UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එදිනෙදා ජීවිතයට පරිත්‍යාගය

එදිනෙදා ජීවිතයට පරිත්‍යාගය

පරිත්‍යාගය පිළිබඳව ධර්මානුකූලව කතා කළ අපි අද අපේ කතාව ආරම්භ කරමු එදිනෙදා ජීවිතවලින්. මේ ධර්ම කතාවෙන් වඩාත් ආමන්ත්‍රණය කරනුයේ ගිහි පිරිසකටයි. ඒ නිසා ම ඔබගෙ වචනවලින් නම් ‘‘ගිනි ගෙදරක් බදු ගිහි ගෙදරක වෙසෙන යම් විටෙක හුස්ම ගන්නටවත් වෙලාවක් නැති තරමට ම වැඩකටයුතු කාර්යය බහුලයි, පවසන දෙමාපියෝ, දරුවෝ, ස්වාමිභාර්යා ආදී වශයෙන් යුතුකම් කරන්න රැයක් දවාලක් නැතිව වෙහෙසෙන පිරිසකටයි මේ ආමන්ත්‍රණය කරන්නෙ.’’

මේ ආකාරයෙන් ඉහත සඳහන් කළ උපමා වචනවලින් ම, නොසන්සුන් වූ ජීවිතවල ව්‍යාකූල වූ සිතිවිලිවලින් ඇති වූ අදහස් පෙළක් අරගෙනමයි ඒ සඳහන් කළේ. ඒ ඔබ ධර්ම කතාවට වඩාත් ලංකරගන්නට පහසුවීම පිණිසයි.

නොසන්සුන් වූ හෝ ව්‍යාකූල වූ හෝ වැඩකටයුතු බහුල වූ හෝ මොනවා කරන්නට දැයි සිතාගන්නට බැරි යැයි පවසන අයකුට හෝ ජීවිතයකට සමාජයේ යම් වූ ද කෙනෙකුගෙන් පරිත්‍යාගයක් ලැබුණොත් ඒ ජීවිතයට මහත් වූ ම උපකාරයක් වේවි. කුමක් වෙනුවෙන් ද? ජීවිතයේ ස්වල්ප වූ හෝ සැනසිල්ලක්, සංතෘෂ්ටියක්, ලබන්නටයි. මේ කතාවට ඔබේ ජීවිතයේත් උපමාවක් හෝ අත්දැකීමක් තිබෙන්නට පුළුවනි. ඒ කුමක් ද?

“ඔබෙන් මට මොනවා නොලැබුණත් කමක් නැහැ. පින් සිදුවෙයි ටික වෙලාවක් මම කියන මේ දේ අහගෙන ඉන්න. මම මේ දේ කීවාට පසුව යම් විටෙක ඔබට මට දෙන්නට පිළිතුරක් නැතිවේවි. උපකාරයක් කරන්නට බැරිවේවි. එනමුත් මගේ සිතේ තියෙන දේ ඔළුවෙ තියෙන දේ කාටහරි හිතවන්ත කෙනෙකුට කියන්න අවශ්‍යයයි. මම ගැනවත්, මගේ පවුලේ අය ගැනවත් අමනාපයක් සිතන්නෙ නැති, අවමන් කරන්නෙ නැති, මා ගැන වරදවා සිතන්නේ නැති. සිතිවිල්ලකින් හෝ මට යහපතක් වේවා යැයි සිතන අයෙකුට මගේ සිතේ තියෙන බර කියල නිදහස් වෙන්න අවශ්‍යයයි. ඔබට පුළුවන් ද? ටික වෙලාවක් මට ඇහුම්කන් දෙන්න. සමහර වෙලාවකට ඔබට අම්මා කෙනෙක් වගේ, පිය කෙනෙක් වගේ ම ට ඇහුම්කන් දෙන්න පුළුවන් වෙයි. සමහර වෙලාවකට මගේ ම සොහොයුරෙක්, සොහොයුරියක් සේ මට ඇහුම්කන් දෙන්න පුළුවන් වෙයි. මට ඇහුම්කන් දෙන්න. මේ කතාව තුළ ඉල්ලා සිටින්නේ යම් වූ ද පරිත්‍යාගයක් අවශ්‍යය බවයි.

එවන් වූ සිතක තිබෙන ඒ බර හෝ දුක වචනවලින් එළියට එන විට දීර්ඝ හා කෙටි සුසුම් පොද හා සමගින් ඔබට පුළුවනි නම් සංසුන්ව, කාරුණික වූ ලෙන්ගතු හදවතකින් ඔහුට හෝ ඇයට ඇහුම්කන් දී ඒ හදවතේ වේදනාව නිවාගන්නට, සනසාගන්නට උපකාර වෙන්නට, ඔබ ඉහළම පරිත්‍යාගයක් කරන කැපකිරීමක් කරන සද්පුරුෂ මනුෂ්‍යයකුයි.

මෙම අදහස් පෙළ යම් වූ ද ස්වාමි පුත්‍රයකුගෙන් ස්වාමි දියණියකට පැවසෙන වදනක් වෙන්නට පුළුවනි. යම් වූ ද ස්වාමි දියණියකගෙන් ස්වාමි පුත්‍රයකුට පැවසෙන වදනක් වෙන්නට පුළුවනි. වර්තමාන පරිසරය තුළ සම්මතයෙන් විවාහ ජීවිතය ගත කළත්, ඔවුනොවුන්ගේ සිත්වල තිබෙන දෑ කියා ගන්නට කෙනෙක් සොයා ගන්නට බැරිව පවුල් ජීවිතවලම වෙසෙන බව ඔබ බොහෝ කෙනෙකුට තේරුම්ගන්නට පුළුවනි. දෙදෙනෙක් විවාහ ජීවිතයකට එකතු වෙලා ජීවිතවල කෙලවර දක්වා ම දුක - සැප බෙදාගෙන ඔවුනොවුන්ට පිහිට වෙමින් ජීවිතය පවත්වනවා යැයි අදහස් ඇති කරන බව සාමාන්‍යයෙන් සම්මතයේ තියෙනවා. එනමුත් ස්වාමිපුත්‍රයෙකුට ස්වාමිදියණියකට ඔවුනොවුන් වෙනුවෙන් එවැනි පරිත්‍යාගයක්, කැපකිරීමක් කරන්න බැරි නම් ඒක ජීවිතයක මහත් වූ අඩුපාඩුවක් වෙන්නට පුළුවනි.

ඔබට දැන් මේ පවසන අදහස පැහැදිළි වෙන්නට ඕනෙ. එනම් ස්වාමියා බිරිඳ ඔවුනොවුන්ට ආහාරපානවලින්, මිල මුදලින්, යානවාහනවලින්, ගේදොර හදා ගැනීමෙන්, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් උපකාර කරන්න පුළුවනි. පරිත්‍යාග කරන්න පුළුවනි. දෙන්න පුළුවනි. එනමුත් සමහර විටක ඒ සියල්ලට ම වඩා ඔවුනොවුන් බලාපොරොත්තු වන්නේ හදවතට දැනෙන පරිත්‍යාගය, කැපකිරීමම බව ඔබට වැටෙහනවාද? එනම් යම්විටක ලෙන්ගතු බැලීමක්, සිත සුවපත් කරන වචනයක් වෙන්නට පුළුවනි. යම්විටක සමීපව නොසිටියත් ඔවුනොවුන්ගේ හදවත්වලට දැනෙන කැප කිරීමක්, පරිත්‍යාගයක් වෙන්න පුළුවනි.

සමහර ස්වාමිදියණියක්, ස්වාමිපුත්‍රයෙක් ඔවුනොවුන්ටත්, දෙමාපියෝ දරුවන් ඔවුනොවුන්ටත්, සොහොයුරු සොයුරියන් ඔවුනොවුන්ටත් සමහර මනුෂ්‍යයෝ, ගමක, පළාතක වෙසෙමින් වෙන්නටත් පුළුවනි, ඔවුනොවුන් පවසන අදහස් පෙළ නම්, එනම් මිල මුදල් ධන ධාන්‍ය බොහෝ ලොකු දේවල් නැති වුණාට කමක් නැහැ. ඒ කිසිවක් නෙමෙයි මම ඉල්ලන්නෙ, අප බලාපොරොත්තු වෙන්නෙ, මේ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය සතුටින් ගත කරන්න. කරුණාවෙන්, මෛත්‍රීයෙන් සිතන්න පුළුවන් යහපත් ලෙස කතා කරන්න පුළුවන්, ඕනෑම ගැටලුවක් දෙස වුවත් ඉවසීමෙන් බලන්න පුළුවන් මනුෂ්‍යයෙක්, පුද්ගලයෙකු අවශ්‍යයයි. අන්න ඒ ටික තමයි මේ කැපකිරීම, පරිත්‍යාගය යන්නෙන් අදහස් කරන්නෙ.

අපේ ජීවිතවල සසරේ ස්වභාවය පටන් ම පවතින දැඩි ආශාවන් සංසිඳවල මට මගේ ආශාව, මගේ ඇලීම, තවත් කෙනෙක් වෙනුවෙන් සංසිදවල , තුනී කරල අන් අය වෙනුවෙන් ඒ දෙය සිතෙන් ම පරිත්‍යාග කරන්න පුළුවනි නම් එම ක්‍රියාව අනෙක් ජීවිතයකට මොනතරම් දැනෙන්නට පුළුවනි ද? මම වේල් තුන හතරක් කුසගින්නෙ හිටියත් තවත් කෙනකුගෙ කුස ගින්න දැකල, නිශ්ශබ්දව මගේ බත් පත ඔහුට දෙන්නට පුළුවනි නම් ඒ ක්‍රියාව මහත් වූ කැපකිරීමකි. පවුල් පරිසරය තුළ යහපත් වූ සැනසුනු ජීවිතවල කැපකිරීම මෙය නොවේද කියා ඔබට සිතෙන්නෙ නැද්ද?

එනම් සමහර දේවල් තමන්ගෙ දුක තමන්ගෙ ආශාවන්, බලාපොරොත්තු ඒවා සංසිඳවාගෙන කැපකරමින්, මම මේ සියල්ල මගේ මහත්තයා වෙනුවෙන්, කැප කරන්නෙ සිතේ සංතෘෂ්ටියෙන්. මගේ ජීවිතේත් බොහෝ බලාපොරොත්තු තිබුණ, මමත් කැමති මේ දේවල්වලට. එනමුත් කැමැත්ත අකැමැත්ත සොයන්නෙ නැතිව බලාපොරොත්තු පැත්තකින් තියල දරුවන්ගේ අම්මා වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් මම මගේ ජීවිතයේ බොහෝ දේවල් කැප කළා. එවන් වූ ජීවිතවල, පවුල් පරිසරය තුළ, ලෞකික වශයෙන් මොනතරම් නිවීමක්, සැනසීමක්, සමගියක්, සතුටක් තිබෙනවාද? එවන් ජීවිත සමාජයට මහත් වූ ද ආශිර්වාදයකි.

තවත් කොටසක් අගෝස්තු 14 ඇසළ අමාවක පෝදා



පසුගිය සතියෙන් - අපත් පුරුදු කරගත යුතු බෝසත් ගුණයක්

 

   ඇසළ අව අටවක පෝය

ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වැනිදා සිකුරාදා

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]