UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහම හා මාර සංකල්පය 21 බුදුරදුන්ට පිරිනිවන් පාන ලෙස මාරයා ආයාචනය කරයි

බුදුදහම හා මාර සංකල්පය 21

බුදුරදුන්ට පිරිනිවන් පාන ලෙස මාරයා ආයාචනය කරයි

පසුගිය ඇසළ පුර අටවක පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ සංයුත්ත නිකායේ භික්ඛුණී සංයුත්තයට අයත් ‘උපචාලා’ සූත්‍රය විමසා බැලීමටයි. එහි ඇතුළත් වූයේ අන්ධ වනයෙහි හුදකලාව බවුන් විවේකීව සිටි උපචාලා භික්ෂුණීය හමුවට මාරයා පැමිණ එතුමියට දෙව් ලොව පිළිබඳව වර්ණනා කොට එහි උපදින්නට යැයි උපදෙස් දුන් අවස්ථාවකි.

අද දින අපගේ සාකච්ඡාවට බඳුන් වන්නේ බුදුරදුන්ට පිරිනිවන් පාන ලෙස පාපී මාරයා ආයාචනය කළ අවස්ථාව පිළිබඳ කරුණු ඇතුළත් වන අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් ආයු සංඛාරොස්සජන සූත්‍රය හෙවත් භූමිචාලක හේතු සූත්‍රය විමසා බැලීමටයි. මෙහි ඇතුළත් ධර්ම කරුණු දීඝනිකායෙහි ඇතුළත් මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි ද මෙලෙස ම විස්තර වෙයි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර ආසන්නයේ මහා වනයෙහි කූටාගාර ශාලවෙහි වැඩ වසන සේක. දිනක් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙන, විශාලා නගරයෙහි පිඬු පිණිස හැසුරුණ සේක. විශාලාවෙහි පිඬු පිණිස හැසිර, සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, ආනන්ද හිමියන් ඇමතූ සේක. ‘ආනන්දය, හිඳගන්නා ඇතිරිල්ල ගන්න. චාපාල චෛත්‍යස්ථානය යම් තැනක ද, දිවා විහරණය පිණිස එහි යන්නෙමු.’ ‘එසේ ය, ස්වාමිනි,’යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දී, වැඩ හිඳින ඇතිරිල්ල රැගෙන භාග්‍යවතුන් වහන්සේට පිටුපසින් වැඩියහ. ගියේ ය.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානය යම් තැනක ද, එතැන්හි වැඩි සේක. එසේ වැඩ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩහිඳ, ආනන්ද හිමියන් ඇමතූ සේක.

ආනන්දය, විශාලාව සිත් කලුය. උදේනි චෛත්‍ය ස්ථානය සිත් කලුය. ගෝතමක චෛත්‍ය ස්ථානය සිත් කලුය. බහුපුත්‍ර චෛත්‍ය ස්ථානය සිත් කලුය. සත්තම්බක චෛත්‍ය ස්ථානය සිත් කලුය. සාරන්දදම් චෛත්‍ය ස්ථානය සිත් කලුය. දාපාල චෛත්‍ය ස්ථානය සිත් කලුය. ආනන්දය, යම් කිසිවකු සතර ඍධිපාදයෝ වඩනා ලද්දාහු, බහුල වශයෙන් පුරුදු කරන ලද්දාහු, බොහෝ පුරුදු කරන ලද්දාහු, අඩිතාලමක් මෙන් කරන ලද්දාහු, නොනැඟිට පුරුදු කරන ලද්දාහු වෙත් ද, ආනන්දය, හෙතෙම ඉදින් කැමති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකිය. ‘ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් සතර (ඡන්ද, චිත්ත, විරිය, වීමංසා) ඍද්ධිපාදයෝ වඩන ලදී. බහුල වශයෙන් පුරුදු කරන ලදී. අඩිතාලමක් මෙන් කරන ලදී. ආනන්දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකිය.’

යස්ස කස්සවි, ආනන්ද, වත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා
අනුට්ඨිතා පරිවිතා සුසමාරද්ධා, ආකඩ්ඛමානො සො, ආනන්ද, කප්පං වා තිට්ඨෙය්‍ය
ප්පාවසෙසං වා. තථාගතස්ස ඛො, ආනන්ද, වත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා
යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිවිතා සුසමාරද්ධා, ආකඩ්ඛමානො, ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසෙසං වා’ති.

භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරටද, තුන්වෙනි වරටද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අමතා මෙසේ වදාළහ.

‘මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම වැදගත් දහම් කරුණු දැක්වීමේ දී ආනන්ද හිමියන්ට එම දහම් කරුණු අවබෝධ කරගන්ට නොහැකි විය. උන්වහන්සේ මාරයා විසින් වසන ලද සිත් ඇති බැවින්, ‘ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. ස්වාමිනි, සුගතයන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස’ යයි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා නොකෙළේය.

එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔහාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ජතුං, න භගවන්තං යාචි. ‘තිට්ඨතු, භන්තෙ, භගවා කප්පං,

තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජන සුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’ න්ති, යථා තං මාරෙන පරියුට්ඨිතවිත්තො.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන් ඇමතූ සේක. ‘ආනන්දය, යන්න. ඔබ දැන් කාලය දැනගන්න. ‘එසේ ය, ස්වාමිනි,’යි ආනන්ද හිමියන් ප්‍රති වචන දී, අස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්ෂිණාකොට භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එක්තරා ගසක් මුල හිඳ ගත්හ.

ඉක්බිති පාපී වූ මාරයා ආනන්ද හිමියන් බැහැර ගොස් ටික වේලාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. ‘ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමිනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ප්‍රකාශ කරන ලද්දේ නොවේද, එනම් යම්තාක් මාගේ භික්ෂු ශ්‍රාවකයෝ, භික්ෂුණි ශ්‍රාවිකාවෝ, උපාසක ශ්‍රාවකයෝ, උපාසික ශ්‍රාවිකාවෝ යන සිව් පිරිස ව්‍යක්ත වූ, විනීත වූ, විශාරද වූ, පැමිණි නිවන ඇති, බහුශ්‍රැත වූ, ධර්මධර වූ, ධර්මානුධම්ම ප්‍රතිපන්න වූ, නිවැරදි පිළිවෙත් ඇති, ධර්මය අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාර්යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකරද්ද, දේශනා නොකරද්ද, නොපනවද්ද, නොතබද්ද, විවෘත නොකරද්ද, ප්‍රකට නොකරද්ද, උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහකොට ප්‍රාතිහාර්යය සහිතව ධර්මය දේශනා නොකරද්ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යනුවෙනි. ‘ස්වාමිනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂු ශ්‍රාවකයෝ ව්‍යක්ත වූ, විනීත වූ, විශාරද වූ, පැමිණි නිවන ඇති, බහුශ්‍රැත වූ, ධර්මධර වූ, ධර්මානුධම්ම ප්‍රතිපන්න වූ, නිවැරදි ප්‍රතිඥාව ඇති, ධර්මය අනුව හැසිරෙන්නෝ වෙති. ස්වකීය ආචාර්යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකර, දේශනා කෙරෙති. පණවති, තබති, විවෘත කෙරෙති, ප්‍රකට කෙරෙති, උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාර්යය සහිතව ධර්මය දේශනා කෙරෙති.

පාපී වූ මාරය, ඔබ උත්සාහ නොකරව, ටික කලකින් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම සිදුවන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පිරිනිවීම සිදුවන්නේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයෙහි සිහි ඇත්තේ, විමසන නුවණැත්තේ, ආයුසංස්කාර හැරියෝ ය. භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය හළ කල්හි මහා භූමි චලනයක් විය. භියජනක වූ, ලොමු ඩැහැ ගන්නා වූ, අහස් ගිගුරුමක් ද ඇතිවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.

‘තුලමතුලඤ්ච සම්භවං, භවඩ්ඛාරමවස්සජි මුනි,
අජ්ඣත්තරතො සමාහිතො, අභින්ද කවචමිවත්තසම්භවන්ති.

‘බුද්ධ වූ මුනිතෙම පුනර්භවය (නැවත ඉපදීම) ඇති කරන කාමාවචර රූපාවචර කර්මද, අරූපාවචර කර්ම ද, නිරාලයට හැර දැමීය. රණ බිමක මහා යෝධයකු සන්නාහයක් බිඳලන්නා සේ විදර්ශනා භාවනාවේ ඇලුනේ, සමථ භාවනාවෙහි යෙදුනේ, ආධ්‍යාත්මික ක්ලේශ රාශිය බිඳලීය.’

ඉක්බිති ආනන්ද හිමියන්ට මේ අදහස විය. මේ භූමි චලනය විශාල විය. ඒකාන්තයෙන් ම මේ භූමි චලනය මහත් එකක් විය. භය උපදවන, ලොමු ඩැහැගන්වන, අහස් ගිගුරුමක් ද ඇතිවිය. මේ මහත් භූමි චලනයක් ඇතිවීමට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේද? ඉක්බිති ආනන්ද හිමියන්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නා වූ ආනන්ද හිමියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ. ‘ස්වාමිනි, මේ භූමි චලනය විශාල විය. ස්වාමිනි, ඒකාන්තයෙන් ම මේ භූමි චලනය මහත් එකක් විය. භය උපදවන, ලොමු ඩැහැගන්වන, අහස් ගිගුරුමක් ද ඇතිවිය. ස්වාමිනි, මේ මහත් භූමි චලනයක් ඇතිවීමට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේද’?

මතු සම්බන්ධයි


බුදුදහම හා මාර සංකල්පය 20 - උපචාලා භික්ෂුණියට මාරයා දෙව්ලොව උපදින්නට කියයි

 

   ඇසළ අව අටවක පෝය

ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වැනිදා සිකුරාදා

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]