UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහම හා මාර සංකල්පය 20 උපචාලා භික්ෂුණියට මාරයා දෙව්ලොව උපදින්නට කියයි

බුදුදහම හා මාර සංකල්පය 20

උපචාලා භික්ෂුණියට මාරයා දෙව්ලොව උපදින්නට කියයි

උපචාලා භික්ෂුණිය හමුවට පැමිණෙන පාපී මාරයා ඒ උත්තමාවියගෙන් විමසා සිටින්නේ මරණින් මතු කුමන ස්ථානයක ඉපදීමට කැමති ද කියාය. ඒ උත්තමාවිය දෙනු ලබන පිළිතුර වනුයේ තමන් කිසිදු ස්ථානයක ඉපදීමට කැමැත්තක් නැති බවයි. එය රහත් උතුමන්ගේ ස්වභාවයයි. ඒ උතුමන් ජාතිය හෙවත් ඉපදීම නැති කරන ලදී.

පසුගිය පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ සංයුත්ත නිකායේ භික්ඛුණී සංයුත්තයට අයත් ‘සේලා’ සූත්‍රය විමසා බැලීමටයි. එහි ඇතුළත් වූයේ අන්ධ වනයෙහි හුදකලාව බවුන් විවේකීව සිටි සේලා භික්ෂුණිය හමුවට මාරයා පැමිණ ඒ උත්තමාවියගෙන් සත්වයාගේ හටගැනීමට හේතු කවරේද? එය කරන්නේ කවුද? ආදි වශයෙන් ප්‍රශ්න කළ අවස්ථාවකි. අද දින අප ඉදිරිපත් කරන්නේ අන්ධ වනයෙහි හුදකලාව බවුන් වඩමින් සිටි උපචාලා භික්ෂුණිය හමුවට මාරයා පැමිණ එතුමියට දෙව් ලොව පිළිබඳව වර්ණනා කොට එහි උපදින්නට යැයි උපදෙස් දුන් අවස්ථාවකි.

අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයේ සේලා භික්ෂුණිය මෙන් උපවාලා භික්ෂුණිය ද පෙරවරු කාලයේ පිඬු පිණිස සැවැත් නුවර හැසිර පස්වරු කාලයේ පිණ්ඩපාතයෙන් වැළකී දිවා විවේකය පිණිස අන්ධ වනයට වැඩම කොට එක් ගසක් මුල විවේකීව වැඩසිටිමින් කල් ගෙවු සේක. එම අවස්ථාවේ උපචාලා භික්ෂුණිය අන්ධ වනයෙහි හුදකලාව වැඩ සිටින බව දැනගත් පාපී මාරයා එම භික්ෂුණිය වැඩසිටින අන්ධ වනයට පැමිණ ඒ උත්තමාවියට ඇසෙනු පිණිස මෙසේ කීය.

“කත්වනුත්වං, භික්ඛුනි, උප්පජ්ජිතුකාමා’ති”

“මෙහෙණියනි, ඔබ කොහි උපදිනු කැමැත්තෝද?”

ඒ ඇසූ උපචාලා භික්ෂුණිය පාපී මාරයාට මෙසේ කීහ.

“න ඛ්වාහං, ආවුසො, කත්ථචි උප්පජ්ජිතුකාමා’ තී”

“ඇවැත්නි, මම වනාහි කොහේවත් උපදිනු නොකැමැත්තෙමියි” එවිට පාපී වූ මාරයා නැවතත් මෙසේ කීය.

“ තාවතිංසා ච යාමා ච, තුසිතා චාපි දෙවතා,

නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො,

තත්ථ චිත්තං පණිධෙහි, රතිං පච්චනුහොස්සසී’ තී.

තව්තිසා දෙව්ලෝ වැසි දෙවියෝද, යාම දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත දෙව්ලෝ වැසි දෙවියෝද, නිර්මාණ රති දෙව්ලෝ වැසි දෙවියෝද, වශවර්ති දෙව්ලෝ වැසි දෙවියෝද, යන යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි සිත පිහිටුවන්න. එවිට ඔබ එහි සැප විඳින්නෙහිය.

එයට පිළිතුරු වශයෙන් උපචාලා භික්ෂුණීය පාපී මාරයාට මෙසේ වදාළහ.

“ තාවතිංසා ච යාමා ච, තුසිතා වාපී දෙවතා,

නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො,

කාමඛන්ධනබද්ධා තෙ, එන්ති මාරවසං පුන.”

“සබ්බො ආදිපිතො ලොකො, සබ්බො ලොකො පධුපිතො,

සබ්බො පජිජලිතො ලොකො, සබ්බො ලොකො පකම්පිතො”

“අකම්පිතං අපජ්ජලිතං, අපුථුජ්ජනසෙව්තං,

අගති යත්ථ මාරස්ස, නත්ථ මෙ නිරතො මනො’ති

තව්තිසා, යාම, තුසිත, නිර්මානරති, වසවර්ති යන දෙව්ලෝ වැසි යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔහු කාම බැම්මෙන් බැඳුණෝ මරහුගේ වශයට නැවත එන්නාහ.

කෙලෙස් ගින්නෙන් මුළු ලොව ඇවිලගත්තේ ය. මුළු ලොව තැවුණේ ය. සියලු ලොව දිලිහි ගියේ ය. සියලු ලොව සැලී ගියේ ය.

යම් තැනක මාරයාට පිහිටා සිටිය නොහැකිද, නොසැලුණු, කම්පිත නොවූ, පෘථග්ජන නොවුවන් විසින් ආර්යයන් විසින් සෙවුනාලද යම් දහමෙක් ඇද්ද එහි ඒ නිවනෙහි මා සිත මුළුමනින් ඇලුණේය.

මෙයින් පරාජය පිළිගන්නා මාරයා උපචාලා භික්ෂුණිය මා හඳුනා ගත්තේ යැයි අසතුටු සිතින් යුතුව වහා එයින් පළා යයි.

චාලා උපචාලා හා සිසුපචාලා යන භික්ෂුණීන් තෙනම දම් සෙනවි සැරියුත් මහරහතන් වහන්සේගේ සහෝදරියන්ය. චාලා හා සිසුපචාලා යන භික්ෂුණීද අන්ධවනයෙහි හුදකලාව වෙසෙන අවස්ථාවන්හි මාරයා එහි පැමිණ ප්‍රශ්න කර ඇත. එම අවස්ථාද සංයුක්ත නිකායේ භික්ෂුණී සංයුත්තයේම සඳහන්ව ඇත.

උපචාලා භික්ෂුණිය හමුවට පැමිණෙන පාපී මාරයා ඒ උත්තමාවියගෙන් විමසා සිටින්නේ මරණින් මතු කුමන ස්ථානයක ඉපදීමට කැමති ද කියාය. ඒ උත්තමාවිය දෙනු ලබන පිළිතුර වනුයේ තමන් කිසිදු ස්ථානයක ඉපදීමට කැමැත්තක් නැති බවයි. එය රහත් උතුමන්ගේ ස්වභාවයයි. ඒ උතුමන් ජාතිය හෙවත් ඉපදීම නැති කරන ලදී. බඹසර වැස යුතු නිමකරන ලදී. කළයුතු සියල්ල කරන ලදී. එබැවින් නැවත ඉපදීමක් හෙවත් ආත්ම භාවයක් ලැබීමක් නැත. (බිණාජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථායාති පජානාති) යනුවෙන් දහමෙහි සඳහන් වන්නේ මෙම ස්වභාවයයි. මෙවන් ස්වභාවයෙන් යුක්ත වූ උපචාලා රහත් උත්තමාවියට දිව්‍ය ලෝක පිළිබඳ විස්තරයක් කොට එහි සිත අලවා උපදින ලෙස ප්‍රකාශ කරයි.

පාපී මාරයා

තව්තිසා දෙව්ලෝ වැසි දෙවියෝද, යාම දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත දෙව්ලෝ වැසි දෙවියෝද, නිර්මාණ රති දෙව්ලෝ වැසි දෙවියෝද, වශවර්ති දෙව්ලෝ වැසි දෙවියෝද, යන යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි සිත පිහිටුවන්න. එවිට ඔබ එහි සැප විඳින්නෙහිය.

එයට පිළිතුරු වශයෙන් උපචාලා රහත් භික්ෂුණීන් වහන්සේ දේව ලෝකයන්හි යථා ස්වභාවය මොනවට පසක් කරමින් මෙසේ පිළිතුරු දෙයි.

උපචාලා භික්ෂුණිය

තව්තිසා, යාම, තුසිත, නිර්මානරති, වසවර්ති යන දෙව්ලෝ වැසි යම් දෙව් කෙනෙක් ඇද්ද, ඔහු කාම බැම්මෙන් බැඳුණෝ මරහුගේ වසඟයට නැවත එන්නාහ. කෙලෙස් ගින්නෙන් මුළු ලොව ඇවිලගත්තේ ය. මුළු ලොව තැවුණේ ය. සියලු ලොව දිලිහි ගියේ ය. සියලු ලොව සැලී ගියේ ය. යම් තැනක මාරයාට පිහිටා සිටිය නොහැකිද, නොසැලුණු, කම්පිත නොවූ, පෘථග්ජන නොවුවන් විසින් ආර්යයන් විසින් සෙවුනාලද යම් දහමෙක් ඇද්ද එහි ඒ නිවනෙහි මා සිත මුළුමනින් ඇලුණේ ය.

මිනිසුන් දෙවියන් වශයෙන් දෙව් ලොව උපදින්නේ ඔවුන් කරන යම් යම් කුශල කර්මයන්ගේ බලවත් බව නිසා බව අප කවුරුත් දනිමු. එහෙත් එය නිෂ්ඨාවක් හෙවත් නිමාවක් නොවේ. තාවකාලික ආශ්වාදයක් ඇති තැනකි. එම කුශල කර්ම අවසන් වීමෙන් ඇතැම්විට දෙවියන් වශයෙන් උපන් අය දුගතිගාමී වීමට ද පුළුවනි. එබැවින් අප උත්සාහ කළ යුත්තේ දෙව් ලොව ඉපදීමට වඩා මේ උපන් උතුම් මිනිසත් බවෙන් උපරිම ප්‍රයෝජන ගෙන උතුම් නිවන් අවබෝධකර ගැනීමට බව උපචාලා භික්ෂුණියගේ කතාවෙන් අපට පැහැදිලි කර දෙයි.

මතු සම්බන්ධයි


බුදුදහම හා මාර සංකල්පය 19 - සේලා භික්ෂුණියගේ යොවුන් බව වර්ණනා කළ මාරයා

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]