UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය පාලන මූලධර්ම

රාජ්‍ය පාලන මූලධර්ම

සෑම ක්ෂේත්‍රයක් සේම බුදුදහම දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කරයි. බෞද්ධ දේශපාලන දර්ශනය ධාර්මික ප්‍රතිපත්ති අගයමින් පාලකයා පරමාදර්ශීවීම අවධාරණය කරයි. පාලකයා එසේ නොවන විට සමස්තය පරිහානියට පත්වීම නොවැළැක්විය හැක්කකි. එහෙයින් සෑම බෞද්ධයෙකුගේම විශේෂ ප්‍රාර්ථනාවක් ඇත. එය නම් රජු ධාර්මික වීමයි.එසේ සිහිපත් කරන්නේ ඒ තුළ රටක් ලෙස ලැබෙන ආශිර්වාදය සලකා ගෙනය.

”දේවෝවස්සතු කාලේන
සස්සසම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ”

නිසිකලට වැසි ලැබී භෝග සම්පත්තීන් නිසි ලෙස ලැබී රට ස්වයංපෝෂිතවීම පාලනයේ යහපත මත සිදුවන්නකි. එසේ නොමැතිවූවිට ඇතිවන්නේ මීට හාත්පසින් විරුද්ධ තත්ත්වයකි. අතීතයේ නම් රජුද වර්තමානයේ නම් පාලකයා ඇතුළු අමාත්‍ය පිරිසත් ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව මෙන්ම පළාත් සභා පළාත් පාලන සියලුම නියෝජිතයන් ධාර්මිකවීම අවශ්‍යය. මන්දයත් වර්තමානයේ පවතිනුයේ සමූහාණුඩ ක්‍රමයක් හෙවත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයකි. රටවැසියන් සියල්ලන්ටම පාලනයට හවුල්විය නොහැකි නිසා තමන් වෙනුවෙන් අදාළ ආයතනයන්ට නියෝජිතයෙකු පත්කිරීමයි. මෙහිදී රටවැසියාට පරම වූ අයිතියක් නියෝජිතයා පත්කිරීම සම්බන්ධයෙන් ඇත. නැතහොත් වැරැදි කෙනෙකු පත්කිරීම තුළින් ඔහු සිදුකරන අයහපත් ක්‍රියාවන් නිසා තමන්ටද පාපයෙන් කොටසක් හිමිවේ. එපමණක් නොව බෞද්ධයන් ලෙස කර්ම විශ්වාස කරන හෙයින් අකුසල කර්මයක කොටස්කාරයෙකු බවට පත්වේ. එසේ හෙයින් බුද්ධිය හා ධර්මය යන කාරණා සියල්ල සලකා ගැනීම වැදගත්ය.

ගණ්ඩතින්දු ජාතකයෙන් පවා අවධාරණය වන්නේ අයහපත් පාලනයක අමිහිරි ප්‍රතිඵලයන් සමූහයකි. පාලකයා හදවතින් හෝ ආවේග මත තීරණ නොගෙන බුද්ධිමත්ව හා පටුසීමාවන්ගෙන් ඉවත්ව ක්‍රියාකරන්නෙකු විය යුතුය. පඤ්චාල රජු එසේ නොකිරීම නිසා මහා ව්‍යාසනයකට රට පරිවර්තනය විය. රජු සහ පුරෝහිත බමුණා තමන්ගේ රට පිළිබඳව ජනතාවගේ අදහස් විමසීමට තීරණය කළහ. වෙස්වලාගත් රජු ගමින් ගමට යන අතර තුර විවිධ කණ්ඩායම් මුණගැසිණි. පළමු වරට මුණගැසෙන මහලු මිනිසෙකු රජුට දොස් නගයි. එසේ දොස් නගන්නේ ඇයි දැයි ඇසුවිට ඔහු පැවසූ වේ රජුගේ ක්‍රියා කලාපය අයහපත් බවත් දවල් දවසේම අයබදු එකතු කරන්නන් තමන්ව පෙළන බවත් රාත්‍රියෙහි හොරුන් විසින් පීඩාවට පත්කරන බවත්ය. එහෙයින් ගේ වටා කටුපඳුරු ඇතිරූ බවත්ය. ඉන් කටුවක් තමාගේ පයේ ඇණුන බවත් රජුගේ අක්‍රමවත් නාස්තිකාර ආර්ථික පාලනය නිසා එසේ වූයේය. එහෙයින් රජුට දොස් නොකියා වෙනකාට දොස්කියන්නේද ? යනුවෙනි.

දෙවනවර මුණගැසෙන කාන්තාවද නොයෙක් දේ කියමින් රජුට දොස් කියන්නට විය. එසේ කීමට හේතු විමසූ විට ඇය පවසනුයේ මෙවැන්නකි. දීග දෙන වයසේ ගෑනු, ළමයි සිටින මට මුදල් යහමින් සම්පාදනයට බොහෝ මහන්සිවීමට සිදුවී ඇත. එහෙයින් දර කඩා ජීවත්වන මට වැඩියෙන් දර කැඩීමට ගොස් ඇද වැටී කොන්ද ඇනුණ බවත් එහෙයින් මෙසේ පීඩාවට පත්වූයේ රජුගේ පාලනයේ වැරැද්දෙනි. එහෙයින් රජුට දොස් කීම සාධාරණ බවත්ය. රජු ජනතා අවශ්‍යතා තේරුම් නොගැනීම නිසා මෙවන් තත්වයක් ඇතිවු බවය.

මෙසේ විවිධ අදහස් විමසමින් රජු බොහෝ ගම්මානවලට ගියහ. මේ සෑම තැනකදීම රජුට අසන්නට ලැබුණේ පාලනය පිළිබඳ වැරැදි සහගත තත්වයන්ය.අවසානයේ එක්තරා මැඩියන් දෙදෙනෙකුද රජුගේ දොස් කියමින් වතුර සිදුන වළෙහි සිටී. එසේ බණින්නෙ ඇයිද විමසූ විට ඔවුන් පවසනුයේ පාලකයා අධාර්මික බැවින් නිසිකලට වැසි නොලැබේ. ඒ නිසා විවිධ පක්ෂීන් දිය සිඳුන වළේ සිටින අපේ පැටවුන් ඩැහැගෙන යයි . එසේ වීමට සිදුවී ඇත්තේ රජු අධාර්මික බැවින් නිසිකලට වැසි නොලැබීම නිසාය.

මෙම සියලු කාරණා සැලකිල්ලට ගත් රජු තම නුවරට ගොස් දැහැමෙන් පාලනය මෙහෙය වූහ. මින් පැහැදිළිවන පරම සත්‍ය වනුයේ ආධාර්මික ක්‍රියා පිළිවෙත් ස්වභාව දහම පවා නොඉවසන බවයි. බලයට සියල්ල කළ හැකි යැයි සිතීම සත්‍යයෙන් තොර හුදු මිථ්‍යාවකි. පාලකයා පාලන කණ්ඩායම් වඩාත් අසාහසික ධාර්මික ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුය. මේ සඳහා උචිත මාර්ගයක් බුදුදහම අවධාරණය කරයි. පාලකයා තෝරා ගැනීමේදී පාට, පක්ෂ නොව මෙම ගුණධර්මයන් යම් පමණක් හෝ තිබේදැයි සලකා බැලීම යහපත්ය. එම ගුණ ධර්ම මෙසේය.

1.දසරාජ ධර්ම
2. දස සක්විතිවත්
3. සප්ත අපරිහානී ධර්ම
4. සතර සංග්‍රහ වස්තු
5.සතර බ්‍රහ්ම විහරණ
6. පඤ්චශීල ප්‍රතිපදාව
7. සතර අගතියෙන් ඉවත්වීම

තම නියෝජිතයා මෙම ගුණයන්ගෙන් කෙතෙක් දුරට ස්වයංපෝෂිතද යන්න අප සොයා බැලිය යුතුය. ධර්මාශෝක රාජ්‍ය ප්‍රතිපත්තිය හා මෑතකදී විශ්‍රාමගත් උරුගුවේ හිටපු ජනාධිපති පරමාදර්ශී චරිතයන්ය.ඉහත සංකල්ප අශෝක රජු තම ප්‍රතිපත්තීන් කොට සැලකූහ. ඒ පමණක් නොව සමස්ත රටවැසියාම තම දරුවන් ලෙස සැලකූහ. “සවේ මානුසා මම පජා “ වචන යේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමා තාත්තා කෙනෙකු විය. පාලකයා තම දරුවන්ට සේම රටවැසියාටද යුතුකම් ඉටු කළ යුතුය. උරුගුවේ හිටපු ජනාධිපතිතුමන්ද තම වැටුපෙන් පවා 90% ක්ම සුබසාධනයට යොමු කළහ. පාලකයා සැබෑ නම් මෙසේ විය යුතුමය.

ඉහත ගුණයන් සංක්ෂිප්තව ගතහොත් පාලකයා තෝරා ගැනීම ඉතා පහසුය. ජනතා සුබසාධන හෙවත් පුද්ගලයා සමෘද්ධිමත් කිරීම පාලනයේ යුතුකමක් වන අතර එය දසරාජ ධර්ම හා සංග්‍රහ වස්තුවල දානයයි. තම වාසිතකා යම් යම් දේ අල්ලස් ලෙස ලබාදීම දානය නොවේ. පාලකයා චරිතවත් පුද්ගලයෙකු විය යුතුය. එසේ නොමැතිවූ විට මහජන මුදල් අයහපත ට යොමුවනවා පමණක් නොව නොසුදුසු අය පාලනයට හවුල් කරගැනීමට සිදුවේ. සීලය තුළ එසේ අයහපතට පත් නොවේ’. ඍජු , මෘදු, තපස යන රාජ ධර්මයන්ද පාලකයා තුළ තිබීම වැදගත්ය. පක්ෂග්‍රාහි නොවී , නීතිය අබිබවා නොයා නිවැරදි තීරණ ගැනීම අවශ්‍යය. ආවේගශීලි නොවී මානසික ශික්ෂණයකින් යුතුව කටයුතු කිරීම වැදගත්ය. අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම යන රාජධර්මයන් පුද්ගලයා තුළ තිබිය යුතුය. පළිගැනීම් රටවැසියා අනවශ්‍ය ලෙස පීඩාවට පත්කිරීමේ වලින් ඉවත්ව අනවශ්‍ය බදු බරෙන් ජනතාව නිදහස් කිරීම පාලන යුතුකමකි. තමන් පත්කර යවන පාලකයා එවැන්නෙක්ද යන බව අතීතය හා අනාගතය සසඳාලමින් තේරුම් ගැනීමට ජනතාව සමත්විය යුතුය.

සප්ත අපරිහානි ධර්ම සාමූහික පාලනයකදී අත්‍යවශ්‍යය. එය ඉහළ සිට පහළට වලංගු කාරණයකි. ලිච්ඡවීන්ගේ දියුණූවේ රහස මෙයයි. රටක තීරණ ගන්නා පිරිස නිවැරදිවීමට නම් අන් මත ඉවසමින් ඔවුන්ට අවස්ථාව සැලසිය යුතුය. එසේ රැස්නොවී තම මතය නිවැරදි යැයි සිතමින් සීමිත පිරිසක් ලං කරගනිමින් කටයුතු කිරීම යහපත් නොවේ’. එහිදී රටක් ලෙස ඉදිරියට යාමට ඇති අවස්ථා දුලබය. රාජ්‍ය පාලනයට තෝරාපත් කර එවිය යුත්තේ සුහදව කටයුතු කළ හැකි අන්‍යමත ඉවසන චරිතවත් පුද්ගලයන්ය. එවිට සප්ත අපරිහානි ධර්ම ක්‍රියාත්මක කිරීම පහසුය.

සතර සංග්‍රහවස්තු සහ සතර බ්‍රහ්මවිහරණ යහපත් පාලන මූලධර්මයකි. පඤ්චාලි රජු ජනතාවගේ අප්‍රසාදයට පත්වීමට ප්‍රබලම හේතුව වූයේ මෙම ගුණධර්ම පාලන තන්ත්‍රය තුළ නොතිබූ හෙයිනි. පරිත්‍යාගයන් සිදුකිරීමත් සමාන කණ්ඩායම්වලට සමානව සැලකීම වැදගත්ය. මූණ බලා හෝ ඤාතිකම් පදනම් කොට ගනිමින් අයහපත් ක්‍රියාවන් සාධාරණීය කරණය කිරීම පාලකයෙකුට තරම් නොවේ. එසේ නිරන්තරව පි‍්‍රයවචන යහපත්වචන කථාකරමින් ජනතාවට ආදර්ශයක් සැපයීම පාලකයාගේ යුතුකමයි. වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ඒ බව ඔප්පුකර පෙන්වාදීම පාලකයාගේ යුතුකමක් වේ. එසේ නොවන්නන් පාලනයට සම්බන්ධ නොකිරීමට වගබලා ගැනීමේ අයිතිය රටවැසියාට ඇත. ඉහත කාරණා කෙසේ වෙතත් අවම පඤ්චශීල ප්‍රතිපදාව හෝ රකින්නෙකු පාලනයට සම්බන්ධ කිරීම වැදගත්ය. එසේ නොමැතිවූ විට බෞද්ධයන් වන අප ප්‍රාර්ථනා කරන ධාර්මික රාජ්‍ය කිසිදිනක යථාර්ථයක් නොවනු ඇත. ජාතක පොතෙහි ඇතුළත් ගණ්ඩතින්දු ජාතකයෙන් පැහැදිලි වන්නේ එම තත්වයයි. එහෙයින් යහපත් රාජ්‍යයක් ඇති කරගැනීමට යහපත් ආණ්ඩුවක් බලයට ගෙන ඒමට සැවොම වීර්ය වඩත්වා!

(ගණ්ඩ තින්දු ජාතකය ඇසුරිනි)

 

   ඇසළ අව අටවක පෝය

ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වැනිදා සිකුරාදා

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]