UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සසුනේ සැබෑ උපාසකයෙකු වෙමු

සම්බුදු සසුනේ සැබෑ උපාසකයෙකු වෙමු

ශාන්තිනායක අමාමෑණි සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ නෛර්යානික සම්බුද්ධ ශාසනය නිසාවෙන් මේ ඝොරතර සංසාර දුකින් නික්මුණු සත්ත්ව ප්‍රජාව අතිමහත්ය. ඒ උතුම් සම්බුද්ධ ධර්මයේ පහස නොලැබුණේ නම් මානව සත්ත්වයා තිරශ්චීනයන් ලෙස හැසිරෙනු නොඅනුමානය. එමෙන්ම ශික්ෂිත සමාජයක සේයාවක්වත් නොලැබෙන්නේය.

උතුම් ශී‍්‍ර සද්ධර්මයේ ස්පර්ශය ලද භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස සම්බුද්ධ ශාසනය හොබවන ලදී. සම්බුදු සසුනක ඇති වටිනාකමේ සංකේතය ක්‍රියාවේ ප්‍රතිඵලයේ ප්‍රකාශිත ඒකකය වන්නේ සිවුවනක් පිරිසමය. ගිහිගෙය කාමභෝගි ජීවිතයක් ගතකරමින් ලෞකික ආශාවන් සන්තර්පනය කරන්නාවූ ගිහිපුද්ගලයා හටද, ගිහිගෙයින් නික්ම බ්‍රහ්මචාරි ජීවිතයකට එළඹ පිළිවෙත් මාර්ගයට පිළිපන්ව සැහැල්ලු ජීවිතයක අරුත හෙළිදරව් කරමින් පියාපත් බර පමණක් ඇති කුරුල්ලෙකු සේ සරල ජීවිතයක ප්‍රතිභාව ඉස්මතුකරමින් ලෝකෝත්තර සුව විඳීමට වෙර දරන්නාවු පැවිදි උතුමන්හටද ඒ උතුම් ශී‍්‍ර සදහමින් ඇත්තේ අනුපමේය වූ උපකාරයකි.

සිවුවනක් පිරිස අතුරින් උපාසක – උපාසිකා යන්න ඉතා විශේෂිත පිරිසකි. ඒ අනුව උපාසක ලෙස හඳුන්වනුයේ කවරහුද? උපාසක යන වචනයට අරුතක් එක් කරනුයේ කෙසේද? ඔහු කෙබඳු මනුෂ්‍ය ගුණ සම්භාරයක් දරන්නේද යන්න පිළිබඳව අංගුත්තර නිකායෙහි උපාසක වර්ගයේදී දේශනා කොට වදාළ උතුම් දේශනා තුළින් මනාව පැහැදිලි වන්නේය. තිසරණ සරණගතවන ගිහියෙකු පංචශීලය නම්වූ නිත්‍ය ශීලයෙන් කය – වචනය සංවරභාවයට පත්ව යහපත් උපාසකයකු ලෙස මෙලොව සැපවිඳිමින් පරලොව සුගති සංඛ්‍යාත සැප ලඟා කරගන්නා අයුරු භාග්‍යවතුන් වහන්සේ මහත් කරුණා පෙරදැරිව දේශනා කොට වදාළ සේක.

සාරජ්ජ සූත්‍රයට අනුව භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කොට වදාළේ උපාසකයකු දොම්නසට එසේ නොමැතිනම් අසතුටට අසහනයට පත්වන්නේ කවර කාරණා පහකින්ද යනුවෙනි. උපාසක තෙම ප්‍රාණඝාතය කරයි නම්, සොරකම් කරයි නම්, කාමමිථ්‍යාචාරයෙහි යෙදෙයිනම්, බොරු කියයි නම්, මද පමාදයට හේතු වූ රහමෙර පානය කරයිනම්, ඔහු නිරතුරුවම සොම්නසින් තොරව දොම්නසින් යුක්තව වාසය කරන්නේය.

එමෙන්ම උපාසකයකු විසාරද වන්නේ, තෘප්තිකර වන්නේ සොම්නස් බහුලව වාසය කරන්නේ කෙසේදැයි උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක. ප්‍රාණඝාතයෙන් වැළකුනේ වී නම්, සොකරම් නොකරයි නම්, කාමයෙන් වරදවා හැසිරීමෙන් වැළකුණේ නම්,බොරු නොකියයි නම්, රහමෙර පානයෙන් වැළකුණේ නම් , හෙතෙම විසාරද වූ අයෙකු යැයි යහපත් උපාසකයෙකු යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක.

එමෙන්ම විසාරද සූත්‍රයේදීද භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදළේ පස්පවින් යුක්ත පුද්ගලයා අවිසාරදව වාසය කරන බවත්, පස්කරුණකින් සංවර වූවෝ එම උපාසක තෙම විසාරදව වාසය කරන බවත්ය.

තෙවන සූත්‍ර දේශනාව වන නිරය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ පංචශීල ධර්මයෝ අනුගමනය නොකරන්නෝ නිරයට පතිතව අනන්ත අප්‍රමාණ දුක් විඳින බවත්, පංචශීල ධර්මයන් අනුගමනය කරමින් දිවිහිමියෙන් ආරක්ෂා කරන්නාවු උපාසකයෙකු ස්වර්ගයට පතිත වන අයුරුය.

පාසක වර්ගයට අයත් වන්නාවු ‘වෙර සූත්‍ර’ නම් සූත්‍ර දේශනාවේදී වෛර පලහ සහ භය පහනොකරන්නාවූ අයෙකු දුශ්ශීලයෙකු වන බවත්, එම දුශ්ශීලය, මරණින් මතු නිරයගාමීව අනන්ත දුක් විඳින බවත් පෙන්වා වදාළ සේක. මෙලෙස සමස්ත උපාසක වර්ගය තුළදීම දේශනාකොට වදාළේ උපාසකයකු ලෙස හඳුන්වනු ලබන්නේ නිත්‍ය පංචශීලය දිවිහිමියෙන් ආරක්ෂා කරන්නා වූ පුණ්‍යවන්තයකු බවයි. පංචශීලය ආරක්ෂා කරගනිමින් කය වචනය සංවරභාවයට පත්කර ගන්නා වූ පුද්ගලයකු තුළින් සමාජ විරෝධි, අවිචාරවත් අයහපත් ක්‍රියාවන් නොවන්නේය. ඒ අනුව සදාචාරාත්මක සමාජ සංස්ථාවක් ගොඩනඟා ගැනීමට මූලඵලකය ලෙස පංචශීලය පෙන්වා දීමේ සක්‍යතාවයක් ඇත්තේමය.

ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්ෂාපදය ආරක්ෂා කිරීමෙන් තමන් විසින්ම උපක්‍රම කිරීමෙන් හෝ අනුන් ලවා උපක්‍රම කරවීමෙන් හෝ සතුන් නොමැරීම, මූලිකවම සිදුවන්නේය. සත්ත්වයකු වීම, සත්ත්වයකු යන හැඟීම ඇති බව, මරණ චේතනාව ඇතිවීම, මරණයට උපක්‍රම යෙදීම, එම උපක්‍රමයෙන් සත්ත්වයා මරණයට පත්කිරීම යන පඤ්චාංග සම්පූර්ණ වීමෙන් පාණාතිපාතා වේරමණී සික පදය බිඳීයයි.

විවිධ උපක්‍රම යෙදීම තුළින් ප්‍රාණඝාතය කරන්නාවු පුද්ගලයෝ මරණින් මතු අට්ට නරකය, ඝාත නරකය, පසුඝාත නරකය, මාසපෙසි නරකය, සකුනී නරකය, ශක්තිලෝම නරකය,උසුලෝම නරකය යන නරකයන්හි අනන්ත අප්‍රමාණ දුක්විඳිති. මෙම නරකයන්හි විවිධ අයුරින් පීඩාවන්ට ලක්වන බවත්, සතුන් මරණයට පත්කළ ආකාරයටම එම නරකයන්හි නිරා දුක් විදීමට සිදුවන බවත් පැහැදිළි වේ.

දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වෙන්වූ උපාසක තෙම මෙලොව වශයෙන් හා පරලොව වශයෙන් මහත්වූ ආනිසංස ලබන්නේය. වන පිළිකාදී රෝග නොසෑදීම, රූපවත් වීම, අන් අයගේ ආදර ගෞරවයට පාත්‍රවීම, සිය පිරිසේ සමඟිය වර්ධනය වීම,අනුන්ගෙන් තමාට විපත් සිදුනොවීම, පිරිවර සම්පත් බහුලවීම, මහත් වූ දීර්ඝායුෂ සම්පත්තීන් ලැබීම යන ආනිසංස ධර්මයෝ ලැබෙන අතරම උතුම් නිවන සාක්ෂාත් කරණය උදෙසා හේතු කාරණා වන්නේය.

අයිතිකරු විසින් කැමැත්තෙන් නොදුන් අන්සතු වස්තුව සොර සිතින් ගැනීමෙන්, ගැන්වීමෙන් වැළැකීම අදින්නාදානා වේරමණී සික පදය ආරක්ෂා කරගැනීමයි. මෙම අදින්නාදානය සම්පූර්ණවීම උදෙසා අංග පහක් ඇත්තේය.

අනුන් සතුදේ සොරසිතින් නොගැනීමෙන් බොහෝ ධනයකට උරුමකම් කියයි. ස්ථිර වූ වස්තුව ලබයි. කැමති වස්තුව නොපමාව ලැබේ. සොර සතුරන්ගෙන් වස්තුව ආරක්ෂා වේ. ස්ථානයන්හි අධිපතිකම් ලැබේ’. නිවන් පිණිස උපකාරක වේ. තෙවන ශික්ෂාපදය සැලකූ කළ කාම සම්පත්තින්ගෙන් වෙන්ව වාසය කිරීම ප්‍රධාන අරුත වනවා සේම ප්‍රමුඛව අදහස් දෙකක් එතුළින් ගම්‍ය වේ.

මෙසේ වූ ළාමක හැසිරවීමෙන් වෙන්ව වාසය කිරීමෙන් සතුරන් නැතිවේ. සැමදෙනාගේ ආදරය ගෞරවය ලබන්නෙකු වේ. එමෙන්ම සැපසේ නින්ද යන අතර සුපිපි මලක් ලෙස සැපසේ පිබිදීමට හැකියාව ලැබේ. ද්වේශසහගත නොවුණු මෛත්‍රි සහගත වූ ජීවිතයක් ගතකරනු ලබයි. සැමට පි‍්‍රයශීලි වූ ප්‍රබෝධමත් මුහුණකින් යුක්තව වාසය කිරීමට හැකියාව ලැබේ. ස්ත්‍රී ධුර්ත ආදියෙහි යෙදෙන කාමභෝගි වූවෝ විපරීතග්ගි නරකයෙහි පැසෙමින් වාසය කරන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

ඉතාමත් දුෂ්කරව ආරක්ෂා කළ යුතු වන ශික්ෂාපදය සිව්වන ශික්ෂාපදය හෙවත් මුසාවාදයෙන් වැළකීමයි. කියන දේ අසත්‍ය නම් අනුන් රවටන අදහසින් යුක්ත නම් එය මුසාවාදයයි. කීමෙන් හෝ ලිවීමෙන් හෝ අත් පා ආදියෙන් සංඥා කිරීමෙන් බොරුව අනුනට ඇඟවීම, විහිළුවට හෝ කවටකමට හෝ බොරු කියයිද එයින් එම සිකපදය බිඳී යයි. බොරුකීමෙන් වෙන්වූ කළ නිවැරදි මිහිරි වචන ඇතිවේ. සමවූ පිරිසුදු මුතුවන් දත් ඇතිවේ. මුඛය දුගඳ නොවේ. ගොත ගැසීම් නොමැති වේ. සත්‍යාවබෝධයට හේතුවේ. මේ ආකාරයට එම ශික්ෂාපදය ආරක්ෂා කිරීමෙන් ආනිසංස ලබනවා සේම මුසා තෙපලන්නෝ පේත ලෝකයන්හිද, තිරකර නරකය විරගතග්ගි යන නරකයන්හි ඉපිද අධික දුක් අනුභව කරනු ලබන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

මදයට හා ප්‍රමාදයට හේතුවන මද්‍යපානයෙන් වැළැකීම සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී වේ. මද්‍යසාර පානය කිරීමට උත්සාහකිරීම, මද්‍යසාර ශරීරගතවීම යන කාරණා සම්පූර්ණවීමෙන් එම සිකපදය බිඳී යයි.

මෙලෙසම තිසරණගත පංචශීලය ආරක්ෂා කිරීම ඤාණ සම්ප්‍රයුක්ත වූ ක්‍රියාවකි. දුර්ලභ වූ සම්බුද්ධ ශාසනයකදීම ලබන්නට හැකිවන්නකි. සිල්පද කීම පමණක් නොව සිල්පද අවංකවම ආරක්ෂා කරගැනීම ඉතා දුෂ්කර වූවකි. පහන් වැටියත් තෙලුත් පිරිසිදු තරමට එයින් ලැබෙන ආලෝකය දීප්තිමත් වන්නා සේ, සිත පිරිසුදු වූ තරමට සීලයද පිරිසුදුභාවයට පත්වේ. අපිරිසුදු සිතුවිලි වලින් යුක්ත වූ විට,ලෝභ, ද්වේෂ, මෝහ බලවත් වූ විට, සීලයද අපිරිසුදු වේ.

භාග්‍යවත් සම්බුදුපියාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහි උපාසක වග්ගයේදී දේශිත උපාසකයෙකුගේ ගුණය මූලිකවම පංචශීලය ආරක්ෂා කොට සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂා මාර්ගයන් වඩා නිවනින් සැනසීම ලබන්නට මේ උතුම් ගෞතම සසුනෙහි ශාසනික කෘත්‍යය ඉටුකිරීමට උතුම් ශ්‍රී සද්ධර්ම දේශනය මහත්වූ තෝතැන්නක් වේවා!

 

    නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල් 12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]