UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

"භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයකට අවතීර්ණ වනු පිණිස බෞද්ධයකු සිය චරිතය හැඩගස්වා ගත යුතු ආකාරය කරණීය මෙත්ත සූත්‍රයේ මුල් ගාථාවලින් මනා කොට හෙළි කරනු ලැබේ. ඉහත කී දෙයාකාර සංවර්ධනයට අදාළ කටයුත්තෙහි දක්ෂ වූ නිවන් අරමුණු කොට ක්‍රියා කරන බෞද්ධයා අවශ්‍යයෙන්ම දක්ෂයකු විය යුතු ය."

සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායෙහි ඇතුළත් මෙත්ත සූත්‍රය අපේ බෞද්ධයන් අතර අතිශයින්ම සම්භාවනාවට පත්ව ඇති බුද්ධ දේශනාවකි. එය කරණීය මෙත්ත සූත්‍රය ලෙස හඳුන්වන බෞද්ධයෝ සජ්ඣායනය කරන්නවුනට එමඟින් දේවාශිර්වාද ලැබෙන බවද පිළිගනිති. එම ජනපි‍්‍රය පිළිගැනීමෙන් ඔබ්බට ගිය විට පෙනී යන ඉතාමත් ම වැදගත් කරුණ නම් එම සූත්‍රය සිය පෞද්ගලිකත්වය දියුණු කර ගනිමින් සමාජ හිතකාමියෙකු බවට පත්වීම සඳහා ඉතා හොඳ මඟ පෙන්වීමක් ද කරන බව ය.

භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයකට අවතීර්ණ වනු පිණිස බෞද්ධයකු සිය චරිතය හැඩගස්වා ගත යුතු ආකාරය කරණීය මෙත්ත සූත්‍රයේ මුල් ගාථාවලින් මනා කොට හෙළි කරනු ලැබේ. ඉහත කී දෙයාකාර සංවර්ධනයට අදාළ කටයුත්තෙහි දක්ෂ වූ නිවන් අරමුණු කොට ක්‍රියා කරන බෞද්ධයා අවශ්‍යයෙන්ම දක්ෂයකු විය යුතු ය. (සක්කො) හැකියාව, ශක්‍යතාව ඇත්තකු විය යුතු ය. තම දියුණුවට අදාළ, තමා නිරත වෘත්තියෙහි හපනෙකු වීම ද මින් අදහස් වෙයි. එකී කුදු මහත් කටයුතු පිළිබඳ හැකියාව නොවේ නම් පූර්වෝක්ත අර්ථ සිද්ධීන් ළඟා කර ගත නොහැකි ය. දක්ෂ ලෙස තමාට අයත් වැඩවල යෙදීමේ නිපුණතාව මින් කියැවෙයි. එසේ ම ඔහු නොවක් සෘජු ගතිගුණ ඇත්තකු ද විය යුතු ය. අවංකව කටයුතු කිරීම මෙයින් උගන්වනු ලැබේ. හෙතෙම සිතින්, ක්‍රියාවෙන් හා කතාවෙන් ද අව්‍යාජ ව කෙළින් වැඩ කරන්නෙකි. (උජු) ඔහු ඩ වඩාත් අවංක විය යුතු ය. (සුජු) ඡන්දය, එනම් අසීමිත කැමැත්ත, අධි අපේක්ෂා ඇති බව, ද්වේශය, එනම් අකැමැත්ත, වෛරය, භය එනම් වෙනත් බලපෑමකට ඇති බිය, ත්‍රාසය, මෝහය එනම් මුළාව, රැවටීම යන අගතිවලට පත් නොවී කටයුතු කිරීම මෙයින් ඉගැන්වෙයි. තව ද, ඔහු යුක්ති ධර්මයට, සාධාරණ නීතියට ඒ පිළිබඳ බලධාරියාට අවනත වන්නෙකු කීකරු වන්නෙකු විය යුතු ය. නීතිගරුක වීමේ අවශ්‍යතාව මෙයින් කියැවෙයි. (සුවචො) රළු, ගොරෝසු සිතිවිල්ලෙන් ද, ක්‍රියාවෙන් ද වචනයෙන් ද බැහැර ව සිනිඳු මටසිලිටි පි‍්‍රය මනාප පැවතුම් ඇත්තකුවීම තවත් ගුණයකි. එනම් මොළොක් නම්‍යශීලී අයෙකු වීම ය. (මුදු) තව ද දියුණුව කැමැත්තේ නම් ඔහු අනහිතමානී විය යුතු ය. අධික මානයෙන් උඩඟුකමින් තොර විය යුත්තේ ය. බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතු වන නිරහංකාර පැවතුම් ඇති බව මෙහි ලා ඉගැන්වෙයි. (අනතිමානි) ලද දෙයින් සතුටුවීම අනෙක් ගුණයයි. ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් ආදී මූලික උවමනාවන් අරබයා අවම අපේක්ෂා ඇති ව ලද පමණින් සතුටු විය යුතු ය. (සන්තුස්සකො) පහසුවෙන් පෝෂණය කළ හැකි වීම ද එයට ම සබැඳි ය. දරුවන්, මව්පියන්ටද, මව්පියන් දරුවන්ට ද, ස්වාමියා සේවකයාට ද, සේවකයා ස්වාමියාට ද පෝෂණය කරලීමට පහසු විය යුතු ය. (සුභරො) විවේකී දිවි පැවැත්ම එනම් වැඩ බහුල නොවීම ද ඒ සමඟ ම එක් වෙයි. අවිවේකී කාර්යබහුල බව අසීමිත බලාපොරොත්තුවල ප්‍රතිඵලයකි. අල්පකෘත්‍යතාව එබඳු අවම අපේක්ෂා තුළින් ජනිත වෙයි.

(අප්පකිච්චො) සැහැල්ලු පැවැත්ම අනෙක් ගුණයයි.එනම් සරල, චාම් ජීවිතයයි. එය ද අඩු බලාපොරොත්තු තුළින් ම උපදියි. (සල්ලහුකවුත්ති) සන්හුන් ඉඳුරන් ඇති බව ද මේ හා බැඳේ. එනම් ඇස, කන, දිව, නාසය, සිරුර හා සිත යන ඉන්ද්‍රියයන්ගේ හැදුනුකම ය. (සන්තින්ද්‍රියො) නුවණැත්තෙකු වීම ද මෙහි ලා අවශ්‍යම වේ. හොඳ නරක දන්නේ ද, විධිමත් ව ක්‍රියා කොට උසස් ප්‍රතිඵල ජීවිතයෙන් ලබනුයේ ද නුවණ ඇත්තාම ය. (නිපකො) තැන්පත් බව ද මෙහිලා අවශ්‍ය ය. උපශාන්ත ව, තැන්පත් ව ගැඹුරු නිහඬකමින් ක්‍රියා කිරීම මෙයින් ඉගැන්වෙයි. (අප්පගබ්භො) පමණට වඩා කුලයන්හි නොඇලිය යුතු ය. මක්නිසාද යත්, එයින් ම මත්වීමෙන් නිසි මඟ නොපෙනී යා හැකි බැවිනි. (කුලෙසු අනනුගිද්ධො) නුවණැත්තවුන්ගේ දෝෂාරෝපණයට ලක් විය හැකි කුඩා වරදක් වුවද නොකළ යුතු ය. ලොකු කුඩා සියලු වරදින් වැළකීම මින් ඉගැන්වෙයි. (නච ඛුද්දං සමාචරෙ....) ඉහත කී ගුණ පහළොව යම් චරිතයෙක නිසි ලෙස පිහිටා තිබේ ද එය හැඩගැසුණු චරිතයෙකි. සංවර්ධනය වූ චරිතයෙකි. හෙතෙම දක්ෂය, අවංක ය, නීතිගරුකය, මොළොක් ය, නිහතමානීය, ලද දෙයින් සෑහීමට පත් වේ. පෝෂණය ද පහසු ය. කාර්යබහුල නොවේ. චාම් ය, සන්සුන් ය, නුවණක්කාරය, අනිසි ලෙස කුලයෙහි ද නොඇලෙයි. කුඩා වරද කුදු නොකරයි.

මෙත්ත සූත්‍රයෙහි මින් අනතුරුව කියැවෙනුයේ ඉහත කී පරිදි වැඩුණු චරිතය ඇත්තහු සිතන ආකාරයයි. සිතිය යුතු පිළිවෙළයි. එනම් බෞද්ධයකුගේ උසස් චින්තනයයි. සියලු සත්ත්වයන්, ජීවීන් සුවපත් වේවා, බිය නැත්තවුන් ද, සැප ඇත්තවුන්ද වේවායි සිතීමයි. එහි ලා කිසිදු විෂමතාවකින් වෙනස්කමකින් තොර ව මෙත් සිත් පැතිරවීම අදහස් වේ. ජාති කුල ගෝත්‍රාදී උස් මිටිකම් මිනිස් තිරිසන් ආදී භේද නොසලකා සම මෙත් සිත වැඩිය යුතු ය. ඒ සියලු සත්ත්වයෝ නම් කවරෙක්දැයි මෙම සූත්‍රය ඉතාමත් සිත්ගන්නා පරිදි පුළුල් ලෙස පැහැදිලි කරයි. (තසාවා) කෙලෙස් සහිත එබැවින් සැලෙන සිත් ඇති සත්ත්වයෝ ද, (මෙයින් චංචල - සැලෙන ජංගම හෙවත් ඇවිද යා හැකි යන අර්ථය ද සලකා ගත හැකිය.) එවිට නොසැලෙන සිත් ඇති එහෙත් සැලෙන කය ඇති රහතුන් ද ඇතුළත් වෙයි. (ථාවරා) කෙලෙස් රහිත බැවින් නොසැලෙන සිත් ඇති සත්ත්වයෝ ද (මෙයින් චංචල නොවන නොඇවිදින, එකතැන සිටින හෙවත් ස්ථාවර යන අරුත ද සලකා ගත හැකි ය. එවිට ගස්වැල් පවා ඇතුළත් වෙයි.) ඉතිරි නොකොට දික් වූ සිරුරු ඇති (දීඝා) සුවිශාල සිරුරු ඇති (මහන්තා) මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇති (මජ්ක්‍ධිමා) දික් නොවූ (රස්සා) ඇසට නොපෙනෙන (අණු) වටකුරු (ථූලා) යනුවෙනි.

එසේ ම ඇසට පෙනෙන (දිට්ඨා) නොපෙනෙන (අදිට්ඨා) දුර වසන (දුරෙ) ළඟ වසන (අවිදුරෙ) උපන් (භූතා) උපතක් සොයන (සමභවේසී) යනුවෙනි. මෙසේ සියලු සත්ත්වයෝ යන්න අරුත් ගන්වා පැහැදිලි කර තිබේ. මිනිසුන්, දෙවියන්, තිරිසන් සතුන්, ගස්වැල් යනාදී වශයෙන් අප හඳුන්වන සමස්ත ජීව ලෝකය ම මෙම විග්‍රහයට ඇතුළත් ය. මෙහි ලා සියලු වෙනස්කම් උස්මිටිකම් හැර සකලවිධ ජීව ලෝකය ම සතුටින් සැපෙන් වසනු දැක්මට කැමැති සිත මෙත් සිත ය. මිතුරු සිත ය. එය බෞද්ධයාගේ චින්තනය විය යුතු යැයි ඉගැන්වේ. මේ වූ කලී පංචශීලය අවම කොට ඇති සියලු බෞද්ධ චරණ ධර්මයනට අව්‍යාජ පදනම සපයන චින්තනය වේ.

මෙසේ මවක් සිය එකම පුතු දිවි දෙවැනි කොට රකින්නා සේ, අපමණ වූ මිතුරු සිත සියලු සත්ත්වයන් වෙත පැතිරවිය යුතු ය. උඩට ද (උද්ධං) යටට ද (අධො) හරයට ද (තිරියං) බාධකයක් නැතිව අපමණ මෙත් සිත වැඩිය යුතු ය. සිටිමින්ද, ඇවිදිමින් ද, හිඳිමින් ද, නිදමින් ද මෙකී අව්‍යාජ වූ මිත්‍රත්වය මෛත්‍රිය පැතිරවිය යුතු ය. මේ අනුව සතර ඉරියව්වෙහි ම මුළුමහත් ජීවිතයේ දී නිරතුරු ව ම සියලු ජීවීන්ගේ සුවසෙත කැමැති විය යුතු ය. මෙය විශ්ව මෛත්‍රියයි. සම සිතයි. මෙහිලා කවර විටෙක හෝ කවර ජීවියෙකුට හෝ අහිතක් අවැඩක් නොසිතීමට ඉගැන්වෙයි. මේ චින්තනය ඇති තැනැත්තා සමාජයේ සෙස්සන් නොඉක්මවයි. (නපරො පරං නිකුබ්බෙථ) කිසි විටෙකත් කිසිවකුට අවමන් නොකරයි. (කෝපයෙන්, තරහින්) ගැටෙන සුළු ව කටයුතු නොකරයි. එකිනෙකාගේ දුක කැමැති නොවීම ඔහුගේ උසස් පැවැත්ම ය.

මෙයින් මෙත්ත සූත්‍රය පුද්ගලයා සමාජය තුළ කෙසේ ක්‍රියා කළ යුතු දැයි පෙන්වාදෙයි. ඒ බෞද්ධ චරණය නම් අධි තරගකාරී ව එකිනෙකා යටපත් කිරීමෙන් පාගාගැන්මෙන් තොර ව කටයුතු කිරීමය. බෞද්ධයකුගේ සමාජ ජීවිතය තුළ ඉහත කී පුළුල් මෙත්තාව ප්‍රායෝගික ව පිළිබිඹු විය යුතු අන්දම මෙයින් පැවසෙයි.

මැදුම් පිළිවෙත බෞද්ධ ජීවන දර්ශනයෙහි පදනමයි. එය ද මෛත්‍රී චින්තාව පසුබිම් කොට ගෙන පවතියි. හෙතෙම (දෘෂ්ටියකට) අන්තයකට නොපැමිණ මැදිහත් ව ක්‍රියා කරන්නෙකි. (දිට්ඨිංච අනුපගම්ම) බුදුන් වදාළ මෙලොව, පරලොව අභිවෘද්ධියත් විමුක්ති මාර්ගයත් අර්ථවත් කරනු ලැබ ඇත්තේ මෙබඳු ඉවසිලිමත් විචාර පූර්වක මධ්‍යස්ථ චින්තනයක් පාද කොටගෙනය. එසේ කවර හෝ අනන්තයකට, දෘෂ්ටියකට නොවැටී මනා චරිත සංවර්ධනයකින් යුක්ත ව (සීලවා) වස්තුකාම, ක්ලේශකාමාදියෙහි ගිජු බව හැර පියන්නා නැවත ගැබකට නොපැමිණෙන්නේ ය. නිවන් පසක් කරන්නේ ය. ඉපදීම කෙළවර කරන්නේ ය.

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]