UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාමායා දේවිය දුටු සිහිනය

බුදුපිළිමයේ උපත - 2

මහාමායා දේවිය දුටු සිහිනය


එකල දඹදිව හැම පෙදෙසකම අවුරුද්දකට වරක් ඇසළ මස පැවැත්වෙන මහෝත්සවයකි. මහ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුතව මහාමායාදේවියගේ කුස පිළිසිඳ ගැනීම මෙසේ සඳහන් වේ.

“බෝසතාණන් වහන්සේ මෙසේ කාලදේශාදි අවශ්‍ය කරුණු පහම සම්පූර්ණව තිබෙනු දැක කල් නොයාදීම මිනිස් ලොවැ උපදිමියි වදාරා දෙව් බඹ පිරිස පිටත් කළ සේක.ඉක්බිති මව් වන මහාමායා ගෝතමීන්ගේ ආයුෂ කාලසීමාව විමසා ඇයට ආයුෂය තව දසමසකුත් සත් දිනක් ඉතිරිවැ තිබියැදී දෙව්ලොවින් චුතවන්නට ඉටා ගත්හ. මෙසේ නියම කරගත් අවස්ථාව පැමිණි සෙමෙහි පිරිවර දෙවියන් කැටුව තුසිතපුර වූ නන්දන වනයට වැඩියහ. එහි පිරිවර දෙවියන් විසින් “නිදුකාණන් වහන්ස! මෙයින් සුගතියට මිනිස්ලොවට වඩින්නැ බුදුවැ ලෝකාර්ථචර්යාවෙහි යෙදෙන්නැයි කියනු ලබන ආශිර්වාදාත්මක පි‍්‍රයවචන කථාව අසන සේක්ම දැන් මෙයින් චුත වෙමියි අධිෂ්ඨාන කළ සේක.


අමරාවතී ස්තූපයේ ඇති කැටයමක් මායාදේවියගේ සිහිනය

ශාක්‍ය මුණීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ – පි. 10 (2000)

මුල්කාලීන බෞද්ධ කලා කෘතිවල විශේෂයෙන් භාරුත් සාංචි සහ බුද්ධගයා පුදබිම්වල ඇති මූර්ති කැටයම්හි අඩංගු වූයේ බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයට අයත්වන සිදුවීම්ය.

“බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් වලින් ආශ්චර්යමත් අවස්ථා ඉතා සැලකිල්ලෙන් තෝරා ගනිමින් කැටයම්වල මූර්තිමත් කර ඇත. පළමු සිදුවීම වශයෙන් මහාමායා දේවිය දුටු සිහිනෙන් දුටු ග්‍රන්ථාගත විස්තරය බෝධිසත්වයන් සුදු ඇතෙකුගේ ස්වරූපයෙන් මව්කුසට පිවිසෙන ආකාරයයි.

උදාහරණයක් වශයෙන් භාරුත්වල ස්ථම්භයක පදක්කම් මුද්‍රාව දැක්විය හැකිය. එහෙත් ඊට පසු කාලයට අයත් අමරාවතියේ කැටයම් තුළ මහාමායා දේවිය දුටු සිහිනය පිළිබඳ සිද්ධිය නිරූපණය කර ඇත්තේ ඇතා නොමැතිව කිසියම් ආකෘතියක අඩු විස්තරාත්මක ආකෘතියකිනි.

(බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ – මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ – පි. 21 (2010)


මායාදේවියගේ සිහිනය -භාරුත් ස්තූප කවාකාර කැටයම

ක්‍රිස්තු පූර්ව පළමුවන ශතවර්ෂයට අයත් භාරුත් ස්තූපයෙහි ස්ථම්භයක කවාකාර එනම් පදක්කමක ආකාර කැටයමක බෝධිසත්වයන් ඇතෙකුගේ ස්වරූපයෙන් මව්කුසට ඇතුළුවන ආකාරය නිරූපණය කරයි. මහාමායා දේවිය දකුණැලයෙන් සැතපී සිටින අතර ප්‍රමාණයෙන් දේවියට වඩා විශාල ඇත් පැටවෙක් ඇයගේ වම් අතට උඩින් පහළට බසින ආකාරයට දැක්වෙන අතර දේවියගේ සයනයට පහළින් කාන්තාවන් දෙදෙනෙක් චාමර සළන ආකාරය පෙන්නුම් කරයි. මෙම කැටයම් සමඟ “භගවාතෝ උඤන්ති. (සංස්කෘත භාෂාවෙන් ගර්භාව+ක්‍රාන්ති) යනුවෙන් බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන් කර අත. එමගින් සිහිනය මෙන්ම බෝසතුන්ගේ මව්කුස පිළිසිඳ ගැනීමද හඟවනු ලබයි.(ඉහත සඳහන් ග්‍රන්ථය පි. 29)

මෙම භාරුත් හි අල්ප උන්නත මූර්තිවල විශේෂත්වය වන්නේ එම මූර්ති කැටයමින් ප්‍රකාශ සඳහන් කර තිබීමය. එය සැබැවින්ම මෙකල පවා මෙරට පමණක් නොව කුමන රටක වුවද පුවත්පත් කලාවටද අයත්වන සම්ප්‍රදායක් බඳුය. එනම් පුවත්පතක ඡායාරූපය පළ කරනවිට එයින් ප්‍රකාශිත කරුණ අකුරින් ලිවීමයි. භාරුත් මූර්ති කැටයම් වල බුදුසිරිත පමණක් නොව ජාතක කතාවලද රූප සමඟ ඒ ජාතක කතාවේ නාමය කරනු දක්නට ලැබෙන මෙම සම්ප්‍රදාය භාරුත්පුද බිමේ මෙම මූර්ති කැටයම්වල දක්නට ලැබෙන විශේෂත්වයක් ලෙසින් විද්වත්හු පෙන්වා දෙති.

(භාරත – ලංකා බෞද්ධ උරුමය – සිරිසමන් විජේතුංග පිටු අංක 8 (2006)

මහ බෝසතාණන් වහන්සේ මහාමායා බිසවගේ කුසෙහි පිළිසිඳ ගත් අවස්ථාවේදී ඇය විසින් දකින ලද සිහිනය මෙසේය.

සතරවරම් දෙව්වරුන් පැමිණ මහාමායා බිසව නිදාගෙන සිටි යහන පිටින්ම ඔසවාගෙන පාමුල පර්වතයෙහි හිමාලය කඳු පාමුල තිබු හිරියල් ගල්තලාව මත සල්ගසක් යට .තබා පසෙකට වී සිටියහ. එවිට ඔවුන්ගේ දේවීහු එහි පැමිණ මහාමායා දේවිය අනෝතත්ත විලට කැඳවා ගෙන ගොස් නාවා දිවසළු අන්දවා දිව්‍ය සුවඳ විලවුන් ගල්වා මල්මාලා පළඳවා ළඟම තිබූ පර්වතය අසළ රන් ප්‍ර‍්‍රාසාදයකට ගෙන ගියහ. එහි යහනක් සරසවා මහාමායාදේවිය සැතපුවාය. ඒ අවස්ථාවේදී සුදුඇත් පැටවෙක් දකුණු පැත්තෙන් පැමිණ මහාමායාදේවිය සැතපී සිටි විමානයට ඇතුළු වූයේය. එයින් පසුව ඒ සුදු ඇත් පැටවා මහාමායා දේවිය සැතපී සිටි යහන වටා තුන් වරක් ගමන් කර ඒ සුදු ඇත්පැටවා ඇයගේ දකුණු ඇලයට ළංවිය. ඉන් පසු ඒ ඇත් පැටවා මහාමායා දේවියගේ කුස තුළට පිවිසියාක් මෙන් ඇයට දැනුණි.

(ඉහත සඳහන් ග්‍රන්ථය පිටු අංක 56)

ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසට අයත්වන මෙහි ඇති අමරාවති පුදබිමෙන් හමු වූ මූර්ති කැටයම මගින්ද ප්‍රකාශ කෙරෙන්නේ මහාමායා දේවිය දුටු සිහිනයමය. ගන්ධාරමූර්ති කැටයම් වලද (මෙකල පකිස්තානයට අයත් ) සුදුඇත්පැටවා පැමිණ මහාමායා දේවියට ඉහළින් සිටින ලෙස නිර්මාණය කර ඇත.


පසුගිය සතියෙන් - බුදුපිළිමයේ උපත - 1 : බුද්ධ ප්‍රතිමා වන්දනාවට පෙර පුරාණ භාරතය

 

 දුරුතු පුර අටවක පෝය

 දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග 05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]