UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඵල නෙළිය යුතු මිනිසත් බව

ඵල නෙළිය යුතු මිනිසත් බව

බොහෝ දුර්ලභව අප ලබාගත් මේ මනුස්ස ජීවිතය කෙතරම් වටිනවාද? අපි මේ දුක්බර සංසාරයේ විවිධ ආත්මාභාවයන් ලබනවා. ඒ අතරට මිනිසත් බව ලැබීම බොහෝම දුර්ලභයි. ඒ දුර්ලභ වූ අවස්ථාව දැන් ලැබී තිබෙනවා. එසේනම් මෙවැනි මනුස්ස ජීවිතයක් ලැබුණු අවස්ථාවේ දී අප බොහොම ප්‍රඥාවෙන් යුතුව මේ කාලය ප්‍රයෝජනයට ගත යුතුමයි.

මනුස්ස ජීවිතය කියන්නේ මහ බලගතු නැවක් වගේ. බලගතු නැවකට, ශක්තිසම්පන්න නැවකට මහා සයුර තරණය කරන්නට පුළුවන්. මේ මනුස්ස ජීවිතය නමැති නැව තිබෙන වෙලාවේ සයුර තරණය කරන්නට හොඳම අවස්ථාව උදා වී තිබෙනවා. ඒ සඳහා ධර්මයටම යොමුවිය යුතුයි. ධර්මය විමංසනය කළ යුතුයි. ධර්මයේ පටිපදාවට නැමිය යුතු බව අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.

දවසක් බුදුරජාණන් වහන්සේ හමුවන්නට එක් තරුණ ස්වාමීන්වහන්සේ නමක් පැමිණියා. බුදුරජාණන් වහන්සේගෙන් සිත එක්තැන් කිරීමට අවශ්‍ය භාවනා උපදෙස් ලබා ගත්තා. ඉන්පසු ඈත වනයකට වැඩියා. නමුත් සිත එකඟ වන්නේ නැහැ. නැවත ගමට එන්න පිටත් වුණා. මේ වනයේ මැදින් එනවිට අධික පිපාසයි. වතුර ටිකක් බීමට තැනක් සොයනවිට පාරේ වතුර වලක් තිබෙන ආකාරය දුටුවා. නමුත් ළඟට ඇවිත් බලනවිට වතුර නැහැ. නැවත ඈතින් පෙනෙනවා වතුර තිබෙන බවට. උන්වහන්සේ මේ මිරිඟුවයි දකින්නේ. මේ ස්වාමීන් වහන්සේගේ සිත භාවනාවට හුරු කළ සිතක් නිසා උන්වහන්සේට කරුණක් අවබෝධ වෙනවා.

මේ ලෝකය සංකීර්ණ නැහැ. අපිත් දැන් කියනවා ලෝකය සංකීර්ණයි. හැම දෙයම වැඩි වෙනවා කියා. උන්වහන්සේට තේරෙනවා මේ ලෝකය සංකීර්ණ වගේ පේනවා මිස ඇත්තටම සංකීර්ණ නැහැ. මේ ලෝකයේ තිබෙන්නේ නිවන දක්වාම තිබෙන මුළුමහත් පැවැත්මට භාණ්ඩ 5ක් පමණයි. මේ පුංචි බඹයක් පමණ ශරීරයෙන් අපට පුළුවන් මුළු විශ්වයම විඳගන්න. මේ භාණ්ඩ අල්ලා ගන්න. ඇසෙන් අල්ලා ගන්නේ රූප නමැති භාණ්ඩයි. ඇහෙන් අල්ලා ගන්න බැරි කොටස මේ විශ්වයේ අපි කනින් අල්ලා ගන්නවා. ඒවා ශබ්ද භාණ්ඩයි. ඇහැට බැරි කනට බැරි කොටස නාසයෙන් අල්ලා ගන්නවා. ඒවා ගන්ධ භාණ්ඩ. ඒ තුනටම බැරි කොටස දිවෙන් අල්ලා ගන්නවා. ඒවාට රස භාණ්ඩ කියනවා. ඒ ඉන්ද්‍රිය හතරටම බැරි කොටස කයෙන් අල්ලා ගන්නවා. ඒවාට ස්පර්ෂ භාණ්ඩ කියනවා. මේ කාරණය එදත් එහෙමයි. අදත් එහෙමයි. ඔබ සිතන්න මේ භාණ්ඩ වර්ග පහෙන් තොරව භෞතික ලෝකයේ ඉදිකටුවක් තරම් දෙයක්වත් ඔබට සිතාගන්නට පුළුවන්ද? එහෙනම් එදා තිබුණු භාණ්ඩ වර්ග පහම නම් අදත් තිබෙන්නේ ලෝකය සංකීර්ණයි කියා කීවාට එය සිතේ මවා ගත් සංකීර්ණ බවක්. මේ ස්වාමීන්වහන්සේට මිරිඟුව දැකලා මේ කරුණ අවබෝධ වුණා. මේ ස්වාමීන් වහන්සේට හරි සතුටුයි. භාවනාවට යොමු වූ සිතක් තිබුණු නිසා මිරිඟුව අරමුණු කමටහනක් බවට පත්කරගෙන අධ්‍යාත්මිකව බලවත් භාවයට පත්වුණා. උන්වහන්සේ තවදුරටත් ගමන් කළා. උන්වහන්සේට ලස්සන ගංඟාවක් හමුවුණා. භාවනාවට යොමු වූ මනසින් උන්වහන්සේ ගඟ ළඟ නැවතුණා. ගඟෙන් සිවුර දෝවනය කරලා ළඟ තිබූ ගල් තලාවේ වනලා, සිවුර වේලෙනතුරු ගඟ දෙසම බලාගෙන හිටියා. හරිම අසිරිමත්. ගඟේ ජලය පහළට කඩාගෙන වැටෙනවා. ඒ ජලය කඩා වැටෙන විට ජලයෙන් පෙන බුබුළු ඇති වෙනවා. එවෙලෙහි උන්වහන්සේට කල්පනා වුණා මේ වගේමයි මගේ ජීවිතයත්. මේ පෙනවලට සමානයි. එහෙම කල්පනා කළේ කොහොම ද? ජලයේ ඇතිවන ජලජ පෙන මොහොතින් මොහොත ඇතිවෙනවා. ඇති වූ සැනින්ම මේවා කැඩී බිඳී ආයෙත්ම අලුතින් ඇතිවෙනවා. ආයෙමත් කැඩෙනවා අපේ ශරීරයත් එසේම යි. මොහොතින් මොහොත ක්ෂණිකව මැරෙනවා. නැවත අලුතින් සෛල ඇතිවෙනවා. මොහොතක් පාසා මේ ශරීරය වෙනස් වෙනවා. මේ කාරණයත් දැකලා මේ ස්වාමීන් වහන්සේට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කරුණු බොහෝ තදින් සිතට කා වැදුනා. උන්වහන්සේගේ සිත ටික ටික එකඟ වුණා.

දිනක් බුදුුරජාණන් වහන්සේ බැලුවා භාවනාවට ගිය මේ තරුණ ස්වාමීන් වහන්සේ කොහේද? උන්වහන්සේගේ සිතේ ස්වභාවය අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ සෘර්ධියෙන් එතැනට වැඩම කර බුද්ධ රශ්මින් විහිදවමින් ආකාසයේ සිටම පැහැදිලි කරනවා පින්වත් මහණ, යම්කිසි කෙනෙක් මේ ශරීරය, මේ ජීවිතය පෙන පිඬකට උපමා කරලා දකිනවා නම්, මිරිඟුවට හා සමාන කරලා මේ ජීවිතය පැවැත්ම දකිනවා නම්, ඒක හොඳයි. ඔහුගේ ප්‍රඥාව දියුණුවට යනවා. එවිට දියුණු කරගත් ප්‍රඥව නමැති ආයුධය භාවිත කර මාරයාට පහර දී මාරයාට නො පෙනෙන තැනකට ගමන් කරන්න පුළුවන් කියා වදාළා. ඒ බුද්ධ අවවාදයටත් අර ස්වාමීන් වහන්සේ සවනත යොමු කළා. සව් කෙලෙසුන් නසාගෙන උන්වහන්සේ මේ සසර ගමන අවසන් කළ බව ධම්මපදට්ඨාන කතාවෙන් අපට පැහැදිලි කර දෙනවා.

එනිසා අපට පැහැදිලියි අපේ සිත නිවැරැදි වෙලාවේ නිවැරැදි තැන කමටහනේ පිහිටවන්නට පුළුවන් නම් අපටත් මේ ආලෝක මාවත උදා වෙනවාම යි. ඒ වගේම නුවණැති කෙනා මේ සිත හදන්නේ බොහොම සෙමින් පියවරෙන් පියවර. ටිකෙන් ටික. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකින් පැහැදිලි කරනවා රන් මාලයක්, මුද්දක් ගැන හිතන්න. මේවා එක පාරටම ඇතිවුණා නොවේ. රන්කරුවා මේවා රත් කර ඒවායේ තිබෙන කුණූ මලකඩ ඉවත් කර ටිකක් රත් කරනවා. නැවත පදම් කරනවා. නැවත රත් කරනවා. නැවත පදම් කරනවා. මෙහෙමයි මේ ලස්සන ස්වර්ණාභරණයක් නිර්මාණය වෙන්නේ. ඒ වගේමයි එක පාරටම අපේ සිත හදන්න බැහැ. පුංචි පුංචි දෙයින් තමයි අපේ සිත බලවත් දේ කරා යන්නේ.

කෝටු සියයකින් යුක්ත දර මිටියක් ඔබට කෙනෙක් දුන්නොත් මේක එක පාරට දෙකට මැදින් කඩන්න කියලා ඔබට කඩන්න අමාරුයි. සෑහෙන වෙලාවක් උත්සාහ කළත් එය අපහසු වෙනවා. හැබැයි නුවණැත්තා මේක කඩන්නේ කොහොමද? ඔහු එකින් එක එකින් එක කඩනවා. ඉතාමත්ම ඉක්මණින් ලෙහෙසියෙන් අර කෝටු ටික දෙකට වෙන් කරන්න පුළුවන් වෙනවා. මේවගේ දර මිටිය කඩන ආකාරයට බුද්ධිමත්ව මේ සිත ප්‍රබල බවට ගෙන යන්නට ධර්මයෙන් බලවත් කර ගන්නට බුදුරජාණන් වහන්සේ තවත් ලස්සන උපමාවකින් වදාළා. බොහොම ලස්සනට ගලන ගඟක් තිබෙනවා. මේ ගඟේ ජල පහර බොහෝම සැරයි. යම්කිසි කෙනෙකුට ගඟ හරහා එගොඩ වෙන්න ඕන. නුවණැති කෙනෙක් කොහොමද ගඟෙන් එගොඩට යන්නේ? ඔහු ගඟ හරහා කෙළින්ම පීනන්නට ගියොත් වෙහෙසට විඩාවට පත්වෙන්න පුළුවන්. නැත්නම් ගිලෙන්නත් පුළුවන්. නමුත් නුවණැති කෙනා එකපාරටම පීනන්නට උත්සාහ නොකර ඔහු ගලන ගඟේ පහළට ජල පහර ගසාගෙන යන පැත්තට පීනනවා. එහෙම පහළට පිහිනන ගමන් ජලයේ ආධාරයෙන් අනෙක් පැත්තට සේන්දු වෙනවා. ලෙහෙසියෙන්ම උපායශීලීව ඔහුට ගඟ තරණය කළ හැකි වෙනවා. ‘උපාය දන්නෝ අපායෙන්ද බේරෙන්නෝය’ කියලා කියමනකුත් තිබෙන්නේ ඒ නිසයි. එනිසා ඔබත් සිතන්න මේ ගමන් කරන ජීවිතයේ දී ඔබත් මුදල් හදල් හම්බ කළයුතුමයි. දරුවන්, ගේ දොර හැදිය යුතුමයි. යාන වාහන ගත යුතුයි. ඒ හැම දෙයක්ම කරන ගමන්ම ධර්මය වෙනත් සිත යොමු කළයුතු වෙනවා. සමහර අය සිතනවා ඉගෙන ගෙන, රැකියාවක් සොයාගෙන ඒ රැකියාවත් අවසන් වුණාට පස්සේ මම ධර්මය මාර්ගයට යොමු වෙනවා කියලා. නමුත් අපට එක පාරටම එය කරන්න බැහැ. අප සසරේ සිත පුරුදු කරලා තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මේ හැම දේම මොහොතින් නැසෙන සුළුයි. හිතන දේ මේ ලෝකයේ වෙන්නේ නැහැ. වෙන දේ අපට හරියට හිතා ගන්නවත් බැහැ. අස්ථීර ලෝකයක ජීවත්වෙන අප හැම දෙයක්ම ස්ථිර කරගෙන ජීවත්වෙන එක ඉතාම භයානකයි.

අද අද එයි මරු පින් කර ගන්නේ කියන දේයි බුද්ධ දේශනාව. ඒ සියලු දෙයටම වඩා හිත හදාගෙන කුසලය වැඩි කරගෙන ප්‍රඥාව මෝදු කරගෙන ධර්ම මාර්ගයට යොමු වෙලා සුවපත් භාවය ලබන්නට අපි උත්සාහ කළ යුතුමයි. ඒ නිසා අපි අධිෂ්ඨානයක් ඇතිකර ගනිමු මේ ඝෝර සසරින් එතෙර වීමට. ඒ සඳහා අපට භාග්‍යය උදාවේවා. බුද්ධ, ධම්ම, සංඝ ආශිර්වාදයෙන් අප හැම දෙනාම සුවපත් වේවා.

නයනා නිල්මිණි

 

   ඇසළ අව අටවක පෝය

ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වැනිදා සිකුරාදා

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]