙන් කෙලෙස් නිම කිරීමට සමත් නොවන බවද, එමගින් උපදනා චිත්ත පාරිශුද්ධිය හා ඒකාග්‍රතාව තාවකාලික වන බවද පෙනී යාමෙන් තව දුරටත් සත්‍යගවේශී වූ බුදුරදුන් විසින් සකල ක්ලේශයන් දුරු කෙරෙන විපස්සනාව උගන්වන ලද්දේ ය. භාවනාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් මෙසේ වුවද බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනෙකු එය නිසි පරිදි තේරුම් ගෙන තිබේදැයි සැබවින්ම සැක සහිතය. ඒ පිළිබඳව අපේ විද්වත් ධර්මධර මහතෙරුන් වහන්සේ නමකගේ එක් ප්‍රකාශයක් මෙසේ ය.

“උන් වහන්සේගේ ධර්මය, එයිනුදු උන්වහන්සේගේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත් සාන්තියත් ලබා දීම අරමුණු කොට ඇත්තේ ය. භාවනාව යන වචනය කියනු ලබත්ම, අප කල්පනා කරන්නේ ජීවිතයේ දවසේ පොදු වැඩ වලින් ඉවත්ව සමාජයෙන් වෙන්ව, ඇතැම් ගුහා වල හෝ විහාර වල දක්නට ලැබෙන ප්‍රතිමා වල වැනි ඉරියවුවකින් කිසියම් ගුඪ කල්පනාවක හෝ ධ්‍යානයක යෙදෙන බවකි. සැබෑ බෞද්ධ භාවනාව කිසි ලෙසකිනුත් එබදු පලා යාමක් නොවේ. මේ පිළිබඳ බුද්ධ මතය කෙතරම් දුරට වරදවා තේරුම්ගන්නා ලද්දේද, නැතහොත් කෙතරම් අඩුවෙන් තේරුම් ගන්නා ලද්දේද යත් පසු කාලවලදී මේ භාවනා ක්‍රමය පිරිහී ගොස් ශිල්පයක් මෙන් කළ වැඩපිළිවෙළක් ඇති විශේෂයක් බවට පැමිණියේ ය.”.

(බුදුන් වදාළ ධර්මය. මහාචාර්ය, වල්පොල රාහුල හිමි.)

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]