UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආත්ම දමනය ඇතිකර ගැනීම

ආත්ම දමනය ඇතිකර ගැනීම

කාම සම්පත් භුක්තිවිඳීමේ ආශාව මිනිසාගේ මෙන්ම තිරිසන් සතුන් තුළ ද සහජයෙන්ම පිහිටා තිබෙන ගතියකි. මෙම ආශාව සන්තර්පනය කරගන්නා ආකාරය අනුව මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙනස් වෙයි. කාමය යනුවෙන් හැඳින්වෙන වචනයෙන් පංචකාම ලෝකයාට අයත් සියල්ල අදහස් වේ. මිනිසාගේ ලිංගික ආශාවද කාමයේ එක්තරා අංගයකි.

එහෙත් එය සෙසු කාමයන්ට වඩා අතිශය බලවත්ය. ස්ත්‍රී ශරීරය තුළ පංච කාමයම පවතින බව බුදුරදුන් පෙන්වා දුන්නේ මෙම ප්‍රබල බව නිසයි. බුදුදහමට අනුව ලිංගික ආශ්වාදය ලැබීම පාපයක් ලෙස නොදක්වයි. ආධ්‍යාත්මික විමුක්තිය පිණිස සාකල්‍යයෙන්ම බඹසර හැසිරෙන භික්ෂු, භික්ෂුණී දෙපාර්ශ්වයට ලිංගික චර්යා මුළුමනින්ම තහනම් වේ. කාමාස්වාදය විමුක්තිය සාක්ෂාත් කිරීමට බලවත් බාධකයකි. එබැවින් විමුක්තිය අපේක්ෂා කරන්නන් පිරිසුදු බ්‍රහ්මචරිය ජීවිතයක් ගත කිරීම අනිවාර්ය වේ. ගිහි පිරිස ලෞකික ජීවිතයක් වෙනුවෙන් කැප වී සිටි. නිර්වාණය ඔවුනගේ දීර්ඝකාලීන බලාපොරොත්තුවකි. එබැවින් අඹුදරුවන් පෝෂණයට කාමභෝගී ජීවිතයක් ඔවුන්ට අවශ්‍ය වේ. එම ලෞකික ජීවිතය අර්ථවත් කරන සදාචාර ප්‍රතිපත්තියක් බුදුරදුන් විසින් හඳුන්වා දී තිබේ. සහජ අවශ්‍යතාවක් වන ලිංගික ආශාව සන්තර්පනය කරගැනීමේ දී එය නීතිය යුක්තිය හා සමාජ සදාචාරය යටතේ සිදුවිය යුතුයැයි බුදුසමයෙන් පෙන්වා දෙයි. ශීලය, විනය හා සදාචාරය අවශ්‍ය වන්නේ මිනිසාටය. මිනිසා සතුන්ගෙන් වෙනස් වන්නේ ශීලාචාර හැසිරීමෙන්ය. එහෙත් ඇතැම් විට දින පතා වාර්තාවන කාම අපරාධ දෙස බලන විට පැහැදිලි වන්නේ වර්තමාන මිනිසා තිරිසන් සතුන්ටත් වඩා පහතට වැටී තිබෙන බවයි.

දසක ගණනාවකට පුද්ගලයන් කාමය පිළිබඳ අත්දැකීම් ලබාගත්තේ පරිණත බවට පත්වීමත් සමඟය. එහෙත් වර්තමානයේ විශේෂයෙන්ම කලාතුරකින් ඇතැම් පාසල් දරුවන් පවා කාමාතුරයන් බවට පත්වී තිබේ. මෙතෙක් නො ඇසූ විරූ ලිංගික අපරාධ දකින්නට අසන්නට ලැබේ. ඇතැම් සිදුවීම් මිනිස්කමට නිගාවකි. ප්‍රධාන ආගම් තුනකින් පෝෂණය වන ලංකාවේ සමාජය මෙතරම් පිරිහුණේ කෙසේද? යන්න විමසා බැලිය යුතුයි. කාම අපරාධ කෙරෙහි බලපාන හේතු විවිධය. ඇතැම් හේතු සමාජ විද්‍යාත්මකය. ඇතැම් ඒවා මනෝවිද්‍යාත්මකය. සහජ ආශාවන් නිසි වයසට පෙර උත්තේජනය කිරීමෙන් සිදුවන්නේ අයහපතක් මිස යහපතක් නොවේ. නීතිය හා සදාචාරය පිළිබඳ මනා අවබෝධයක් තිබෙන පුද්ගලයාට යම් පමණක ආත්ම දමනයක් තිබේ. එහෙත් පරිණත නොවන පාසල් දරුවන්ට හා තරුණ තරුණියන්ට එම හැඟීම් පාලනය කරගැනීමේ ආත්ම දමනය ඉතාමත් අඩුය. අනෙක් අතට පෙරටත් වඩා තාක්ෂණය දියුණු හෙයින් ඉතා කඩිනමින් දරුවන් වැඩිහිටියන් බවට පත්වෙමින් තිබේ. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් වැඩීවීමත් ජංගම දුරකථන භාවිතය ඉහළයාමත් හේතුවෙන් ගැටවර වයසේ සිටින දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ පවා හැඟීම් අනවශ්‍ය පරිදි උත්තේජනය කරනු ලැබේ. අන්තර්ජාලයේ තිබෙන විවිධ සමාජ වෙබ් අඩවිය මඟින් මෙම කාර්ය ඉතා කඩිනමින් සිදු කෙරේ. මෙම පසුබිම යටතේ වයසට වඩා කාමීය අදහස්වලින් පරිණත දරුවන් මෙන්ම තරුණ තරුණියන් කාම අපරාධ සඳහා යොමුවීමේ ප්‍රවණතාව දිනෙන් දින වර්ධනයවෙමින් පවතී. වයසට නොගැළපෙන තාක්ෂණික මෙවලම් මෙන්ම පවිටු මිතුරන් ඇසුරද මේ කෙරෙහි බලපා තිබේ. අන්තර්ජාලය විසින් මුදාහරිනු ලබන විවිධ අසභ්‍ය දෑ බලන ඇතැම් පාසල් දරුවන් තමන්ගේ ජීවිතය අඳුරුකරගෙන තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීමේ වැඩ පිළිවෙළක් රාජ්‍ය මට්ටමෙන් මෙන්ම පෞද්ගලික මට්ටමෙන්ද ක්‍රියාත්මක කළයුතුවේ. දෙමාපියන්ට හා ගුරුවරුන්ට මේ සම්බන්ධයෙන් පැවැරෙන වගකීම විශාලය. පාසල් දරුවන් වැඩි වේලාවක් ගත කරන්නේ මෙම දෙපිරිස සමඟය. එබැවින් දෙමාපියන් හා ගුරුවරුන්ට මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබිය යුතු යි.

නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක්ම මෙම තත්ත්වය පාලනය කළ නොහැකිය. එයට අමතරව දරුවන් මෙන්ම තරුණ පිරිස දහමට යොමුකොට අවබෝධයක් ලබාදීමෙන් මෙම අපරාධ යම් පමණකට පාලනය කළ හැකිවේ. කාමයේ ආදීනව බුදුරදුන් විසින් නොයෙක් අවස්ථාවල දේශනාකොට තිබේ. කාමයෙහි ආදීනව නැතැයි පිළිගත් අරිට්ඨ නම් භික්ෂුවගේ මතය බැහැර කිරීම බුදුරදුන් ගෙනහැර දැක්වූ කරුණු අලගද්දූපම සූත්‍රයේ දැක්වේ. එම සූත්‍රයේ විවරණය කෙරෙන පරිදි කාමය වනාහි ඇට කැබැල්ලක් බඳුය (අට්ඨිකංඛලූපමා) මස් ලේ නැති ඇට කැබැල්ලකින් කිසිදු රසයක් විඳිය නොහැකිය. එය බුදින සතෙකුට හෝ මිනිසෙකුට කුස පිරුමක් ද නැත. කාමය ආශ්වාදනය කරන්නාට කොතෙක් ලැබුණත් සෑහීමක් නොමැත. එසේම තෘප්තියක්ද නොමැත. තව තවත් අලුත් ආශ්වාදයන් සොයමින් වෙහෙසෙයි. මස් කුට්ටිය බහු සාධාරණය. මස් කුට්ටියක් ගත් පක්ෂියෙකු ගුවනේ පියාසර කරන විට සෙසු පක්ෂීන්ද එය ඩැහැගැනීමට සැරසෙනු ඇත. මේ හේතුවෙන් පක්ෂීන් අතර තරගයක් ගැටුමක් නිර්මාණය වෙයි. ඇතැම් විට එකිනෙකා කා කොටාගෙන මරණයට පත් වෙයි. එසේම එකම කාම වස්තුවට බොහෝ දෙනෙක් අයිතිවාසිකම් කියන හෙයින් එය අත්පත්කරගැනීමට යාමේදී විවිධ ගැටලු නිර්මාණය වේ. තවත් කෙනෙක් එය භුක්තිවිඳිනවා දකින්නට කැමති නැත. තමා සතු කරගැනීමේ අරගලය නිසා ජීවිත හා දේපළද විනාශ විය හැකිය. කාමය බහු සාධාරණ නිසා බුදුරදුන් එය මස්කුට්ටියක් හා සමකොට (මංසපෙසූපමා) ඇත. කාමය තණ හුලක් බදුය (තිණුක්කුපමා). තණ හුල ක්‍රමයෙන් දැවී අවසන්ව ඇතැම් විට අල්ලාගෙන සිටින්නාද පිලිස්සීමට ඉඩ තිබේ. කාමයත් එබඳුය. කාමාශ්වාදය දැවෙමින් අවසන් වන්නකි. කාමය අඟුරු වළක් බඳුය (අංගාරකාසුපමා) සමීපයට ද යා නොහැකිය. දැඩි ගින්න හේතුවෙන් දැවීමට තැවීමට ලක් වෙයි. කාමය ඇතුළතින් හා පිටතින් පුද්ගලයා දැවීමට හා තැවීමට පත් කරයි.කාමය සිහිනයක් බඳුය( සුපිනකුපමා) සැබැවක් නොවේ. සිහිනය මායාවකි. කාමයත් මායාවක් වේ. කාමය ඉල්ලාගත් දෙයක් හා සමානය( යාචිතුකුපමා). ඉල්ලා ගත් දෙය තාවකාලිකය. එය ආපසු දිය යුතු වේ. කාම ආශ්වාදයත් ඉල්ලාගත් දෙයක් සේ තාවකාලිකය. කාමය ගසක ගෙඩියක් බඳුය. (රුක්ඛඵලූපමා) කවර හෝ මොහොතක ගසෙන් ගිලිහී යනු ඇත. කාමයත් එබදුය එය කොතරම් මිහිරි ලෙස ආශ්වාදනය කළද එය අපෙන් ගිලිහී යනු ඇත. කාමය මස් කපන කොටයක් හා සමානය. (සතතිසූපමා) මස් කපන කොටය අධික ලෙස නැවත නැවතත් කැපීමට භාජනය වන්නේ ය. කාමයේ ආදීනව වශයෙන් පුද්ගලයා නැවත නැවතත් අනේකවිධ වද වේදනාවන්ට ලක්වන්නේ ය. කාමය අඩයටි තියුණු හුලක් බඳුය (අසිසූනුපමා) තියුණු හුලකින් පහරදුන් විට ශරීරය විනිවිදයන්නේ ය. එවැනි ආයුධයක් නිසා ඇතිවෙන කැපුම් තුවාල ජීවිතය වුව විනාශ කරයි. කාමයද එසේමයි. කාමාස්වාදය හේතුවෙන් මරණය වුව සිදුවීමේ අවස්ථා එමටය. කාමය තුළ නිරන්තරයෙන්ම පවතින්නේ සැකය හා බිය යන දෙකයි. කාම ආස්වාදයේ නිරත පුද්ගලයන් නිතරම සැකෙන් හා බියෙන් කාලය ගතකරනු ලැබේ. මෙනිසා බුදුරදුන් කාමය සර්ප හිසකට උපමා කර තිබේ. (සප්පසිරූපමා) සර්පයා කවර මොහොතක දෂ්ඨ කරන්නේද යන්න නිශ්චිතව කිව නොහැකිය. එබැවින් සර්පයකු දුටු විට සැකය හා බිය ඇතිවෙයි. කාමාස්වාදයද බිය හා සැකය මුල්කොට පවතී. බුදුරදුන්ගේ මෙම දේශනය පෙන්වාදෙන්නේ කාමය කොතරම් ප්‍රබලද යන්නයි. එසේම එය පුද්ගලයා දැඩි ලෙස පීඩාවට පත් කරයි. කාමය යම් ආශ්වාදයක් තිබේ. ඒ නිසාම පුද්ගලයා එයට ආසක්ත වේ. එයින් මුසපත් වී කමාතුරයෙකු බවට පත් වේ. බුදුරදුන් දේශනා කළේ කාමයේ සැබැවින්ම ඇත්තේ අල්ප ආශ්වාදයකි. (අප්පස්සාදා) නමුත් එහි දුක් ගොඩක් මෙන්ම ආදීනව ගොඩක් තිබේ. (බහුදුක්ඛා බහු ආදීනවා)

කාමාරාගයෙන් මත් වූ පුද්ගලයාට ආත්මාර්ථය පිළිබඳ, පරාර්ථය පිළිබඳ, උභයාර්ථය පිළිබඳ වැටහීමක් නැත. එම තැනැත්තා තමා ගැනවත් අන් අය ගැනවත් තමන් හා අන්අය යන දෙපක්ෂය ගැනම නොසලකා වැඩ කරයි. එකම අභිලාෂය වන්නේ හොඳින් හෝ නරකින් තම කාමාශාව සන්තර්පනය කරගැනීමයි. මෙනිසා නීතිය යුක්තිය හා සදාචාරය අමතකොට තිරිසන් සතුන් ලෙස හැසිරෙයි. ඇතැම් විට දරුණු ආකාරයේ කාම අපරාධ සිදුකර තම ආශාවන් සන්තර්පනය කරගනී. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටි අයත් මෙම කාමාතුරයන්ගේ ගොදුරු බවට පත් වී තිබෙන අයුරු එදිනෙදා සිදුවන කාම අපරාධවලින් පැහැදිලි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් අතර විවිධ සමාජ රෝග පැතිරෙමින් තිබේ. බුදුරදුන් ගිහි සමාජය සඳහා ඉදිරිපත් කළ පංචශීලයට අයත් තුන්වන ශික්ෂා පදයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ එවැනි උවදුරුවලින් වැළකීමට තිබෙන හොඳම පිළිවෙතයි. බුදුරදුන්ගේ ධර්මයට අනුව මරාන්තික සමාජ රෝග සඳහා හොඳම විසඳුම ලිංගික සදාචාරය පදනම්කරගත් තුන්වන ශික්ෂාපදය දිවිහිමියෙන් ආරක්ෂා කිරීමයි.

මානව සමාජය ලිංගික සදාචාරයෙන් පිරිහෙන විට ඇතිවෙන පරිවර්තනය චක්කවත්තිසීහනාද සූත්‍රයේ මැනවින් පැහැදිලි කරනවා. ක්‍රමයෙන් සමාජය පරිහානියට පත්වෙන විට දස කුසලය අතුරුදහන් වී ඒ වෙනුවට දස අකුසලය ඉස්මතු වී කුසලය යන නම පවා අතුරුදහන්වන්නට පටන්ගනී. දෙමාපියන්ට, ආගමික නායකයන්ට හා වැඩිහිටියන්ට ගරු නොකරන පුද්ගලයන් සමාජයේ පිළිගැනීමට ලක්වන්නේ ය. එම පරිහානිය යුගය වන විට මිනිස්සු මවය, සුළුමවය, නැන්දණිය, පවුලේ ඥාතීන්ය ආදි වශයෙන් සැලකීමක් නැතිව කුල කාන්තාවන්ගේ විලිබිය සිඳින තත්ත්වයට පත්ව, එළුවන්, බැටළුවන්, කුකුළන්, ඌරන්, බල්ලන් හා සිවලුන් ආදී තිරිසන් සතුන් මෙන් හැසිරෙන බව චක්කවත්තිසීහනාද සූත්‍රයේ දැක්වෙනවා. අප දැන් ළඟා වෙමින් තිබෙන්නේ සදාචාරයෙන් පිරිහුණු එවැනි යුගයකටය. මෙම අඳුරු යුගයෙන් අපට බේරීමට ඇති එකම මග බුදුරදුන් වදාළ ධර්ම මාර්ගය අනුගමනය කිරීමයි. ථෙරවාදී බුදුදහම පවතින මේ ලංකාද්වීපය තුළ තැනින් තැන සිදුවෙන කාම අපරාධ හා සදාචාර නොවන හැසිරීම් වළක්වා ශීලාචාර සමාජයක් නිර්මාණය කිරීමට බුදුරදුන්ගේ ශ්‍රාවකයන් වන ගිහි පැවිදි දෙපක්ෂයේම අවධානය යොමු විය යුතු අතර උන්වහන්සේ දේශනා කළ සදාචාර ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත්කොට එම පිළිවෙත් අනුගමනය කිරීමට පාසල් දරුවන් තරුණ තරුණියන් යොමුකිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]