UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවන් දැකීමට නම් 02 සසර දුක නිවාලමු

නිවන් දැකීමට නම් 02

සසර දුක නිවාලමු

මේ දක්වා කරලා නැති අකුශල් ඉදිරියේදීත් නො කර සිටීමට උත්සාහ ගැනීමත්, මේ දක්වා යම් යම් අකුශල කර්ම තමා අතින් සිදුවුණා නම්, ඒ අකුශල් මීට පසු නොකර සිටීමටත් උත්සාහ ගැනීම අකුශල පැත්තෙන් දේශනා කර ඇති කොටස් දෙක, මේ දක්වා තමා විසින් කර නැති කුසල් දියුණුූ කර ගැනීමට උත්සාහවත් වීමත්, මේ දක්වා තමා විසින් කර ඇති කුසල් තව දුරටත් වැඩියෙන් වැඩියෙන් කිරීමටත් උත්සාහ ගැනීමත් කුසල පැත්තෙන් දැක්වෙන කරුණු දෙකයි.

භාවනාවට අදාළ වන හැටියට නූපන් කුශල ධර්ම තේරුම් අරගෙන ඒවා දියුණු කිරීමට උත්සාහ ගත යුතුයි. මේ දක්වා තමාගේ සිත තුළ සිත එකඟ කර ගන්නට නො හැකි නම් එය නූපන් කුශල ධර්මයක්. තමාගේ සිතේ සමාහිත බවක් නැත්නම්, සිතේ සමාධිය වැඩි නැත්නම්, රූපාවචාර පළමුවෙනි ධ්‍යානයවත් මේ දක්වා ඇතිවී නැත්නම් ඒවා නූපන් කුශල ධර්ම, ධ්‍යාන සිතක් උපදවාගෙන ඇති කෙනකුට එයින් එහාට ඇති ධ්‍යාන සිත් නූපන් කුශල ධර්ම, අඩු වශයෙන් සිතේ එකඟ බවත් ඇති කර ගැනීමට භාවනාව මුල සිට පුරුදු කරන අය උත්සාහ ගත යුතු වනවා.

විදර්ශනා පැත්තෙන් බලන විට මේ දක්වා තමාගේ සිත තුළ ඇති නොවූ ධර්ම රාශියක්ම තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, මාර්ග සත්‍ය ගැන නිවන් දැකීමට සුදුසු මට්ටමේ අවබෝධයක් බොහෝ දෙනෙකුට නැහැ. බොහෝ දෙනෙක් සසරේ ගමන් කිරීමට අවශ්‍ය දේවල්ම නිරතවනවා විනා සසරින් මිදීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති පූරණය කිරීමට කටයුතු නොකරන්නේ දුක්ඛ සත්‍යය ගැන නිසි අවබෝධයක් නැති නිසා . “මහණෙනි, ඔබලා සසරේ විඳින ලද දුක දන්නවා නම් ඔබලාගේ ඇඳගෙන සිටින රෙදි ගිනි ගත්තත් ඒ ගිනි නිවන්නට නොවෙයි ඔබලා උත්සාහ ගන්නේ. අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමටයි”. කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ දක්වා සසර පුරා කොච්චර නම් දුකක් විඳලා තිබෙනවද, සතර අපායන්ට වැටි කොච්චර නම් දරුණු දුක් වින්දද, සෝවාන්වත් නො වුණොත් කොච්චර නම් කාලයක් සසරේ ඉදිරියේ දීත් දුක් විඳින්නට සිදුවෙයිද කියලා තරමක හෝ හැඟීමක් ඇතිකර ගන්නට උත්සාහවත් වන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ වදාළා මනුෂ්‍යයකුට මැරුණාට පස්සේ සුගතියක උපදින්නට ලැබෙන්නේ නියපොත්තක් උඩට ගත් පස් ටිකක් වගේ සුළු දෙනකුට පමණයි. පොළවේ පස් තරම් වාගේ බොහෝ දෙනෙක් උපදින්නේ දුගතිවල කියලා. කොච්චර නම් අවදානම් තත්ත්වයකද ඔබ සිටින්නේ කියලා තේරුම් ගන්න.

දුක්ඛ සමුදය සත්‍යය (නැවත නැවත ඉපදෙමින් සසර දුක් විඳින හේතුව) එදිනෙදා ජීවිතයේදි ක්‍රියාත්මක වන හැටිත්, සසර දුක නැතිවී නිවන් ලැබෙන මාර්ගය වූ දුක්ඛ නිරෝධගාමිණි පටිපදාර්ථ සත්‍යයත් තේරුම් ගැනීමටද උත්සාහ ගන්න.පොත්වල මේ පිළිබඳව තිබෙන කරුණු කියවා මතක තබා ගත් පමණින් මේවා අවබෝධ කර ගත්තා කියා රැවටෙන්නට එපා.

රූප –වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පංචස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වරූපය තමා විසින්ම අවබෝධ කර ගත යුතු වනවා. පංචස්කන්ධය නිරන්තරයෙන්ම වෙනස් වන අනිත්‍ය දෙයක් බවත්, පංචස්කන්ධය පවතින තාක් කල් ඒ තුළින් දුකක්ම ඇතිවන බව හා පංචස්කන්ධයම දුක්ඛ සත්‍යයක් මෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් වන බවත්, ඒවා තමාට ඕනෑ විධියට පවතින්නේ නැති හේතුඵල ක්‍රියාදාමයක් විනා ඒවා තමාගේ හෝ තමාගේ ආත්මයක් නොවන බවත් තමන් විසින්ම අවබෝධ කර ගත යුතුයි. වෙනත් කෙනකු කියන දෙයක් අසාගෙන සිටි පමණින් හෝ ඒ ගැන සිත සිතා සිටි පමණින් නිවන් දැකීමට ලැබෙන්නේ වහ වහා නිවන් දැකීමට හැකි වන සේ පාරමී පුරා ඇති කෙනකුට පමණක් බවත් තේරුම් අරගෙන ඒ කරුණු තමා විසින්ම තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වනවා.

පංචස්කන්ධ පැවතීම කෙරෙහි කලකිරීමක් (නිබ්බිදාවක්) ඒවා කෙරෙහි නො ඇල්මක් (විරාගයක්) ඇති වී පංචස්කන්ධ ධර්ම සිතින් ගිලිහී යාම (නිරෝධය) ප්‍රත්‍යක්ෂ ලෙස භාවනාවෙන් අත්දැක ඒවා සම්පූර්ණයෙන්ම සිතින් අතහැරීයාමෙන් (පටිනිස්සග්ගයෙන්) කෙනෙකුට නිවන මේ ජීවිතයේදීම වුවත් අත්දකින්නට පුළුවන්.

පංචස්කන්ධ ධර්ම වශයෙන් එසේ බැලීමට නො හැකි කෙනකුට ඒවා නාමරූප ලෙසින් හරි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ , විඥාන ධාතු වශයෙන් හරි ඇස, කන, නාසය, දිව, ශරීරය ,මනස කියන ආයතන (චක්ඛායතන ආදි) වශයෙන් හරි, බලන්නට පුළුවන්. තවත් බැලිය හැකි වෙනත් ආකාරත් තිබෙනවා.

සම්මා සති – බොහෝ විට බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සතිය විස්තර කර ඇත්තේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන සතර සතිපට්ඨාන ධර්මයන් වශයෙනි. සම්මා සතිය දියුණු කර ගැනීම, සම්මා සමාධිය දියුණු කර ගැනීමටත් ඉතාමත්ම අවශ්‍ය වනවා. සම්මා සමාධිය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සම්මා දිට්ඨිය තුළින් දැකිය යුතු පංචස්කන්ධය ආදි ධර්මයන්ගේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගන්නට. සම්මා දිට්ඨිය තුළිනුයි නිවන් දැකිය හැක්කේ. සම්මා සමාධියෙන් ලැබිය යුතු අනුබලය සම්මා දිට්ඨියට ලැබෙන්නට ඕනෑ අනිවාර්යයෙන්ම නිවන් දැකීමට නම්.

සතර සතිපට්ඨානය ධර්මයන් දියුණු කිරීමට පෙර සම්මා සතිය දියුණු කර ගැනීම සඳහා, පහසුවෙන් සිත එකඟ කර ගැනීමට හැකිවනු පිණිස ඒ ඒ පුද්ගලයාට සුදුසු ගැළපෙන පරිකර්ම වචනයක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කිරීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වනවා. සෑම දෙනාටම වාගේ ගැළපෙන පරිකර්ම වචනයක් තමයි තායිලන්තයේ බොහෝ භාවනා මධ්‍යස්ථානවල ප්‍රගුණ කරනු ලබන “බුද්ධෝ’ කියන වචනය . මෙය බුදුගුණ භාවනාවක් නො වෙයි.

එදිනෙදා ජීවිතයේදී කායික ක්‍රියා කරන විට “බුද්ධෝ – බුද්ධෝ – බුද්ධෝ කියා සිහිකරමින් ඒ ක්‍රියාවන් සිදුකරන්නට පුළුවන්. ලෝභ,දෝෂ ආදි නොයෙකුත් දේවල් සිත සිතා ඒ කායික ක්‍රියා මෙතෙක් කල් කරමින් සිටියත්, මේ අයට පුළුවන් එලෙසින් එදිනෙදා ජීවිතයේදී කායික ක්‍රියා කරන විට “බුද්ධෝ – බුද්ධෝ– බුද්ධෝ කියා සිහි කරමින් ඒ ක්‍රියාවන් කරන්නට. ඒ වගේම එදිනෙදා ජීවිතයේදි තරහ සිතක් ඇතිවන විටම තරහක් තරහක් තරහක්, කියා සිහිකර, ඒ එක්කම බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියා වැඩි වේලාවක් සිහිපත් කළ විට ඒ ඇතිවූ පාපකාරි තරහව නැති කර ගෙන සිත කෙලෙස්වලින් මුදා ගෙන සිටින්නට පුළුවන්. මේ වගේම රාගයක්,ඊර්ෂ්‍යාවක් , දැඩිලෝභයක්, අමනාපයක්, නුරුස්නා ගතියක්, නොසතුටක් වැනි කවර ආකාර හෝ අකුශල් විතරක් ඇතිවූ විට රාගයක්,රාගයක්, රාගයක්, ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් දැඩි ලෝභයක්, දැඩි ලෝභයක්, දැඩි ලෝභයක් කියා සිහි කර , බුද්ධෝ කියන වචනය හැකි තරම් වේලාවක් සිහි කළහොත්, මේ අයට හැකියාව ලැබෙනවා කෙලෙස් වලින් සිත මුදාගෙන පිරිසුදු සිතක් ඇතිව සැනසිලිදායක ලෙසින් ජීවිතය පවත්වා ගෙන යන්නට, මෙහිදී සිදුවන්නේ අකුශල විතර්ක කුශල විතර්ක තුළින් මැඬ ගැනීමක්.

දවසේ වැඩි කාලයක් මෙලෙසින් කටයුතු කරන විට, සතිය දියුණුූ කර ගන්නටත්, එම නිසාම සිත එකඟ කරගෙන සිතේ සමාහිත භාවයක් ඇතිකර ගැනීමටත් බොහෝ දෙනෙකුට හැකිකම තිබෙනවා. සමහර අයට පමණක් සිතේ සමාධිය ඇති කර ගන්නට පුළුවන්. තීක්ෂණ ප්‍රඥාවත් ඇති කෙනකුට බුද්ධෝ කියන වචනයේ අර්ථය හදවත තුළින් මතුවී මතුවී එමින්, බුදුරජාණන් වහන්සේ කුමන කුමන ධර්ම තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන කොයි කොයි ආකාර වලින් ඒ ධර්ම ලෝක සත්ත්වයාට අවබෝධ කර දුන්නා ද ආදි කරුණු තමාගේ හදවත තුළින්ම ගැඹුරින් අවබෝධ වෙමින් විදර්ශනා භාවනාව පැත්තට නිරායාශයෙන්ම ම හැරෙන අයුරු අත්දකින්නට පුළුවන්. නිවන අත්දැකීමටත් එය හේතුවෙනවා.

සම්මා සමාධිය – සම්මා සමාධිය කියන්නේ සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් උපදවා ගත් රූපාවචාර පළමුවෙනි, දෙවැනි, තුන්වැනි සහ හතරවන ධ්‍යානවලට අරූපාවචර ධ්‍යාන හතරත් සම්මා සමාධියටමයි ඇතුළත් වන්නේ, ධ්‍යාන සිතක් උපදවාගන්නට භාවනා කළ යුතුමයි. අද කාලෙත් ධ්‍යාන ලාභීන් සිටින බව අවබෝධ කරගෙන සම්මා සමාධිය ඇති කර ගැනීමට උත්සාහවත් විය යුතුයි.

ඒ සඳහා තමන්ට පහසුවෙන් කළ හැකි, ඒ වගේම පහසුවෙන් සිත එකඟ කර ගත හැකි භාවනා අරමුණක් තෝරාගෙන කිරීමයි වඩා සුදුසු. පළපුරුදු කර්මස්ථානාචාර්යවරයෙකුට මෙය තරමක් හෝ නිවැරැදි අයුරින් තීරණය කළ හැකි විය හැකි වුණත්, එවැනි කෙනෙකු සොයා ගැනීමට තමන්ට නො හැකි නම්, භාවානා කිරිමට ප්‍රථමයෙන් බොහෝ දෙනකු විසින් කරනු ලබන බුදුගුණ ,මෛත්‍රි,අසුභ, මරණ කියන චතුරාරක්ඛ භාවනා එකිනෙක කර, ඒ අතුරෙන් වඩා පහසුවෙන් තමන්ට කළ හැකි භාවනා ක්‍රමය වැඩි වේලාවක් ප්‍රගුණ කරන්නට පුළුවන්.

භාවනා කරන විට, හරි අත්දැකීමක් නොලබාම සම්මා සමාධිය යැයි මිච්ඡා සමාධියකට මුළා විය හැකි අවස්ථා ඇති බැවින් එවැනි අවස්ථාවලදි සුදුසු කෙනකුගෙන් උපදෙස් ලබාගැනීම කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රතිවිරුද්ධ කරුණු අටට ප්‍රකාශ කර ඇත්තේ අට්ඨ මිච්ඡත්ත කියලයි. ඒ කියන්නෙ සම්මා දිට්ඨිය නොවෙයි, මිච්ඡා දිට්ඨිය, සම්මා සංකප්ප නොවෙයි, මිච්ඡා සංකප්ප, මේ ආදි වශයෙන් දැක්වෙන නිවැරැදි මාර්ගයට ප්‍රතිවිරුද්ධ අංග අටට.

මතු සම්බන්ධයි


පසුගිය සතියෙන් - නිවන් දැකීමට නම්

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]