UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වයසට ගොස් පැවිදි වූ සුමනා මහරහත් තෙරණියෝ

වයසට ගොස් පැවිදි වූ සුමනා මහරහත් තෙරණියෝ

"ගිහි ජීවිතයේදීම රහත් භූමියට පත් සුවිශේෂී චරිතයක් ලෙස සුමනා මහ රහත් තෙරණියෝ කැපී පෙනේ. අනාගාමි ඵලයට පත්ව සිටි සුමනාවන්ට රහත් භූමියේ ස්පර්ශලාභය ලැබීමට භාග්‍යවතුන් වහන්සේ දේශිත අවවාදයම සුමනා මහරහත් තෙරණිය උදාන පාඨයක්, පී‍්‍රති වාක්‍යයක් කොට දේශනා කොට වදාළ සේක."

නැවත නැවත මැරෙමින් උපදිමින් නොසිඳී පවත්නාවූ භව පරම්පරාව සංසාරයයි. අගක් මුලක් නොපෙනෙන්නාවූ දීර්ඝතර වූ සසර ගමනට හසුවූ සත්ත්වයා හට නිත්‍ය වශයෙන් ජීවත් විය හැකි භවයක් නොමැත. වත්මන් ජීවිතය මිනිසෙකුව මහත්වූ සැප සම්පත් ලැබ ආඩ්‍ය වූ දිවියක් ගත කළද, නිවනින් සැනසීමක් නොලද සෑම සත්ත්වයෙකුම පේ‍්‍රත, තිරිසන්, අසුර, නරකය යන සතර අපායනට උරුමකම් කියන්නේය. සසරෙහි දුක්ඛිත ස්වභාවය හඳුනා ගත්තාවූ ශ්‍රද්ධාවන්තයාගේ ඒකායන අධිෂ්ඨානය නම් චතුස්සත්‍යය ධර්මයන් අවබෝධය පිණිස ප්‍රවෘජ්‍යාභූමියට අවතීර්ණ වීමයි. ප්‍රවෘජ්‍යා භූමියෙන් උපරිම ඵල ලැබුවෝ බුදු, පසේබුදු, මහරහත් ආර්ය උතුමෝය.

ජීවිතයේ විවිධ කාල පරිච්ඡේදයන් ගතකොට මහලු දිවියට එළඹීම නම් ජීවිතයේ අවසාන සමයයි. මෙම කාලය තුළදී දිවියේ ලබන ලද්දාවූ අත්දැකීම් සම්භාරය ඉතා විස්තෘතය. පුරන ලද පාරමී බලයෙන් දිවියේ සැදෑ සමයේදී පැවිදිව සිව්පිළිසිඹියා පත් රහත් භූමිය ස්පර්ශ කොට වදාළ මහලු කල පැවිදි වූ සුමනා මහ රහත් තෙරණියෝ පිළිබද සිත පහදවා සැනසෙමු.

පෙර බුදුරජාණන් වහන්සේලා වැඩ වාසය කරනලද භාග්‍යවන්ත සමයක සිත් වු පරිදි පින්දහම් කොට අප මහා බුදුපියාණන් වහන්සේ පහළ වූ සමයෙහි කොසොල් මහරජුගේ සොහොයුරියක්ව උපන්නාය.

එක්දිනක බුදුරජාණන් වහන්සේ විසින් මහ කොසොල් රජුට, මහරජ , මේ සතර දෙනා ළදරුයයි නිගරු නොකටයුතුය.” යනුවෙන් දෙසූ ධර්මය අසා පැහැදී තුණුරුවන් සරණ ගිය උපාසිකාවක වූවාය. පැවිදිවීමේ අපේක්ෂා ඇතිව සිටි ඕ තොමෝ මිත්තනිය රැකබලා ගැනීම උදෙසා ටික කාලයක් ගත කළෝය. අනතුරුව මිත්තනිය කලුරිය කළ පසුව රජු සමඟ වසමින් තම සහෝදරයාට උපකාර වූවාය. දිනක් රජු සමඟ බුමුතුරුණු පාපිසි ආදිය ගෙන්වාගෙන විහාරයට ගොස් සංඝයාට පූජාකොට බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අනාගාමී ඵලයෙහි පිහිටියාය.

ගිහි ජීවිතයෙහි අසාර ස්වභාවය දැන පැවිදි ජීවිතයට එළැඹීම උදෙසා නුවණ මුහුකුරා තිබෙන අයුරු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මහා කාරුණිකව සිතින් දැක අනුග්‍රහ කරනු වස් ගාථා රත්නයෝ දේශනා කොට වදාළ සේක.

”සුඛං ත්වං වුඩ්සිකො සෙහි කත්වා චෞළෙන පාරුතා
උපසන්තොහි තෙ රාගො සිතිභූතම්හි නිබ්බුතාති”

‘මැහැලි වහන්ස, සළුව පොරවාගෙන සුවසේ නිදන්න.
ඔබේ රාගය සන්සිඳී ඇත. නිවීමෙන් සිහිල් වූවෙහිය”

මෙසේ දේශනා කොට වදාළ ගාථාව අවසානයෙහි ඕතොමෝ සකල කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කොට අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව්පිළිසිඹියා පත්ද සමඟින් මහරහත් භාවයට පත් වූවාය. අනතුරුව භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ දෙපා වැඳ මෙහෙණවරට ගොස් භික්ෂුණී පැවිද්ද ලබාගත් සේක.

ගිහි ජීවිතයේදීම රහත් භූමියට පත් සුවිශේෂී චරිතයක් ලෙස සුමනා මහ රහත් තෙරණියෝ කැපී පෙනේ. අනාගාමි ඵලයට පත්ව සිටි සුමනාවන්ට රහත් භූමියේ ස්පර්ශලාභය ලැබීමට භාග්‍යවතුන් වහන්සේ දේශිත අවවාදයම සුමනා මහරහත් තෙරණිය උදාන පාඨයක්, පී‍්‍රති වාක්‍යයක් කොට දේශනා කොට වදාළ සේක.

තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකොට රජ සැප සම්පත්හි නිසරු ස්වභාවය දැන එම ධනයෙන්ද පින්දහම් කොට මහත් වූ කෘතවේදි ගුණ දරන උත්තරීතර පින්වන්ත ශ්‍රේෂ්ඨ උත්තමාවියක බව මනාව පැහැදිළිය. තම මිත්තණියට දයාබර මිනිබිරියකව මනාකොට යුතුකම ඉටු කළාය. තම සහෝදරයාට දයාබර සහෝදරියක වූවාය. තෙරුවන් සරණගිය ශ්‍රද්ධාවන්ත උපාසිකාවක වූවාය.

ආධ්‍යාත්මික විමුක්තිය සඳහා විශේෂම ගුණය වන්නේ ශ්‍රද්ධාවයි. බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රයෙහි ගුණ සිහිකරන්න වූ චිත්ත සන්තානයෙහි රාග,දෝස, මෝහ ආදි කෙලෙස් ධර්මයන් පහළවීමට නොදී සිත පිරිසුදු කොට සිත හා සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ පැහැදීම ගෙන දෙන්නේය. සිත ප්‍රසන්න බවට පත් කරනුයේ සූවිසි ගුණයෙහි පැහැදීම නිසයි.

සක්විති රජතුමාගේ උදක ප්‍රසාද මාණික්‍ය බොර වතුරකට දැමූ කල්හි එම ජලය පිරිසුදුබවට පත්වන්නාක් මෙන්ද, කෙලෙස් සහිත චිත්ත සන්තානයක සද්ධා නමැති ගුණය පිහිටි අවස්ථාවේ කෙලෙස් යටපත් කොට සිත ප්‍රසන්නභාවයට පත්වේ.

සිල්වතුන්, ගුණවතුන් දැකීමේ කැමැත්ත, ලොව්තුරු ධර්මය ඇසීමේ කැමැත්ත, මසුරුමල දුරු කොට දන් දීමේ කැමැත්ත ඇත්තේ ශ්‍රද්ධාවන්තයෝය. එසේම සුමනාවෝද මහත් ශ්‍රද්ධාවන්තියක වූවාය. සිල්වතුන් දැකීමට ඕතොමෝ සතුටු වූවාය. භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ ඇතුළු මහා සඟරුවනට නිරතුරු දන් පිරිනැමුවාය. ධර්මය ශ්‍රවණයෙහි යෙදුණාය.

ශ්‍රද්ධාවන්ත වූ සුමනා මහලු වුවද උත්තරීතර රහත් තෙරණියක වූයේ පුරන ලද පාරමී ශක්තිය නිසාවෙනි. පාරමී පිරීමේ මූලික පදනම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවන්තයා ට ලැබෙන ආනිසංස බොහෝය. බුදු, පසේ බුදු, මහරහත් ආනිසංස බොහෝය. බුදු, පසේ බුදු, මහරහත් උතුමන්ගේ පරම අනුකම්පාව ලැබේ. ලෝකයෙහි සත්පුරුෂ” උත්තමයෝ පළමුකොට ම ශ්‍රද්ධාවන්තයා වෙත එලඹේ. පළමු කොට යමක් පිළිගන්නා කළ ශ්‍රද්ධාවන්තයාගේ දෙය පිළිගනී. ප්‍රථමයෙන් දහම් දෙසන විට දහම් දෙසනුයේ ශ්‍රද්ධාවන්තයාටය. ශ්‍රද්ධාවන්තයා ශාසනයට නැඹුරුව,ධර්මයට අනුගතව, සිතෙහි පැහැදීම ඇතිකොට දුක ඉපැදීමේ හේතුව වූ තෘෂ්ණාව මැඩලීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළට පිවිසීමෙන්, සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් වඩා වර්ධනය කොට නිවනින් සැනසුණු යළි නූපදින උත්තමයකු වන්නේය.

ඉමක් නොපෙනෙන සසර කතරට හසුනොවී උත්තමාංග දේහයක් දරා සුමනා මහරහත් තෙරණිය ලෙසින් පිරිනිවන් පා වදාළ උන්වහන්සේගේ ගුණ,ආදර්ශය ඉතා සුවිශේෂිතය. දෙපයින් නැගී සිටින මනුෂ්‍යත්වය ලද සෑම ප්‍රඥාවන්තයෙකුගේම ඒකායන අදිටන විය යුත්තේ සතර අපායට නොයන්නකු වීමටය. ඒ උදෙසා තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් නිවැරදිව ධර්මය තුළ හැසිරවීම ශ්‍රේෂ්ඨ බව ප්‍රත්‍යක්ෂය.

 

 දුරුතු පුර අටවක පෝය

 දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග 05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]