UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමයි ගිහි දිවියයි 17 මව්පියන්ට ගරු කිරීමේ අනුසස්

බුදු දහමයි ගිහි දිවියයි 17

මව්පියන්ට ගරු කිරීමේ අනුසස්

මව්පියෝ පෙරදිග ලෙස හඳුන්වා වදාළේ.දරුවනට සකලාර්ථ සිද්ධියම එතුමන්ගෙන් ලැබෙන බැවින්ය. පෙරදිග සංඛ්‍යාත මව්පියන්ට පස් ආකාරයකින් දූ දරුවන් විසින් සංග්‍රහ කළ යුතුය.

“යෝ මාතරං වා පිතරං වා
මච්චෝ ධම්මේන පොසති
ඉධේචනං පසංසන්ති
පෙච්චසග්ගේ පමෝදති”

යමෙක් මව හෝ පියා හෝ ධර්මයෙන් පෝෂණය කෙරේද? ඔහුට මේ ලෝකවාසීන් පසසයි. හෙතෙම මරණින් මතු දෙවි ලොව ඉපිද ප්‍රමුදිත වෙයි. සතුටු වෙයි යනු ගාථාවෙන් ප්‍රකාශවන අදහසයි.

දිළිඳු මව්පියන් භක්තියෙන් රැකබලාගත් පුතෙකු මඛාදේව නම් යක්ෂයාට බිලි පිණිස ගියේ ජීවිත ලාභයටත්, රාජ ගෞරවයටත් රටවාසීන්ගේ දයානුකම්පාවටත් පාත්‍ර විය. සාම කුමාරයා මව්පිය උපස්ථාන බලයෙන් ශරීරගත විෂ අමෘත බවට පමුණුවාගෙන අඳ මව්පියන්ට නෙත් ලබාදීමා දියෙන් විශ්මයජනක දෑ ඒ ආත්මයේදෘම කළේය. සද්පුරුෂයන්ගේ ආශිර්වාදය මව්පිය උපස්ථානය කරන දරුවන්ට ලැබේ.අමනුෂ්‍ය පීඩා, සොරසතුරු පීඩා ඇති නොවේ. ස්වකීය දූ දරුවෝ තමන්ට නියම උපස්ථානය නොපිරිහෙලා ඉටුකරති. දේවාභිවාදනයත්, සියලු සැපත් මව්පිය උපස්ථානයෙන් ලබා ගැනීමට පුළුවන් වේ.

මව්පියන්ට නියම ගරු සම්මාන නොදක්වන දරුවන් වසලයන් බව වසල සූත්‍රයේ සඳහන් කරන ලදී.

“යො මාතරං වා පිතරංවා
ඡින්නකං ගත යොබ්බනං
පහුසන්තෝ න භරති
තං පරාභවතෝ මුඛං”

උභය ලෝක පරිහානියට හේතුවන කරුණු දේශනා කළ පරාභව සූත්‍රයේදී මව්පිය උපස්ථානය නොකරන අය දෙව්ලොවින් පිරිහෙන බව දක්වා වදාළ සේක. පෙර දඹදිව මව්පියන්ට පුද පූජා නොපවත්වන දරුවන්ට මරණීය දඬුවම සම්මතව තිබුණ බවට නිදසුන් ඇත. මෙලොව අපකීර්තියටත් පරලොව සතර අපාදුකටත් හේතුවන බලවත් වරදක් බැවින් මව්පියන්ට අපහාස නොකිරීමට දූ දරුවෝ දැන සිටිය යුතුය.

මව්පියෝ පෙරදිග ලෙස හඳුන්වා වදාළේ.දරුවනට සකලාර්ථ සිද්ධියම එතුමන්ගෙන් ලැබෙන බැවින්ය. පෙරදිග සංඛ්‍යාත මව්පියන්ට පස් ආකාරයකින් දූ දරුවන් විසින් සංග්‍රහ කළ යුතුය.

1.භතෝ නෙසං භරිස්සාමි
2.කිච්චං නෙසං කරිස්සාමි
3.කුලවංසං ඨපෙස්සාමි
4.දායජ්ජං පටිපජ්ජාමි
5.පේතානං කාලකතානං දක්ඛිණං අනුපදස්සාමි

මේ කාලය මව්පියන්ට සැලකීම අතින් සමාජය ඉතා දුර්වල මට්ටමක පවතින බව අතිශය කනගාටුවෙන් කියනු කැමැත්තෙමු. මව්පියවරුන්ට වැඳීම වෙනුවට තාඩන පීඩනාදිය කිරීමටත් නිග්‍රහ කිරීමටත් ඇතැමෙක් පුරුදුව සිටිති. ඇතැම් දරුවන් දෙමාපියන් ස්වකීය වැඩපළ කරවා ගැනීමටත්, දාසයන් ලෙස යොදාගන්නා අවස්ථාද ඇත. මව්පියන්ට වැඳීමෙන්, පිදීමෙන් පින්සිදුවන්නාක් මෙන්ම හිංසා පීඩාදිය කිරීම බලවත් පාපකර්මයකි.

මව්පියන්ගේ ජීවිත විනාශ කිරීම අනතුරු ආත්මභාවයන්හිදී අවීචි මහා නරකයෙහි උපදවා දුක්විඳුවන මහා සාවද්‍ය ආනන්තරිය අකුසලයකි. අදූරදර්ශී අඥානයන් හුදු ලාභාපේක්ෂාවෙන් හෝ ක්ෂණික කෝපයෙන් හෝ මව්පියවරුන්ට තැලීම පෙළීම ඔවුන්ගේ දිවිතොර කිරීම සිදු කෙරේ. එය බලවත් අකුසල කර්මයක් බව සලකා මව්පියන්ට නිති ගරු බුහුමන් දැක්විය යුතුය.

දෙමාපියන්ද දරුවන් ක්‍රමානුකූලව අපරාධකාරයන් නොවන ලෙස හැදීමට නම් දරුවන් තැනීමට පළමුව ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබිය යුතුය. පාප ක්‍රියාවන්ගෙන් වළකා සද්පුරුෂ ආශ්‍රයට මං සැලසීම ළමා කාලයේ පටන් මව්පියන් වැඩිහිටියන් සතු කාර්ය බව සළකත්වා, අයහපත් ආශ්‍රයට ඉඩ ලැබුණොත් එයින් සිදුවන විනාශකාරි තත්ත්වය පහදා ගැනීමට අජාසත්ත රජුගේ කථාව කදිම නිදසුනකි. පාප මිත්‍ර සේවනයෙන් යහපත අයහපත විසඳාගත නුහුනු අජාසත් පීතෘඝාතක අකුසල කර්මයෙන් අපාගත වී මේ තාක් දුක්විඳින්නේය.

දරුවන්ට, මව්පියන්ගේ මහඟු බව වැටහීමට කල් ගතවේ. මව්පිය තනතුරට පත්වන තෙක් මව්පිය අගය නොවැටහෙන්නේය. දෙගුරුන්ගේ අගය අවබෝධවන කාලය වන විට ඇතමුන්ගේ මව්පියවරු ජීවතුන් අතර නොමැත. පසුව පසුතැවිලිවීමට හේතුවන බැවින් කුඩා කාලයේ පටන්ම මව්පිය උපස්ථානය පුරුදු කිරීමට සියලු දෙනා උත්සාහවත් විය යුතුය.

පින්වත් දරුවන් සිය දෙමාපියන්ට උපස්ථානය කළ ආකාරය දැක්වීමට එක්තරා නිදසුන් කථාවක් දක්වමි. පෙර ලක්දිව විසූ පින්වත් රජදරුවෝ මව්පියන්ට කෙසේ උවටැන් කළාහුදැයි අගබෝ රජුගේ කථාවෙන් තේරුම් ගැනීමට අවකාශය ලැබේ. දවසකට දෙවරක් මෑණියන්ට වැඳීම මේ රජතුමාගේ දිනචරියාවේ එක් කොටසක් විය. සියතින්ම ආහාරපාන කවා පොවා ඉතිරි කොටස අග්‍ර භෝජනය ලෙස අනුභව කළේය. සියතින් නාවා හදින පළඳින ඇඳුම් සියතින්ම සෝදා පිරිසුදු කළේ ය. රාත්‍රි නින්දට පළමුව මෑණියන්ට තෙවරක් ප්‍රදක්ෂිණා කොට වහාම මැණියන්ගේ සැපදුක් විචාරයි. දහසක් වැඩ ඇති මොහොතක් විවේක නැති ඔටුණු පලන් රජදරුවෝ මෙසේ මව්පිය ගුණ සැළකූහ.

අනවකාශය කියා හෝ වෙන උපස්ථායකයෝ සිටිය කියා හෝ අගනා පුණ්‍ය කර්මයක් පැහැර හැරියහොත් මහාර්ඝ සම්පත් අත්හරින නිවටුන් සේ දුක්වන්නාහ. පුණ්‍යාර්තීන්ට පින් කර ගැනීමට මේ ලෝකයෙහි පුණ්‍යක්ෂේත්‍ර සතරක් ඇත්තේය. බුදුවරයෝය. බුද්ධශ්‍රාවකයෝය. මෑණියෝය. පියාණෝ ය. යනු ඒ සතරය.බුදුවරයන් පහළ වීමෙන් බුද්ධශ්‍රාවකයන්ද ඇතිවේ.

එබඳු කාලයක් ලෝකයෙහි ඇති වනුයේ කාලාන්තරයකින්ය. දෙමාපියෝ එසේ නොව පහසුවෙන් ලබාගත හැකි වුවද, සසර වසනතාක් කල් මහෝපකාරි වන්නාවු උතුමෝය. මව්පියන්ට නොසලකන දරුවන්ට සමාජයෙන් නොයෙක් දඬුවම් පැවරූ කාලයක්ද විය. බුද්ධ කාලයේ පුතුන් සිව් දෙනෙකුගේ පියෙකු නිසා දරුවන්ට දඬුවම් ලැබෙන තැනට මං සැළසුණේය.මේ දරුවන්ගේ මව් මියගියාට පසුව දරුවන් මැනවින් සිය පියාට උපස්ථාන කොට පියා සතු හාරලක්ෂයක් පමණ ධනය ඔවුන් බෙදා ගත්හ. වස්තුව බෙදාගැනීමෙන් පසුව අපට වැඩියෙන් වස්තුව නුදුන්නේය. සැමදාම උපස්ථාන කළ නොහැක. මේ ආදි කියා සිව් දෙනා විසින්ම පියාට සංග්‍රහ නොකරන ලදී. අසරණ වූ පියා ගෙයක් පාසා සිඟාකමින් ජීවත් විය. දිනක් මේ මහලු පියා බුදුන් වෙත ගොස් විපත කියා පිහිටක් අයැද සිටියේය. බුදුරදුන් බ්‍රාහ්මණයාට ගාථා පසක් උගන්වා මහජනයා සිටින තැනකට ගොස් කියන්නැයි අවවාද දුන්හ. තථාගත නියමය පරිදි ක්‍රියාකළ බමුණාට මැනවින් දරුවන්ගෙන් උපස්ථාන ලැබෙන්නට විය. පසුව පියපුතු සියලු දෙනාම බුද්ධශ්‍රාවකයන් වී ධර්මාවබෝධය කළාහුය.


බුදු දහමයි ගිහි දිවියයි 16 -මව්පිය ගුණ

 

   ඇසළ අව අටවක පෝය

ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වැනිදා සිකුරාදා

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]