UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අලගද්දූපම සූත්‍රයෙහි භාවිත උපමා

අලගද්දූපම සූත්‍රයෙහි භාවිත උපමා

උපමා රැසක් අලගද්දුපම සූත්‍රයෙහි අන්තර්ගතය. එම නිසා උපමා ගහණ සූත්‍රයක් ලෙස හැඳින්විය හැකිය. එහිලා ප්‍රධාන ලෙසම භාවිත උපමා දෙකකි. අලගද්දුපමාව (සර්ප උපමාව) හා කුල්ලසුපමාව (පහුර උපමාව) මෙම උපමා දෙක වඩාත් මැනවින් විස්තර කරනු ලබයි. ඉන් පළමුවැන්න සූත්‍ර නාමයට ද භාවිත කිරීම මත එය වඩාත් විශේෂ උපමාව වශයෙන් සඳහන් කළ හැක. එලෙසම කාමයේ ආදීනව දක්වන උපමා කිහිපයක්ම සූත්‍රය තුළ විවරණය කරති. කාමය විවිධ වස්තූන්ට සමාන කරමින් මෙහි ඉදිරිපත් කළ උපමාවන් සංඛ්‍යාව දොළහකි. ඒ අනුව,

01. අට්ඨිකංඛලූපමාව (ඇට සැකිල්ලක උපමාව) , 02. මංසපේසූපමාව (මස් වැදැල්ලක උපමාව) , 03. තිණුක්කූපමාව (තණ හුලක උපමාව) , 04. අංගාරකාසූපමාව (ගිනි අඟුරු වලක උපමාව) , 05. සුපිනකූපමාව (සිහිනයක උපමාව) , 06. යාචිතකූපමාව (ණයට ගත් දෙයක උපමාව) , 07. රුක්ඛඵලූපමාව (ගස් ගෙඩියක උපමාව) , 08. අසිසූනූපමාව (අසිසූනු උපමාව), 09. සත්තිසුලූපමාව (අඩියටි හුලක උපමාව) ,10. සප්පසිරූපමාව (සර්ප හිසක උපමාව)

මේ ආදී වශයෙන් කාමය වනාහි තාවකාලිකවූත් අල්පාස්වාද ඇත්තාවූත් දෙයක් වශයෙන් පැහැදිලි කරති. තවද පංචස්ඛන්ධය අතහැරීම පිළිබඳ උපමාවක් හමුවේ. ධර්මයෙහි දක්ෂයාගේ තත්ත්වයන් පහක් පිළිබඳව මේ සූත්‍රයේ දී දක්වයි. උක්ඛිත්තපලිඝො (ඉඟුලු හිදි අගුලු ඇති බව) සංකිණ්ණපරිධො (විසුරුණු දිය අගල), අබ්බුළ්හෙසික (ඉඟුලු ඉන්ද්‍රඛීලය), නීරග්ගල (දොරගුල නැති බව), පන්නද්ව්ජෝ පන්නභාරෝ (බහා තැබූ ධ්වර හා බර ඇති) වශයෙනි. මෙලෙසින් විවිධ උපමාවන් ගෙන හැර පාමින් අරිට්ඨ භික්ෂුව සිදු කළ ශාසන විලෝපික ක්‍රියාව නොහොත් වැරදි දෘෂ්ටියේ එල්බ ගැන්මත් අන් අයට අනුශාසනා කිරීමත් පහත් කොට දක්වා අලගද්දූපමා සූත්‍රය දේශනා කර තිබේ.

බුදුරදුන් දේශනා කරන ආකාරයට ධර්මය අවබෝධ කර ගැනීමේ දී එය දෘෂ්ටියක් වශයෙන් ග්‍රහණය කර නොගත යුතුයි. නිවැරදි ආකාරයෙන් අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතුයි. නොඑසේනම් විශාල අනර්ථයක් සිදු කරගැනීම ස්වභාවිකය. මිනිසා විසින් ඇති කරගනු ලබන වැරදි දෘෂ්ටිය ග්‍රහණය නිසා මහත් ව්‍යසන සිදුවන බවත් වැරදි ලෙස අල්ලාගනු ලබන විෂකුරු සර්පයෙකු ගැනීමක් විලසින් නිසිලෙස ගනු ලබන දෘෂ්ටිය ඉතා නිවැරදිව අල්ලාගනු ලබන සර්පයෙකුගෙන් කිසියම් උපද්‍රවයක් නැතිවාක් මෙන්ම එම දෘෂ්ටි ග්‍රහණය මිනිසාට අහිත පිණිස නොපවතින බව මෙහිදී වඩාත් අවධාරණය කරති.

ඒ සඳහා දක්වන ලද උපමාවන් අතුරින් ග්‍රන්ථයේ හමු වන්නේ කාමයේ ආදීනව දක්වන උපමාවයි. එහිදී, “අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදිනවෝ එත්ථ භීය්‍යෝ.....” යන්නෙන් ඒ බව පැහැදිලි වෙයි. කාමය වනාහි බෞද්ධ ආර්ය ශ්‍රාවක වූ භික්ෂුව විසින් අත්හළ යුතු අන්තරායකර ධර්මයකි. මක්නිසාදයත්? එය සේවනය කරනුයේ ආර්ය මාර්ගයේ කටු අකුල් දමා ගැනීමක් හා සමානවන බැවිනි. මෙලෙසට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය කෙරෙහි අන්තරායකර වූ කාමයෙහි ඇති ආදීනව පළමුව දක්වනුයේ අට්ඨික’ඛලූපමාවෙනි.”අට්ඨිකංබල”යනු ඇටසැකිල්ලයි. ඇටසැකිල්ලක විඳිය යුතු රසය ඉතාමත්ම අල්පය. රසයක් නැත්තා හා සමානමය. අන්තරායකර වූ කාමයද අල්ප වූ ආශ්වාදයක් ඇත්තේමය. එබඳු වූ අල්පාශ්වාද සහිත කාමය ඇටසැකිල්ලක් හා සමානමය. මක්නිසාදයත්? කාමය ද ඇටසැකිල්ල මෙන්ම අල්පාශ්වාදයෙන් යුතුවන බැවිනි. එහිදී “අට්ඨිකංඛලූපමා අප්පස්සාදනට්ඨේන” යන අර්ථ විග්‍රහයට අනුව ඇටසැකිල්ල අල්පාශ්වාදයෙන් යුතු වන්නාක් මෙන් කාමයද අල්ප වූ ආශ්වාදයෙන්ම යුක්තය.

මෙනිසාම කාමය ඇටසැකිල්ලකට උපමාකර ඇත. “මංසපේස” යනු මස්වැදැල්ල යන අරුතයි. එය උපමාකරනුයේ ‘මංසපේසුපමා” නම් වෙයි. මස් වැදැල්ල වනාහි සැමතැනම සාධාරණ වූ පැතිරීම ස්වභාවයකර ඇත්තකි. සැමතැනම පැතිරෙන හෙයින් මස් වැදැල්ල බහු සාධාරණය. ඒ බව “මංපේසුපමා බහුසාධාරණට්ඨේන” යන්නෙන් ප්‍රකට වෙයි.

කාමය ද සැමදෙනා කෙරෙහි සාධාරණ පැතිරීම් ඇතිකරන්නකි. නමුදු, ආර්ය මාර්ගයට පිළිපන් බෞද්ධ භික්ෂුව වනාහි කාමය කෙරෙහි අසාධාරණත්වයෙන් සිටිය යුත්තෙක්මය, එබැවින් කාමයෙන් වියුක්තවිය යුතුමය. සැම තැන්හි පැතිරෙන කාමයට ගොදුරු වූයේ භික්ෂූත්වයෙන් මිදුණෙක්ම වන්නේ ය. මෙලෙසට අසංයත සිත් ඇත්තවුන් විෂයෙහි සාධාරණ බැවින් කාමය මස් වැදැල්ලකට උපමාකර ඇත. ‘තිණුක්කූප’ යනු තණ හුළයි, නැතහොත් තණකොළ වලින් තැනූ පන්දමයි. අග්නිමත්කළ (ගිනි දැල්වූ) තණකොළ පන්දම එය දැල් වූ තැනැත්තා කෙරෙහිම දැල්වෙමින් පැමිණීම ස්වභාවයකොට ඇත්තකි. එළෙසට දැල් වූ පුද්ගලයා වෙතම පැමිණීම අනුදහනය නම් වෙයි. කාමය නමැති පන්දමද ගිනි දැල්වූයේ දැල් වූ තැනැත්තාම දැවීම පිණිස ක්‍රමයෙන් පැමිණෙයි. කාමය දැල්වූ කෙණෙහි අනිකෙකු නොවූ දැල්වූ කාමියාම (කාමභරිත පුද්ගලයාම) නසන්නේ ය, නොහොත් දවන්නේ ය. ඒ උක්ත තෘණ පන්දම මෙනි.

මෙලෙසට දැල් වූ පුද්ගලයාම දවන බැවින් කාමය තණ හුළක් හා සමානය. කාමය සතරවනුව උපමාකරනුයේ ගිනිඅඟුරු වළකටය. ‘අංගාරකාසූපමා’ නම් වෙයි. අඟුරු වළ වනාහි එයට වැටෙන සෑම ද්‍රව්‍යයක්ම නැසීමත් දැඩි සේ තැවීමකට ලක් කිරීමත් ලක්ෂණකර ඇත්තේමය.ඒ බව ‘අංගාරකාසුපමා මහාභිතාපට්ඨේන’ යන අටුවා පාඨයෙන් පැහැදිලි වෙයි. අභිතාපය හෙවත් දැවීම යනු කුමක්ද? සංසුන් ස්වභාවයෙන් තොරවීම හෙවත් නිතරම ඇවිලුණු ස්වභාවය අභිතාප නම්වන බව “මහාභිතාපනට්ඨේන අනවට්ඨිතසභාවතාය” යන්නෙන් ප්‍රකට වෙයි. කාමයද එළෙසමය. එහි වැටුණවුන් සියල්ලන්ම දවන්නේ ය. සියල්ලන්ටම තැවීම් ඇතිකරන්නේ ය. සංසුන් ස්වභාවයෙන් වියුක්ත කරන්නේමය. ගිනි අඟුරු වළක් හා සමානම ක්‍රියාකාරිත්වය ඇත්තේ ය. මෙළෙසට ක්‍රියාකාරීත්වයන් තුළින් සමානත්වයක් ඉස්මතුවන බැවින් කාමය ගිනි අඟුරු වළකට උපමා කර ඇත.

“සුපින” යනු සිහිනයයි. සිහිනය වනාහි එළඹ සිටි සිහියෙන් නොව නිදිගත් සිතින්ම උපදින්නකි. ලෝකයේ යථා ස්වභාවයෙන් දුරස්ව පිහිටියේ ය. සිහින වනාහි ඉතා සුළු මොහොතකටම සීමා වූ දෙයක් වන්නේමය. කාමය ද එසේම රස විඳීම් අර්ථයෙන් එය ග්‍රහණයකර ගන්නේ නමුත් එය ද ඉතාම සුළු මොහොතකටය. මෙලෙසට කාමය වනාහි මඳ කලක්ම එළඹ සිටි දෙයක් වන්නේමය. එනිසා එය සිහිනයක් හා සමාන වූයේම සිහිනයකට උපමාකළේ “සුපිනකුපමා” නම් වෙයි. “සුපිනකුපමා ඉත්තර පච්චුපට්ඨානට්ඨේන” යැයි දැක්වූයේ එය මද වේලාවක්ම පවතින් බැවිනි. කාමය ද ඉතා සුළු මොහොතක්ම රස විඳීම් ස්වභාවය කොට ඇති බව “ඉත්තර පච්චූ පට්ඨානට්ඨේන මුහුත්තරමණීයතාය” යන්නෙන් මනාව පැහැදිලි වෙයි.

මෙනිසාම ඉතා සුළුවූ මොහොතක රස විඳීම් අර්ථයෙන් කාමය සිහිනයකට උපමාකර ඇත. ඉල්ලාගත් පිළියක් (රෙදි කඩක්) වනාහි නැවත ලබා දිය යුතුමය. ඒ එම වස්තුව අනුන් අයත් වන්නාක් මෙන්ම තාවකාලිකදවන බැවිනි. කාමය ද එළෙසටම රස විඳීම් හෙවත් තමන් අයත්කොට තබා ගැනීම් අර්ථයෙන් තාවකාලිකමය. එබැවින් කාමය ද අනුන්ගෙන් ඉල්ලාගත් රෙදි කඩක් හා සමාන වෙයි. ඉල්ලාගත් රෙදිකඩ තාවකාලික වන්නාක් මෙන් කාමය ද තාවකාලිකවන බැවිනි. ඉල්ලාගත් ද්‍රව්‍යය අන්සතු බැවින් කිසිදු විටෙක එය අයත් පුද්ගලයා ඉක්මවාලිය නොහැකිය. කාමය ද එලෙසටම තාවකාලික වූ රසවිඳීම ග්‍රහණය කර ගත්තේ ඉක්මවාලිය නොහැකිය.

එම නිසා ඉල්ලාගත් රෙදිකඩ හා සමාන කරනුයේ ‘යාචිතකුපමා’ නම්වන අතර ‘තාවකාලිකට්ඨේන පරේහි අභිභවනීයතාය” යන්නෙන් උක්ත කාමාතුරයාට එය ඉක්මාවලිය නොහැකි බව මනාව ප්‍රකට වෙයි. කාමය සත්වෙනුව උපමාකරනුයේ ගස්වල ඇති ගෙඩිවලටය. එය “රුක්ඛඵලූපම” නම් වෙයි. ඵලයක ඇති ස්වභාවය වන්නේ එය හටගත් වෘක්ෂයටත් අයිති නොවන සේ බිඳී විසිරී යාමයි. කාමය ද පුද්ගල සිත් තුළ පහළ වූයේ එම අසංයත සිත බිඳ විසුරුවයි. සියලු අඟ පසඟ දැඩි ආයාසයෙන් යුක්තකරනුයේ බිඳ දමයි. එම නිසා කාමය ගසක හටගත් ඵලයකට සමාන වෙයි. ඒ ආයාසය බහුලලෙස ඇත්තේ අඟපසඟ බිඳ විසුරුවනු ලබන හෙයිනි. “රුක්ඛ ඵලූපමා සබ්බංගපච්චංගපලිහඤ්ජනට්ඨේන” යන විස්තරයෙන් එය සනාථ වන අතර සිඳීම් බිඳීම් අර්ථයම ස්වභාවය කොට පැවතීම එහි (කාමයෙහි) යථා ස්වරූපය බව පැහැදිලි වෙයි. මෙලෙසට උපායාස බහුල වූ කාමය සියලු අඟපසඟ බිඳීම්, අර්ථයෙන් “ගස්ගෙඩියකට” උපමා කරනුයේ උපමා උපමේයයන්හි අදාළත්වය ක්‍රියාකාරීත්වය තුළින් මනාව ගළපමිනි.

“අසිසූනුපමා” යනු කාමය කෙරෙහි දැක් වූ අටවන උපමාවයි. “අසිසුනු” යනු කඩුව හා මස්ලොඹුව (මස් කපන ලෑල්ල) යි. කඩුවෙහි සහ මස්කපන ලෑල්ලෙහි ස්වභාවය වන්නේ එහි තබන සෑම දෙයක්ම විනාශ කිරීමයි හෙවත් කපා දැමීමයි. “උග්ඝාට සදිසතාය අධිකුට්ටනට්ඨේන” යැයි දැක් වූ පරිදි තැබූ සියල්ල කපා දමනුයේ නොහොත් තැබූ සියල්ල හා ගැටෙනුයේ අධිකුට්ඨන නම් වෙයි. කාමය ද නිරන්තරයෙන්ම ගැටීම අර්ථකොට ඇත්තකි. එය පුද්ගල සිත හා බැඳුණේ නිරන්තරයෙන්ම ගැටෙයි. ගැටීම තුළින් පුද්ගල විනාශය ඇති කරයි. මෙලෙසට ගැටීම, විනාශ කිරීම, කැපීම යනාදී අර්ථයන්ගෙන් කාමය කඩුව සහ මස් කපන ලෑල්ල (දංගෙඩිය) හා සමානත්වයට යයි. මෙළෙසට උපමාකරනුයේ කාමය තුළ ද උක්ත ලක්ෂණ අන්තර්ගතවීම නිසාවෙන් බව “අසිසූනූපමා අධිකුට්ටනට්ඨේන” යන්නෙන් මනාව ප්‍රකට වෙයි. ලක්ෂණ හෙවත් ක්‍රියාකාරී ස්වභාවයන් අතර සාම්‍යත්වයක් පවතින බැවින් කාමය “අසිසූනුපමා” ලෙසට දක්වා ඇත.

තියුණු සැතකට හෙවත් “සත්තියකට” උපමා කොට කාමය දැක්වූයේ නවවෙනි “සත්තිසුලුපමාව“ තුළදීය. “සත්තිසුලුපමා විනිවිජඣනට්ඨේන” යැයි දැක් වූ ආකාරයට විනිවිද යන අර්ථය “පෙරදැරි කළේ කාමය සැතකට උපමාකළ සේක. විනිවිද යෑම යනු කුමක්ද? ‘වණයක් (තුවාලයක්) රහිත තැනක වණයක් ඇතිකරමින් වේදනා සහගතව ඇතුළට පිවිසෙන ස්වභාවය ඇත්තේ විනිවිද යෑම” නම් වෙයි. කාමයෙහි යථා ස්වභාවයද මෙළෙසමය. සිත තුළට කාමාදී සිතුවිලි ඇතුල්වූයේ සිත තුළ නොසන්සිඳෙන වණයක් ඇතිකරමින් සිත විනිවිද යනුයේ නිරන්තර වේදනාවම ජනිතකරවයි. තියුණුවත් වූ උලක ස්වභාවය ද එසේමය. එය පුද්ගල ශරීරය හා ගැටුණේ වණයක් ඇතිකරනවා පමණක් නොව නිරන්තර වේදනාවද ජනතිකරයි. කාමය පුද්ගල මනස හා ගැටුණේ වණයක්. එහි ඇතිකර සිත තුළ නිරන්තර වේදනාව ද ජනිතකරයි. මෙලෙසට ක්‍රියාකාරිත්වය අනුව කාමය, සැත යන උපමේය, උපමාව තුළ සාම්‍යයත්වයක් ඇති බැවින් කාමය සැතකට උපමාකළේ උක්ත “සත්තිසූලූපමා” යන නමින් හඳුන්වයි.

මෙම සූත්‍රය තුළදී කාමය කෙරෙහි දක්වන අවසන් උපමාව වන්නේ දසවෙනි වූ “සප්පසිරූපමා” වයි. සප්පසිර යනු සර්ප හිසයි. සර්ප හිස හා උපමාකළේ උක්ත නාමය දරයි. සර්ප හිසෙහි යථා ස්වභාවය වන්නේ නිරන්තරයෙන් සැක, බිය දෙක ජනිත කිරීමයි. සර්ප හිසක් දුටු විට අපගේ පළමු පැනය වන්නේ ‘මූ දෂ්ඨකරයිද? නැද්ද?” යන සැකය සහ භීතියයි.

සර්ප හිස තුළ පවතින සැක, බිය ස්වභාවය කාමය තුළද එලෙසටම පවතියි. එය උභය ලෝක සංසිද්ධියට අහිතකර ලෙසම පවතිනුයේ සැක, බිය ස්වභාවයන් පුද්ගල මනස තුළ නිරන්තරයෙන් ජනිත කරයි. මෙලෙසට සැකය හා භීතිය යන අගුණයන් උපදවීමෙහි ඇති සාම්‍යයත්වය හේතුවෙන්ම කාමය සර්ප හිසකට උපමාකරනුයේ උපමා, උපමේය තුළ ඇති සමානත්වයම ප්‍රකටකරවමිනි.

 

    නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල් 12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]