UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක 2016.03.22

මැදින් පොහොය


ලෝකාර්ථචර්යාවෙහි යෙදුණු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ විසි දහසක් පමණ මහ සඟරුවන සමඟ සුද්ධෝදන පිය මහ රජතුමන් ඇතුළු ශාක්‍යවංශිකයනට අමා මහ නිවන් සුව ලබා දෙනු පිණිස රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුරයට වැඩම කිරීමට ගමනාරම්භය සිදුවු අසිරිමත් දිනය මැදින් පුර පසළොස්වක පෝදාය.

ගෞතම බුදුපියාණන් වහන්සේගේ කීර්ති ඝෝෂාව දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සුද්ධෝදන පිය මහ රජතුමාට ද ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය. බුදුන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩමවා ගනු පිණිස දහසක් පිරිවර ද දී ඇමැතියකු වෙත පණිවුඩය දී රජගහනුවරට යැවීය. රජගහනුවර වේළුවනාරාමයට ගිය පිරිස පණිවුඩය පසෙක තබා බුදුරදුන්ගෙන් දහම් අසා රහත් බවට පත්ව පැවිදි විය. ඒ පිරිස ආපසු නො පැමිණෙන හෙයින් නැවතද ඇමැතියකු ඇතුළු දහසක් පිරිස යැවීය. මෙසේ සුදොවුන් රජතුමා නව වාරයකදී දහසක් පිරිවර සමඟ ඇමැතිවරු නව දෙනකු යැවීය. ඒ සියලු දෙනා දහම් අසා පැවිදිවූහ.

අවසානයෙහි සිදුහත් කුමරා සමඟ එකදා උපන් කාලුදායි ඇමැති කැඳවා මෙසේ නව දහසක් පිරිස මාගේ පුතුන් කැඳවා ගෙන එනු පිණිස රජගහනුවරට පිටත් කර හැරියද මෙතෙක් ආරංචියක් ඔවුන් ගැන නැත. මාගේ ජීවිතය අවසානයට පෙර සිය පුතු කැඳවා ගෙන වුත් පෙන්වන්නට හැකිදැයි විචාළේය. ඊට පිළිතුර වූයේ පැවිදි වන්නට අවසර දෙතොත් එය ඉටු කරන්නම් කී හෙයින් ඊට අවසර දී ඒ පිරිස යැවීය. වේළුවනාරාමයට ගිය පිරිස දහම් අසා රහත්ව පැවිදිවූහ. ඒ සමඟ ඒ වන විට ශ්‍රාවක සඟරුවන විසි දහසකටත් අධික වූහ.

කාලුදායි රහතන් වහන්සේ පැවිදිව සතියකට පසුව කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළහ. පිය මහරජතුමා බුදුන් වහන්සේ දැකීමට කැමැත්තෙන් පසුවන බවද දැන්වූහ. බුද්ධත්වයෙන් දස මසක්ද සපිරීය. මැදින් පෝදා පුර පසළොස්වක එළඹියේය. කිඹුල්වත්පුරයට වැඩම වීමට සුදුසු කාලය එළඹී ඇති බව දන්වා ගමන් වර්ණනාව ගාථා සැටකින් ප්‍රකාශ කළහ.

කිඹුල්වත් පුරයට වැඩම විය යුතු සුදුසු කාලයයි සිතු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් මහ සඟරුවන සමඟ වේළුවනාරාමයේ සිට ශාක්‍ය ජනපදයට වැඩම වීමට ගමනාරම්භ කරන ලද්දේ මැදින් පෝදාය. එබඳු අසිරිමත් දිනයක් සිහිපත් කැරෙන මැදින් පුර පසළොස්වක පොහොය ආගමික වශයෙන් වටිනා දිනයෙකි.

බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට යොදුන් මඟ ගෙවා කිඹුල්වත්පුරයට වැඩම කළ සේක. එම කාලය තුළ කාලුදායි රහතන් වහන්සේ සුදොවුන් රජතුමා ගේ මාලිගයෙන් පිණ්ඩපාතය ගෙනවුත් පූජා කළහ. ශාක්‍ය වංශිකයන් බුදුරදුන් ප්‍රමුඛ සඟරුවනට වැඩ සිටීමට නිග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරාමයක් ඉදිකරවා තැබූහ. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුර පසළොස්වකදා කිඹුල්වත් පුරයට වැඩම කළහ. බුදුරදුන් ප්‍රමුඛ සඟරුවන නිග්‍රෝධාරාමයට වැඩම වූහ. ශාක්‍යවරු, බුදුවුවත් උන්වහන්සේ අපට වයසින් බාලයයි සිතා උන්වහන්සේට නොවැඳ වයසින් බාල කුමර කුමරියන් ලවා වැන්ද වූහ. ඔවුන්ගේ අදහස් දැනගත් බුදුපියාණන් වහන්සේ මානය දුරුකරනු පිණිස අහසට නැඟ යමා මහ පෙළහර දැක්වූහ. එය දුටු සුද්ධෝදන රජතුමා මාගේ තෙවන වැඳීම යැයි කියමින් බුදුපියාණන් වහන්සේට වැන්දේය. සෙසු ශාක්‍යවරුද උන්වහන්සේට නමස්කාර කළහ. එකල්හි මහ වැසි ඇද වැටුණේය. ඒ නිමිති කරගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කර වදාළහ.

මැදින් පුන් පෝදින සිදුවු එබඳු ඓතිහාසික සිදුවීම් සිහිපත් කර ගනිමින් ආගමානුකූල දිවිපෙවෙත තවත් වර්ධනය කර ගනිමු.

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]