UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්මතයන්ට පිටුපා හැඟීම්වලට වහල්වුවොත් පිරිහීම උරුමයයි

සම්මතයන්ට පිටුපා හැඟීම්වලට වහල්වුවොත් පිරිහීම උරුමයයි

පාප මිත්‍රයා සැම විටම පාපකාරි ක්‍රියාවන්ට තම සගයා ඇදගෙන යාමට උත්සාහ දරයි. අනිසි ස්ත්‍රී ඇසුර කරා ඔහු යොමු කරවන්නේද පාප මිත්‍රසේවනයයි. කල්‍යාණ මිත්‍රයන් කිසිවිටක එවන් අධම ක්‍රියාවන් අනුමත කරන්නේ නැත. එයින් වන විනාශය හානිය දකින ඔවුන් එයින් තම මිතුරා මුදාගනී.

වර්තමාන සමාජයේ බොහෝ අර්බුදයන්ට ආරම්භය සැකසෙන්නේ නිවසින්. නිවසේ අඹු සැමි විශ්වාසය නිසි පරිදි ඇති නොවන විට ඔවුනොවුන් අතර බැඳීම් අඩුවන විට එය එතැනින් නොනැවතී සමාජයටම ඇදී යයි. ස්වාමියාට භාර්යාව කෙරෙහි ක්‍රෝධය, වෛරය, උපදී.... භාර්යාවට ස්වාමියා කෙරෙහි ක්‍රෝධය, වෛරය උපදී. මෙය සමස්ත පවුල කෙරෙහිම බලපා අවසානයේ පරිහානිය උදාවෙයි. විශේෂයෙන්ම භාර්යාවන්ට ඉවසුම් නොදිය හැකි වරදක් වන්නේ තම සැමියා අන් ස්ත්‍රීන්ට ලොල්වීමය. ඔවුන් සමඟ අනිසි ඇසුරයි.

තම බිරිඳගෙන් තෘප්තිමත් නොවී කාමුක ආශාවන්ට වහල් වී ගිජු වී හැඟීම්වලට යටපත්ව එසේ අන් ස්ත්‍රීන් කරා යන්නා පිරිහෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ පරාභව සූත්‍රයේදීය.

සේහි දාරේහි සන්තුට්ඨෝ
වේසියාසු පදිස්සති
දිස්සති පරදාරේසු
තං පරාභවතො මුඛං

සිය භාර්යාවගෙන් සතුටු නොවී පර අඹුවන් කරා යන්නා පිරිහීමට පත්වන බව පරාභව සූත්‍රයේ මෙසේ දක්වා තිබෙනවා.

පර අඹුවන් කරා යාම තිරස්චීන අධම ක්‍රියාවක්. ශිෂ්ට සම්පන්න සමාජය එය පිළිකුල් කරයි. රැකියා ස්ථානයක නම් ඔවුන් සෙසු අයගේ සමච්චලයට ලක්වේ. තම රැකියා කටයුතු පවා නිසියාකාරව කර ගත නොහැකි වේ.

තමාට වඩා තනතුරින් පහළ සිටින්නන්ට පවා හිස නැමීමට සිදුවේ. තම භාර්යාවගෙන් ලිංගික සංසර්ගය ලබා ගැනීමෙන් සෑහීමට පත් නොවී අන්‍ය භාර්යාවන් කරා යාමෙන් සිදුවන්නේ කුමක්ද?

එමඟින් සිදුවන සමාජ අර්බුදය ගැන මැනවින් අවබෝධ කර ගත යුතුය. මෙයින් පවුල් දෙකක විශාල අභ්‍යන්තර අවුල් හට ගනී. එක් පවුලක ස්වාමි පුරුෂයා මානසික පීඩනයට ලක්වේ. අනෙක් පවුලේ භාර්යාව මානසික පීඩනයට ලක්වේ.

එවන් පවුල් දෙකක පසුබිම ගැන මඳක් සිතා බලන්න. නිරතුරුවම අඩදබර ඇතිවේ. ස්වාමි භාර්යා දූ දරු සබඳතා අඩපණ වී යයි. දෛනික වැඩ කටයුතු අඩපණ වෙයි. දරු දැරියන්ගේ අධ්‍යාපනික වැඩ කටයුතු අඩපණ වෙයි. සමස්තයක් ලෙස එය සමාජ උවදුරක් බවටම පත්වේ.

ඔවුනොවුන් තුළ සැමවිටම සැකය,අවිශ්වාසය හට ගනී. එමෙන්ම වර්තමානයේ ලෝකය පුරා වෙලාගත් මහා සාපයක් වු ‘ඒඩ්ස්’ වැනි භයානක රෝග පවා ඇති වන්නේ මේ අසම්මත ක්‍රමවේදය නිසාය. එසේ අන් ස්ත්‍රීන් කරා යන්නා තමාද නැසී අනුන්ද නසාලයි.

අසම්මතයේ හැසිරෙන පියාට තම දරුවන්ට අවවාද අනුශාසනා ලබා දීමට නොහැකිය. දූ දරුවන් ඔහුට අවනත නොවේ. අවසානයේ දිවි නසා ගැනීම දක්වා පවා යාමට එවන් අයට සිදුවේ.

මේ තත්ත්වය උදාවීමට ප්‍රධාන හේතු දෙකක් වත්මන් සමාජ සංස්ථාව දෙස බැලීමෙන් පෙනී යනවා. ඉන් පළමු වැන්න පාප මිත්‍ර සේවනයයි. දෙවැන්න අඹු සැමි අනවබෝධයයි.

පාප මිත්‍රයා සැම විටම පාපකාරි ක්‍රියාවන්ට තම සගයා ඇදගෙන යාමට උත්සාහ දරයි. අනිසි ස්ත්‍රී ඇසුර කරා ඔහු යොමු කරවන්නේද පාප මිත්‍රසේවනයයි. කල්‍යාණ මිත්‍රයන් කිසිවිටක එවන් අධම ක්‍රියාවන් අනුමත කරන්නේ නැත. එයින් වන විනාශය හානිය දකින ඔවුන් එයින් තම මිතුරා මුදාගනී. එහෙත් සුළු වාසි තකා මත්වතුර පානයට ලොල් වන මිතුරන් සමාජ සම්මතයන්ට පිටු පාන විවිධ ක්‍රියාවන්ට තම මිතුරන් යොමුවනු දැක සතුටු වෙයි. මිතුරාට කුමක් වුවත් තමාහට ලැබෙන සුළු වාසිය පමණක් ඔහු මහමෙරක් සේ සිතයි.

දෙවැන්න ලෙස අප දකින්නේ අඹු සැමි අනවබෝධයයි. ස්වාමියා බිරිඳ කෙරෙහි නිසි ආදරයක්, ගෞරවයක් ඇත්නම් කිසිවිට ඇය ඉක්මවා නොයයි.

එසේම භාර්යාවද ස්වාමිපුරුෂයා කෙරෙහි ගෞරවයක් ආදරයක් ඇත්නම් ඔහු ඉක්මවා නොයයි.

බුදුරජාණන් වහන්සේ අඹුසැමියන් වර්ග හතරකට බෙදා දක්වා ඇත්තේ සමාජ සංස්ථාවේ අපට දක්නට ලැබෙන පවුල් ඒකක දෙස බැලීමෙනි.

මේ අඹු සැමියන් අතුරෙන් දෙවඟනක් දෙවියකු හා වාසය කිරීමත්, දෙවඟනක් මළමිනියක් හා වාසය කිරීමත් මළමිනියක් දෙවියකු හා වාසය කිරීමත් මළමිනියක් , මළමිනියක් හා වාසය කිරීමත් යනුවෙන් දක්වා තිබෙනවා. මෙහි දෙවියකු දෙවඟනක් හා විසීම යනුවෙන් අදහස් කරන්නේ ස්වාමි පුරුෂයාත් භාර්යාවත් යන දෙදෙනාම ගුණධර්ම වඩන සිල්වත් ශ්‍රද්ධාවෙන් යුක්ත එකිනෙකාට පි‍්‍රය වු වදනින් අමතන අන්‍යෝන්‍ය සෙනෙහසින් වාසය කරන ක්‍රියා දාමය පෙන්වාදීමටයි.

මෙවැනි පවුල් වර්තමාන සමාජයේ ඉතාම විරලය. බොහෝ දෙනකු සිතන්නේ එදිනෙදා කා බී විනෝද වීම තුළ සතුට සම්පත රැඳී තිබෙන බවයි.

මළමිනියක් එසේත් නැත්නම් මළ පුරුෂයෙක්, මළ ස්ත්‍රියක් ලෙස හඳුන්වා ඇත්තේ ගුණධර්ම වලින් ඔවුන් මියගොස් ඇතිබවයි. අවංකත්වය , ශ්‍රද්ධාව,ආදරය , කරුණාව , දයාව මළ ස්ත්‍රිය හෝ මළ පුරුෂයා සතුව නැත. මේ නිසා මළ පුරුෂයා දෙවඟනක සමඟ සිටින පවුලත්, දෙදෙනෙකු සමඟ සිටියත් මළ ස්ත්‍රිය මළ පුරුෂයකු සමඟ සිටින පවුලක් නිරතුරු අඩදබර ඇති ගැටුම් ඇති කරවන පවුල් සංස්ථාවකි.

එයින් මිදීමට ඉතාම අසීරුය. සමාජය පිරිහීම කරා ගෙනයාමට මෙයින් සංස්ථා දෙකකට ස්වාමි පුරුෂයන් බොහෝ විට වෙනත් ස්ත්‍රීන් කරා ඇදි යාම සිදුවේ.

දෙවඟනක් වැනි භාර්යාවන් සිටියදී ඇය හැර වෙනත් ස්ත්‍රීන් වෙත යන්නේ තමන් සතු පාපි සිතිවිලි නිසාය. එසේ යන්නා තම සේසතම වැය කරයි. තමන්ගේ කර්මාන්ත රැකිරක්ෂාව වැඩ සියල්ල අතපසු වේ. මේ නිසා තම ආදායම නොලැබී යයි. ආදායම් නොලැබුණූ කළ ආදායම් සොයා ගැනීමට විවිධ නොකටයුතුකම් කරයි. මිතුරන්ගෙන් ණය තුරුස් ගෙන ආපසු නොගෙවා සිටී. එසේ වු කල මිතුරන්ගේ සතුරන් බවට පත්වේ. ඔහුට තර්ජන ගර්ජන එයි. කිසිත් කළ නොහැකි කළ ඔහු සොරකමට බරවෙයි. එවිට නීතිමය ප්‍රශ්නවලින් ඔහුට ගැටලු ඇතිවේ . ඔහු ඇසුරු කළ ස්ත්‍රීන් පවා ඔහු හැර යයි. වාසියට ඇසුරු කළ ස්ත්‍රීන් පවා ඔහු පිළිකුල් කරයි. තම පවුලද අහිමි කරගත් ඔහුට සමස්ත සමාජයේම පීඩනය එල්ල වෙයි.

මේ සියල්ලටම මුල් වුයේ තම භාර්යාවන්ගෙන් තෘප්තිමත් නොවි අන් අඹුවන් නැත්නම් අන් ස්ත්‍රීන් කරා යාමයි. ඔහු මෙලොව වශයෙන් පමණක් නොව පරලොව වශයෙන්ද තැවේ.

හිතෝපදේශයේ දක්වා ඇත්තේ ණයවන පියා දරුවන්ට සතුරකු බවත් සමාජ අසම්මත ක්‍රියා ඇති මව දරුවන්ට සැතිරියක් බවත්ය.

ඍණකර්තා පිතා ශත්‍රැඞ
මාතාච වසභිචාරිනී

එහෙත් මෙහිදි පියා අසම්මත ක්‍රියාවන්ටත් යොමු වි ණයකරුවකුද වන්නේ නම් ඔහු දරුවන්ට දෙපැත්තකින්ම සතුරුකම් කරන්නෙකි. අවසානයේ පෙර දැක්වූ පරිදි පිරිහීමට ලක් වන්නෙකි.

වර්තමාන සමාජයේ දික්කසාදය වැඩිවී ඇත්තේද මේ ආකාරයට ස්වාමිපුරුෂයෙක් අන් ස්ත්‍රින් කරා යාම නිසා බව පෙනී යයි. තමන්ද විනාශ වී අනුන්ද නසාලන මේ පිරිහීමේ දොරටුව වසා දැමිම කළයුතු බව බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ එහෙයිනි.

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]