UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය

මෙම මස 28 වන දා පෙරවරු 8.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ

බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇත

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 19 වැනි උපාධි ප්‍රදානෝත්සවයට විශේෂ පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයකි. සම්බුද්ධ ශාසනය පෝෂණය කර එය ආරක්ෂා කිරීමේ වගකීමෙන් කටයුතු කරන ශ්‍රී ලංකා රජයේ විශේෂ පනතකින් පිහිටුවා ඇති මෙම විශ්වවිද්‍යාලය අද ඉතාමත් දියුණු තත්ත්වයකට පත්ව ඇත.

මහා මහින්ද මහ රහතන් වහන්සේගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු බුදු දහම ලක්වැසි ජනතාව තමන්ගේ දිවි දෙවෙනි කොට ආරක්ෂා කර ගෙන ආ බව ඉතිහාසය සාක්ෂි දරයි. ත්‍රිපිටකය මුලින් ම මාතලේ අලුවිහාරයේ දී පොත්වල ලියා එය ආරක්ෂා කර ගත්තේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලා ය. එම නිර්මල බුදු දහම රැක ගැනීමේ ගෞරවය ශ්‍රී ලංකාවාසී භික්ෂූන් වහන්සේලාට සහ බෞද්ධ ජනතාවට ලැබී තිබේ.

එම පරපුර නියෝජනය කරමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ධර්ම විනය හදාරා ශාස්ත්‍රධරයන් බවට පත් වූ භික්ෂූන් වහන්සේලා මෙන් ම ගිහි තරුණ මහත්වරු ද අද දින උපාධියෙන් පිදුම් ලබති. අතීත භික්ෂූන් වහන්සේලා සහ ගිහි ජනතාව මෙන් උපාධිය ලබන සියලු දෙනාට ම බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇත. මෙම නිර්මල බුදුදහම රැකගෙන අනාගත පරම්පරාවට දායාද කිරීමේ වගකීම ද, ඔබ වෙත පැවරී ඇති බව සිතට ගන්නා ලෙස ද මෙම අවස්ථාවේ දී කාරුණිකව සිහිපත් කරමි.

මෙම උපාධි ලබාදීම සඳහා කැපවීම් කළ සියලු දෙනාට ම මාගේ පුණ්‍යානුමෝදනාව පුද කරමි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වීමට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


ලෝක බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වනු දැකීම පරම පැතුමයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 19 වැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට ලැබීම ඉමහත් සතුටකි.

ශ්‍රී ලංකාවේ සහ විදේශීය රටවල පාලි හා බෞද්ධ අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරම්භ කළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය එකී අරමුණ ඉටු කරමින් දිනෙන් දින ලබන ප්‍රගතිය පිළිබඳ මම මහත් සේ සතුටට පත්වෙමි.

අතීතයේ අප කලාපයේ තිබූ නාලන්දා, වික්‍රමශීලා සහ තක්ෂිලා වැනි විශ්වවිද්‍යාල ලෝකයට බෞද්ධ අධ්‍යාපනය දායාද කිරීමට මහත් පරිශ්‍රමයක් ගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි. එම අධ්‍යාපන රටාව සිහිගන්වමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක වීම තුළින් අනාගතයේ අප රටට විශාල කීර්තියක් අත්පත් කර දෙනු ඇතැයි මම විශ්වාස කරමි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පෙරදිග රටවලට මෙන් ම බටහිර රටවල ද ව්‍යාප්ත වී තිබීමෙන් අපගේ ඒ විශ්වාසය තවදුරටත් තහවුරු වේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පර්යේෂණ කටයුතු අතින් ලබා ඇති ප්‍රගතිය ද ප්‍රශංසනීය ය. ඒ නිසාම ශාස්ත්‍රපති, දර්ශනපති, දර්ශනශූරි උපාධි පර්යේෂණයන්හි නිරත වන විද්‍යාර්ථින්ට පුළුල් ඉඩ ප්‍රස්තා හිමි වී තිබේ. එසේ ම රටවල් ගණනාවක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතන පිහිටුවා එම රටවල විද්‍යාර්ථීන්ට ද බෞද්ධ අධ්‍යාපනයේ නිරතවීමටත්, මෙම විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාප්ත කිරීමෙන් ථෙරවාදී නිර්මල බුදු දහම ලෝ වැසියන්ට ලබා දීමේ අප යුතුකම ඉටු කිරීමට අවස්ථාව සැලසීමත් අගය කළ යුතුය.

මෙම විශ්වවිද්‍යාලය වර්තමානයේ පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ඇප කැපව ක්‍රියාකරන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි සියලුදෙනාගේ ම කැපවීම කාගේත් පැසසුමට ලක් විය යුතුය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලෝක බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වනු දැකීම අපගේ පරම පැතුමයි.

අද දින උපාධි ලබන ගිහි පැවිදි සිසුන් සැමට මගේ සුභාශිංසනය පිරිනමමි.


ප්‍රබල භූමිකාවක් හසුරුවන ධර්ම ගවේශී අධ්‍යාපන ආයතනය

මහින්දාගමනයෙන් පසු අප දේශය තුළ විශිෂ්ඨ බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදයක් බිහි විය. අභයගිරිය, මහා විහාරය, ජේතවනය මුල් කරගත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථාන හරහා ගොඩනැගුණු මෙම අධ්‍යාපන ක්‍රමය වෙහෙර විහාරස්ථාන, පිරිවෙන් හරහා වර්තමාන විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ක්‍රමයෙන් ව්‍යාප්ත විය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වර්තමානයේ එම බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රබල භූමිකාවක් හසුරුවන ධර්මගවේශී අධ්‍යාපන ආයතනය වේ.

ලක්වැසි ජනතාව පමණක් නොව සමස්ත ලෝකවාසීන් බුදු දහම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන මෙවන් යුගයක, බුද්ධ ධර්මය හා පාලි භාෂාව පිළිබඳ ගැඹුරු හැදෑරීමකින් යුතු උපාධිධාරීන් පිරිසක් සමාජයට තිළිණ කරන්නට මෙම විශ්ව විද්‍යාලයට හැකි වීම අතිශය අගය කටයුතු ය. සිංහල සහ ඉංග්‍රීසි ද්විභාෂාවෙන් අධ්‍යයන කටයුතු සිදුකරමින් විනයධර, ධර්මධර උගතුන් පිරිසක් බිහිකිරීමට විශ්වවිද්‍යාලය දරන ප්‍රයත්නය ප්‍රශංසනීය ය.

අද දින උපාධිය ලබන උපාධිලාභීන්, පශ්චාද් උපාධිලාභීන් නිර්මල බුදු දහම රැකගනිමින්, එය අනාගත පරපුරට දායාද කරමින් ගුණගරුක, සදාචාරසම්පන්න දේශයක් ගොඩනඟනු සඳහා තම ශක්ති ප්‍රමාණයෙන් කැපවනු ඇතැයි මම අපේක්ෂා කරමි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 19 වැනි උපාධි ප්‍රදානෝත්සවය සර්වප්‍රකාරයෙන් සාර්ථක වන්නට සුබ පැතුම් පිරිනමමි.


මහා සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන යති

බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලයේ 19 වන උපාධි ප්‍රදානෝත්සවය නිමිති කරගෙන මෙම පණිවුඩ ය නිකුත් කිරීමට මම කැමැත්තෙමි.

බුද්ධ ධර්මය ලොව ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලය විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවන ලදී. අද එය මැනවින් පිළිගත් අන්තර් ජාතික විශ්වවිද්‍යාලයක තත්ත්වය ලබාගෙන තිබේ. ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය ආරම්භ වූයේ මිහිඳු මහරහතන් වහන්සේ ලාංකිකයන්ට කළ ධර්ම දේශනාවෙනි. තථාගතයන් වහන්සේගේ ධර්මය ජීවමානව තබා ගැනීම පිණිස මහා විහාරය, ජේතවනය, අභයගිරිය වැනි පුරාණ බෞද්ධ අධ්‍යයන කේන්ද්‍ර විසින් ගන්නා ලද ශ්‍රේෂ්ඨ ප්‍රයත්නය ඉතිහාසයේ සඳහන් ව තිබේ. අද බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලය එම මහා සම්ප්‍රදාය අඛණ්ඩවම පවත්වාගෙන යති.

මෙම විශ්වවිද්‍යාලයේ විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පැවතීම එහි ඉගැන්වීමේ කටයුතු සහ පර්යේෂණවල ඉහළ තත්ත්වය පෙන්වා දෙන සාධකයකි. උසස් අධ්‍යාපන ඇමැති මෙන් ම බෞද්ධයෙකු වශයෙන් මම මෙම ආයතනය ලබා ඇති සාර්ථකත්වය ගැන බෙහෙවින් ම සතුටු වෙමි.

මෙම වැදගත් අවස්ථාවේ දී බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලයට මම ආශිර්වාද කරමි.පරම්පරාවෙන් පරම්පරාවට ශ්‍රේෂ්ඨ ප්‍රාඥයන් බිහි කරමින් ලෝකයේ උසස් ම බෞද්ධ අධ්‍යාපන කේන්ද්‍රයක් වීමට එයට හැකි වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.


පැවරෙන වගකීම ඉමහත්ය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 30 වසරක ඉතිහාසය තුළ සිදුකළ ශාස්ත්‍රීය මෙහෙවරෙහි තවත් එක් මඟ සළකුණක් සනිටුහන් කරමින් පැවැත්වෙන 19 වෙනි උපාධි ප්‍රදානෝත්සවයට සුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අතිශයින් සතුටට කරුණකි.

ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමටත් බුදුන් වහන්සේගේ පණිවිඩය ලෝකය තුළට ගෙනයාමටත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට පැවරෙන වගකීම ඉමහත්ය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි නිර්මාතෘවරයාණන් වහන්සේලාගේ මූලික අභිප්‍රාය වූයේ බුදුදහම දේශීයව සහ විදේශීයව ප්‍රචාරය කිරීමයි. එබැවින් මෙම සුවිශේෂී විශ්වවිද්‍යාලයෙහි අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වෙහෙසී ක්‍රියා කළ විශ්වවිද්‍යාලයේ අතීත මහෝපාධ්‍යායයන් වහන්සේලා සහ අධ්‍යයන/ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කැපවීම අගයකොට සලකමි.

එදා මෙදාතුර වූ සෑම රජයක් ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට පූර්ණ අනුග්‍රහය දක්වා තිබීම නිසා වර්තමානය වන විට භෞතික හා මානව සම්පත්වලින් පෝෂිත අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත්ව ඇත. මෙම විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වීම සුවිශේෂී වැදගත්කමක් හා වරප්‍රසාදයක් ලෙස සලකමි.

බෞද්ධ අධ්‍යයන හා පර්යේෂණ සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය බවට පත්වීම අපගේ අරමුණ වේ.

ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති සහ දර්ශනශූරී දේශීය හා විදේශීය උපාධිලාභීන් 1028 කට උපාධි ප්‍රදානෝත්සවයක් සිදුකරන මොහොතේ දී සියලු දෙනාට බුදු දහමේ පණිවිඩය ඔස්සේ තම ජීවිත සකසා ගැනීමටත් එකී පණිවිඩය ලොව තුළ ව්‍යාප්ත කිරීමටත් සියලු ශක්තිය උදාවේවා යි ප්‍රාර්ථනා කරමි.


සැමට මහත් අභිමානයක්

දේශීය මෙන් ම විදේශීය සිසුන්ගේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පෙරමුණ ගෙන තිබීම ශ්‍රී ලංකාවාසී සැමට මහත් අභිමානයක් වේ.

විදේශීය සිසුන් වැඩිම ප්‍රමාණයක් උසස් අධ්‍යයන කාර්යයෙහි නියැළෙන මෙම විශ්වවිද්‍යාලයෙහි විදේශීය අනුබද්ධායතන 12ක් විදේශ රටවල පවතී.

එම රටවල් නම් සිංගප්පූරුව, මැලේසියාව, ජර්මනිය, ස්කොට්ලන්තය, ඔස්ට්‍රියාව, හොංකොං,බංගලාදේශය, දකුණු කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍ය වේ. ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් සතු ගොඩනැගිලි ඉදි වී තිබෙන අතර, ඒ සඳහා රජය ලබා දී ඇති අනුග්‍රහය ප්‍රශංසනීයයි.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධි ලාභීන් 1028 ක් විදේශීය සිසුන් සමඟ උපාධි ලැබීමට නියමිතව ඇත. විදේශීය භාෂා දැනුම, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ලෝකවාසී ජනතාව අතර නිර්මල බුදු දහම ප්‍රචාරය කිරීමට සහ ශිෂ්ට සම්පන්න සමාජයක් ලොවට දායාද කිරීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය උත්සාහ ගනිමින් පවතී.

19 වැනි උපාධි ප්‍රදානෝත්සවය සඳහා සිය කාර්යය මණ්ඩලය සමඟ පණිවුඩයක් නිකුත් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වශයෙන් අතිශය කෘතඥ වෙමි.


සාහිත්‍ය චක්‍රවර්ති උපාධියෙන් පිදුම් ලබති

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා “සාහිත්‍ය චක්‍රවර්තී” උපාධියෙන් පිදුම් ලබති.

 

 

    නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල් 12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]