UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනූහයවන වසර සමරන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

අනූහයවන වසර සමරන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

ශ්‍රී ලංකාවේ නොයෙක් පළාත්වල එවකට පිහිටුවා ඇති තරුණ බෞද්ධ සමිති අතර සුහද සහයෝගීතාවයක් ගොඩනැගීම සඳහා ඒවායේ සාමාජික හා ආගමික කටයුතු එක්වන්ව මෙහෙයවීම සඳහා වාර්ෂික හෝ අර්ධ වාර්ෂික සම්මේලනයක් පැවැත්වීමට එළඹ තිබේයැයි 1919 මාර්තු මස අග භාගයේදී එවකට කොළඹ තරුණ බෞද්ධ සමිතියේ “ද බුඩිස්ට්” නම් සතිපතා ඉංගී‍්‍රසි පුවත්පතට ලිපියක් ලියූ අමදෝරිස් මැන්ඩිස් මහතා අදහස් පළ කළේය.


බෞද්ධාලෝක වෙසක් කලාපයේ දී (2015) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කරමින්

මෙරට ප්‍රබලතම බෞද්ධ සංවිධානය බවට පත්ව ඇති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඇරඹීමේ ප්‍රථම දෝංකාරය වූ ඉහත කී අදහස අනතුරුව කොළඹ තරුණ බෞද්ධ සමිතියේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් යෝජනා පිළිගත් විධායක මණ්ඩලය සම්මේලනයක් පැවැත්වීමේ වැදගත්කම හා ප්‍රායෝගික තත්වය ගැන සොයා බලා වාර්තා කිරීමට පස් දෙනෙකුගෙන් යුත් අනුකාරක සභාවක් පත් කරන ලදී. එම අනුකාරක සභාවේ වාර්තාව පිළිගත් විධායක මණ්ඩලය තරුණ බෞද්ධ සමිති සම්මේලනයක් පැවැත්වීමට තීරණය කිරීම ලංකාවේ නූතන බෞද්ධ ඉතිහාසයේ වැදගත් තීරණයක් ක්‍රියාවට නැංවීමට තුඩුදුන් බැව් තීරණය විය.

මේ කර්තව්‍යය පිළිබඳ වැඩි දුර සාකච්ඡා කිරීම උදෙසා මූලික රැස්වීමක් 1919 ඔක්තෝබර් 18 වන දින කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පවත්වන ලදී. එහි මුලසුන දරන ලද්දේ එවකට මධ්‍ය තරුණ බෞද්ධ සමිතියේ සාමාන්‍ය ලේකම් ධුරය හෙබවු දොස්තර සී .ඒ හේවාවිතාරණ මහතායි. එම රැස්වීමට තරුණ බෞද්ධ සමිති අටක හා තවත් සමිති දෙකක නියෝජිතවරු සහභාගි වූහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පුරෝගාමීන් ලෙස හැඳින්විය හැකි පිරිසක් රැස්ව කතිකාවතකට පත්වූ එම රැස්වීම අවසානයේ පහත සඳහන් යෝජනා වන සමස්ත ලංකා තරුණ බෞද්ධ සමිති සම්මේලනය නමින් සංවිධානයක් පිහිටු විය යුතුයි. එහි පළමු වන සම්මේලනය 1919 දෙසැම්බර් 20 සහ 21 වන දිනවල කොළඹදී පැවැත්විය යුතුයි. එම සම්මේලනයේ සංවිධායක ලේකම්වරුන් වශයෙන් අමදෝරිස් මැන්දිස්, එච්.ගුණරත්න. ටී.වී. පෙරේරා සහ ඩබ්ලිව්. බී.රොඩ්රිගෝ යන අය ක්‍රියාකල යුතු බවට ද තීරණයකට එළඹිණි.

ඒ අනුව 1919 දෙසැම්බර් 20 වන දින උදෑසන අටට සුබ මොහොතින් කොළඹ ආනන්ද මහ විදුහලේ දී පළමු වන සම්මේලනය ආරම්භ විය. එම ඓතිහාසික රැස්වීමේ මුලසුන හොබවන ලද්දේ ඩී.බී. ජයතිලක මහතාය. එම සුවිශේෂී දිනය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආරම්භක දිනය වන අතර එය බුද්ධ ශාසනයේ අනාගතයට බෙහෙවින් බලපානු ලබන සම්මේලනයක් බවට ඩී.බී ජයතිලක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මේ සඳහා ව්‍යවස්ථා කෙටුම්පත 1919 නොවැම්බර් 19 වැනි දින සම්මත කර ගත් අතර මෙහි ආදි කර්තෘවරුන් වශයෙන් සමිති නියෝජිතයන් 31 දෙනා සහ එවකට මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පති වූ. පී. ද . ඇස් කුලරත්න, කොළඹ ප්‍රකට ව්‍යාපාරික බෞද්ධ නායකයෙකු වු මාටිනස් සී. පෙරේරා, අමදෝරිස් මැන්ඩිස් මහතා සහ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක , එවකට තරුණ නීතිවේදියෙකු වු එන්.ඊ. වීරසූරිය , සී.ඒ.හේවාවිතාරණ සහ හෙරඩ් ගුණරත්න යන මහත්වරුන්ගේ නාමයන් බෞද්ධ සම්මේලන ඉතිහාසයට එක්ව ඇත. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම ලේකම්වරුන් වශයෙන් පී .ද ඇස් කුලරත්න සහ ඇන් ඊ. වීරසූරිය යන දෙපළ පත් කරන ලදී. දෙදිනක් පුරා පැවති ප්‍රථම සම්මේලනයේ සමාරම්භක උත්සවයේ පළමු දින අවසානයේ අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ නාහිමිපාණන් විසින් ධර්ම දේශනාවක් ද ඉන් අනතුරුව ගිහි පැවිදි දෙපාර්ශ්වයේම බුද්ධිමතුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පැවැත්විණි. එම ධර්ම සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ දොස්තර කැසියස් පෙරේරා මහතා විසිනි.

එදා මෙදා තුළ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය රටේ ආගමික සහ සාමාජීය කටයුතු වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන අතර වාර්තමානයේ ප්‍රනීත් අබේසුන්දර මැතිතුමාගේ සභාපතිත්වය යටතේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සම්මේලනයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා විවිධ මණ්ඩල පිහිටුවා පහත පරිදි ක්‍රියාත්මක වේ.

ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ මණ්ඩලය

සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු සංවිධානය කිරීම, වැඩිදියුණු කිරීම, ඒකාබද්ධ කිරීම ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ කාර්යයෝ වෙති. එසේම සෑම පොහෝ දිනකම සීල සමාධි වැඩසටහන ක්‍රියාත්මක කිරීමද මෙහි කාර්යය වේ.

ජාතික සමාජ සේවා මණ්ඩලය

සම්මේලනයේ සමාජසේවා කටයුතු ඒකාබද්ධ කිරීම ,සැලසුම් කිරීම හා නියම කිරීම සහ විධායක මණ්ඩලය විසින් අනුමත කරන සමාජසේවා ආයතන සඳහා වන අවශ්‍යතා සපුරා ලීම මෙම මණ්ඩලය මගින් සිදු කරනු ලබයි.

ජාතික ළමාරක්ෂක මණ්ඩලය

සම්මේලනයේ ළමාරක්ෂක කටයුතු ඒකාබද්ධ කිරීම, සැලසුම් කිරීම හා නියම කිරීම, විධායක මණ්ඩලය විසින් අනුමත කරන ළමාරක්ෂක ආයතන සඳහා වන අවශ්‍යතා සපුරාලීම මෙම මණ්ඩලය මගින් සිදු කරනු ලබයි.

ජාතික අධ්‍යාපන මණ්ඩලය

අධ්‍යාපන කටයුතු ඒකාබද්ධ කිරීම, සැලසුම් කිරීම හා නිර්දේශ කිරීමද ජාතික අධ්‍යාපන පටිපාටින් බෞද්ධයන් කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ විමසිලිමත්වීම හා බෞද්ධයන්ට හෝ අප සංස්කෘතියට අහිතකර අධ්‍යාපන කටයුතුවලට විරුද්ධව ක්‍රියා කිරීම ද විධායක සමණ්ඩලය විසින් අවශ්‍යයැයි සලකනු ලබන අධ්‍යාපනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කටයුතු කිරීමද ජාතික අධ්‍යාපන මණ්ඩලයේ කාර්යයෝ වෙති.

ජාතික සංවර්ධන මණ්ඩලය

බෞද්ධයන් කෘෂිකාර්මික , කාර්මික සහ වාණිජ කටයුතුවල යොදවා ඔවුන්ට ඒ පිළිබඳ පුහුණුවක් ලබාදීම ද ඔවුන්ගේ ආර්ථික තත්වය නගාසිටුවීම ද රටේ සංවර්ධන කටයුතු කෙරහෙි ඔවුන් දිරිගැන්වීම ද නිවාස අනුබද්ධ ඉඩම් හැර සම්මේලනය සතු ඉඩම් වගා කොට එම ඉඩම්වලින් එසේ ප්‍රයෝජන ලබා ගැනීම ද පුහුණු කරන මධ්‍යස්ථාන ආදිය පිහිටුවා පවත්වාගෙන යෑම ජාතික මණ්ඩලයේ කාර්යභාරය වේ.

ජාතික තරුණ මණ්ඩලය

බෞද්ධ තරුණ තරුණියන්ගේ ආගමික හා ජාතික නායකත්වය සඳහා පුහුණු කිරීමද, ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා හා විනෝදාංශ ලබා දී ඔවුන් නිරෝගී පරපුරක් කිරීමද ඔවුන්ට ද හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මෙම මණ්ඩලය මගින් සිදු කරනු ලබයි.

සාමාජික සමිති සංවර්ධන පිළිබඳ ජාතික මණ්ඩලය

සම්මේලනයේ සාමාජිකත්වය දරන සියලුම සමිති සමාගම් වැඩිදියුණු කිරීම, මෙහෙයවීම, සාමාජිකත්වය වැඩිකර ගැනීම, සාමාජිකයින් ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා යොමුකිරීම, අවශ්‍ය වුවහොත් කෘත්‍යාධිකාරි හා මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ව්‍යවස්ථාවන් සකස් කිරීම මෙම මණ්ඩලයේ වගකීම වේ.

ප්‍රචාරක කටයුතු පිළිබඳ මණ්ඩලය

සම්මේලනයේ පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සියලුම ප්‍රකාශයන් ප්‍රචාරණය කිරීම, සම්මේලනයේ අනුබද්ධ ආයතන පිළිබඳ ප්‍රචාරණයක් ලබා දීම සහ බෞද්ධාලෝකය සඟරාව පවත්වාගෙන යාම ආදී කාර්යයන් මෙම මණ්ඩලය මගින් සිදු කරනු ලබයි.

ජාතික බෞද්ධ කටයුතු පිළිබඳ ජාතික විමර්ශන මණ්ඩලය

බොදු අයිතිවාසිකම්වලට පටහැනිව නැගී එන බලවේග උප සංස්කෘතික දියුණුවට බාධා වන සුලු හා පටහැනි යැයි ද පිළිබඳව විමසිලිමත්වීමද එවැනි කටයුතු නවතාලීම හා ඒවාට එරෙහිව ක්‍රියා කර මෙම මණ්ඩලයේ අරමුණ වේ.

ජාත්‍යන්තර මණ්ඩලය

අන්තර්ජාතික වශයෙන් බෞද්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම, මෙහෙයවීම, අධීක්ෂණය කොට සංවිධානය කිරීමත් ඒ උදෙසා මූල්‍ය කටයුතු හා අන් සියල්ල සම්පාදනය කර ගැනීමත් මෙම මණ්ඩලය මගින් සිදු කරනු ලබයි.

වැඩිහිටි නිවාස

රට ජාතිය හා ආගම වෙනුවෙන් දිගු කලක් සේවය කොට වයෝවෘද්ධභාවයට පත්වන අසරණවූවන් තම ජීවිතයේ අවසාන භාගය සැනසිල්ලේ ගත කිරීමට හැකි නිවාස කිහිපයක් සම්මේලනයෙන් පාලනය කෙරේ.

1.බද්දේගම වයෝවෘද්ධ භික්ෂු විවේකාරාමය

2.රත්නපුර සී. සමරතුංග වැඩිහිටි නිවාසය

3.මාලඹේ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය

4. දොම්පේ බණ්ඩාරනායක අනුස්මරණ වැඩිහිටි නිවාසය

5.මල්වල ඇස්.ඩී.ඇලන් ප්‍රනාන්දු වැඩිහිටි නිවාසය

6.බදුරලිය ප්‍රැන්සිස් වනිගසේකර වැඩිහිටි නිවාසය

7.මාකදුර අමරසේකර වැඩිහිටි නිවාසය

ළමා නිවාස

1. බලපිටිය අනුලා විජේරාම ළමා නිවාසය

2. කෑගල්ල බුද්ධ ජයන්ති ළමා නිවාසය

3. කොළඹ 8 මෛත්‍රි ළමා නිවාසය

4. පානදුර විජේවර්ධන බාලිකා නිවාසය

5. පොල්ගහවෙල කිරිමුදියන්සේ මාන්නප්පෙරුම අනුස්මරණ පිරිමි ළමා නිවාසය

6. හික්කඩුව පතන බරණසූරිය ළමා නිවාසය

ගමයි පන්සලයි ව්‍යාපෘතිය

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය ආර්ථික මෙන්ම ගුණ දහමින් පෝෂිත සමාජයක් ඇති කිරීම අරමුණුකොට ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියක් මගින් දුෂ්කර ප්‍රදේශවල පන්සල්, දහම්පාසල් නගා සිටුවීම සඳහා කටයුතු කිරීම, දහම් පාසල් ගුරුභවතුන් පුහුණු කිරීම, ජනතාව ගුණ දහමින් පෝෂණය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදි කටයුතු සිදුකරනු ලබයි. වර්තමානයේදී වැලිඔය මොනරවැව මයුරවාපී විහාරස්ථානයේ ධර්මශාලාව ඉදිකිරීම, කල්‍යාණපුර ප්‍රදේශයේ නිවැසියන්ට වැසිකිලි පහසුකම් ලබා දීම සහ ළදරුපාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන අතර මේ වසරේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිඔය නාගස්තැන්න ගම්මානයද අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයේද ගමයි පන්සලයි වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

 

 දුරුතු පුර අටවක පෝය

 දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග 05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]