UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස් විසීම බුද්ධ ප්‍රඥප්තියකි

වස් විසීම බුද්ධ ප්‍රඥප්තියකි

අප රටේ වස් කාලය පුණ්‍ය කාලය ලෙස සැලකේ. විහාරස්ථානවල විශේෂ පින්කම් පවතින කාලයකි. අලුත් ප්‍රබෝධයක් ගම්වල ඇතිවේ. ගිහි පැවිදි සම්බන්ධය වඩාත් සමීප වන කාලයකි. ගිහි භවතුන් වස් කාලය තුළදී විහාරස්ථාන වලට සමීප වි වස් ආරාධනා කර භික්ෂූන් වහන්සේ වස් වසවාගෙන සිව්පසයෙන් උපස්ථාන කරමින් ගතකරණ මේ කාලය සැබවින්ම පුණ්‍ය කාලයකැයි කිව හැකිය.

වස් විසීම මහජනයාගේ ඉල්ලීම මත සිදුවූවකි. ජෛන ශ්‍රාවකයන් ඇතුලු අන්‍ය තීර්ථයෝ වැසි කාලයෙහි තම ආරාමවලට වී සිටිති. දළුලන තණකොළ ඒක ඉන්ද්‍රිය වස්තු ලෙස සලකා ඔව්හු එසේ කරති. පක්ෂීන් පවා ගස් මුදුන්හි කූඩු තනාගෙන ජීවත් වෙති. බෞද්ධ භික්ෂූන් පමණක් චාරිකාවේ හැසිරෙති. මෙය මහජනයාගේ දෝෂ දර්ශනයට හේතුවිය. මේ මහජන විරෝධය ගැන සැලකූ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ තම ශ්‍රාවකයන් වැසි සමයෙහි එක් තැනකට වී වසන්නට නියම කරණ ලෙසයි. මේ ගැන අවධානය යොමු කළ බුදුරදුන් ‘අනුජා නාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් නීතියක් පැනවූහ. එදා සිට බෞද්ධ භික්ෂූන් වස්සාන ඍතුවෙහි වස්ව විසීම සිදු කළහ.

වස් වසන දින වකවානු පිළිබඳ ප්‍රශ්න ඇති විය. බුදුරදුන් ඊට පිළිතුරු වශයෙන් ඇසළ මාසයෙහි පුර පසළොස්වක් පොහෝ දින පොහොය කොට පසු දින එනම් පෑලවියදා අරුණට පෙර වස් විසිය යුතු බවයි. මෙය අධික අවුරුදු වලදී එනම් මේ වර්ෂයේදි මෙන් ඇසළ පුර පසළොස්වක් පෝදා පොහොය කොට එදිනම වස් සමාදන් විය යුතුය.

බෞද්ධ විනයට අනුව වස් විසීම් දෙකකි. එනම් පෙර වස් විසීම හා පසු වස් විසීම යනුවෙනි.

මහාවග්ග පාළියේ වස්සුප නායික ඛන්ධකයේ වස් විසිය යුතු තැන් වස් නොවිසිය යුතු තැන් එමෙන්ම වස් ඡේදනය වන අවස්ථා ඡේදනය නොවන අවස්ථා හා වස් විසූ තැනින් බැහැරට යා හැකි අවස්ථා මෙන්ම සති කරණයෙන් සැහැසි අවස්ථාද සඳහන්ව ඇත. එමෙන්ම වස් පවාරණය ගැනද තොරතුරු සඳහන් වේ. ඒ ගැන වෙනමම ලිපියකින් කරුණු දැක්විය යුතුය.

පසු වස් සමාදන්වීම පිළිබඳව නිශ්චිත හේතුවක් මහා වග්ග පාලියේ සඳහන්ව නැත. පසු වස් සමාදන් විය යුතු කාලය දක්වා ඇත්තේ නිකිණි මස පුර පසළොස්වක පොහොය දා පොහොය කොට පසුදින වස් සමාදන්විය යුතු බවයි. බිම්බිසාර රජතුමාගේ ඉල්ලීම පරිදි වස් විසීම ඉදිරියට ගැනීමට බුදුරදුන් අවසරදී ඇත. රාජකීය නියෝගයන් අනුව වස් විසීම සංශෝධනය කළහැකි බව මෙයින් පෙනේ.

පසුවස් සමාදන් වීමේ හේතු ලෙස කාරණා කීපයක් උපකල්පනය කළ හැකිය. එකක් නම් පෙරවස් සමාදන්වීමට අත පසුවූ භික්ෂුවකට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදීමත් ගිලන් වූ භික්ෂුවකට පසුව වස් විසීමේ අවස්ථා ලබාදීමත් ජබ්බග්ගිය භික්ෂුන් ඇති කළ විවිධ ගැටලුවලට පිළියම් වශයෙන් ඉඩක් ලබාදීම් බුදුරදුන් මානුෂික ලෙස යමක් දෙස බැලීමේ හේතුන් නිසා මෙබඳු ඉඩ ප්‍රස්ථා ලබාදීම යන කාරණා දැක්විය හැකිය.

වස් ආරාධනාවක් ඇතත් නැතත් උපසපන් භික්ෂූන් වහන්සේ වස් විසිය යුතුය.ආරාධනාවක් පිළිගත්තේ නම් ඒ තැන පසුකොට වෙනත් තැනක වස් නො විසිය යුතුය. ගස් බෙනවල ගස් දෙබල්වල එළිමහනේ සොහොනේ ගෙවල්වල දොරවල් හා වහල් නැති තැන්වල විසාල කුඩයට , විශාල සැලිවල වස්නොවිසිය යුතුය.

ගාලක වස් විසීමට ගැලක වස් විසීමට, නැවක වස් විසීමට අවසරදී ඇත.ආවාස දෙකක එක වර වස් නොවිසි ය යුතුය.

වස් ඡේදනය (කැඩෙන) වන නො වන අවස්ථා ගැනද විනයෙහි දැක්වේ. ඒ අනුව චණ්ඩ මෘගයන්ගෙන් ,සර්පයන්ගෙන් ,සොරුන්ගෙන් පිසාචයන් ගෙන්, ගින්නෙන්, ජලයෙන්, ප්‍රත්‍ය පහසුකම් නොලැබීම යන කාරණා හේතුකොට ගෙන වස් විසූ තැනින් බැහැරට යෑමට සිදුවන්නේ නම් වස් ඡේදනය වන්නේ නැත.

මහාවග්ග පාළියේ වස් ආරාධනාවක් ගැන සඳහන් වන පළමු අවස්ථාව ලෙස කොසොල් මහ රජු විසින් ආයුෂ්මත් උපනන්ද තෙරුන්ට පෙර වස සමාදන් වන ලෙස කළ ආරාධනා වයි. උන්වහන්සේ එය පිළිගෙන ඒ ආවාසයට යන අතර මග බොහෝ සිවුරු තිබෙන ආවාසයක් දැක විහාර දෙකේම වස් විසීමට තීරණය කළහ. මෙය දැනගත් කොසොල් රජතුමා උපනන්ද තෙරුන්ට නින්දා කෙළේය. බුදුරදුන්ද එය දැක ඒ භික්ෂුවට නින්දා කොට නීතියක් ද පැනවූහ.

වස් විසිමෙන් ඇවත් නොවන අවස්ථාද මහා වග්ගපාළියේ පැහැදිලිව දක්වා ඇත. වස් එළඹි භික්ෂුවක මුහුණපෑමට සිදුවන විවිධ ගැටලු සඳහන්වේ. බ්‍රහ්ම චරියාවට හානි පැමිණෙන්නේ යැයි සිතේ නම්, වස් වැසූ තැනින් වෙනත් තැනකට යා හැකිය. වස් සිඳී යෑමෙන් ඇවැත් සිදු නොවේ’.

කොසොල් ජනපදයෙහි උදේන නම් උපාසකයෙකු විහාරයක් කරවා එය පිළිගැනීමට භික්ෂූන් වහන්සේ වෙත පණිවිඩයක් යැවීය. එවිට භික්ෂූන් වහන්සේ වස් තෙමස තුළ හෝ පසු තෙමස තුළ හෝ වස් විසූ තැනින් බැහැරට යෑම නොකළ යුතු බැවින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළහ.මේ පුවත වස් විසූ භික්ෂුවට සතිකරණ-යෙන් බැහැරට යෑමට අවසර දීමේ හේතුව ලෙස දැක්විය හැකිය.

වස් විසු පසූ පුද්ගලයන් සත් දෙනෙකුගේ පණිවිඩයකට සති කරණයෙන් යා හැකි බව විනයෙහි දැක්වේ. භික්ෂු භික්ෂුණී සික්ඛමානා, සාමණේර, සාමණේරී, උපාසක උපාසිකා යන අයගේ පණිවිඩයකට යා හැකිය.

වස් විසීම තුළින් භික්ෂු සමාජයේ ආකල්පමය වෙනස්කම් හා භික්ෂූ සංස්කෘතියේ වැදගත් අවස්ථා නිරූපණය වේ. මේ වස් තුන්මාසය තුළ සති සම්පඡඤ්ඤයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත් කම් පැහැදිලි වේ. වස් කාලය තුළ පොහොය කිරීම් වැනි විනය කටයුතුවලට ප්‍රමුඛතාවය දීම තුළින් භික්ෂුව තුළ විශිෂ්ට ගුණ ප්‍රගුණ වන බව කිව හැකිය. වප් පුර පසළොස්වක් පොහෝදින පෙර වස් පවාරණයත්, ඉල්මස පුර පසළොස්වක් පොහෝ දින පසු වස් පවාරණය සිදු කළ යුතු බව බුද්ධ නියමයයි.

අප රටේ වස් කාලය පුණ්‍ය කාලය ලෙස සැලකේ. විහාරස්ථානවල විශේෂ පින්කම් පවතින කාලයකි. අලුත් ප්‍රබෝධයක් ගම්වල ඇතිවේ. ගිහි පැවිදි සම්බන්ධය වඩාත් සමීප වන කාලයකි. ගිහි භවතුන් වස් කාලය තුළදී විහාරස්ථාන වලට සමීප වි වස් ආරාධනා කර භික්ෂූන් වහන්සේ වස් වසවාගෙන සිව්පසයෙන් උපස්ථාන කරමින් ගතකරණ මේ කාලය සැබවින්ම පුණ්‍ය කාලයකැයි කිව හැකිය.

 

    නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල් 12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]