UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමයි ගිහි දිවියයි 16 මව්පිය ගුණ

බුදු දහමයි ගිහි දිවියයි 16

මව්පිය ගුණ

මව්පියන් පාපයෙන් වළක්වා පිනෙහි යෙදවීමට යම් දරුවෙක් සමත් වන්නේ නම් හෙතෙම පිනැති දරුවෙක් වන්නේය. මෙසේ සැලකීම් ලබන මව්පියන් ස්වභාවයෙන්ම සිය දරුවන් උදෙසා කරුණාවෙන් ආශිර්වාද කරයි. මව්පියන්ගේ කරුණාව ලැබීම දරුවනට උතුම් වූ අවස්ථාවකි.

දෙමාපියන් උදෙසා දරුවන් කරනු ලබන සංග්‍රහාදිය පිළිබඳව ද බුදුරදුන් කරුණු පෙන්වා දී ඇත. වැඩිවියට පැමිණි දරුවන් සිය රක්ෂාවලින් ලබන ධනය දෙමාපියන් විෂයෙහි කැප කොට ඇප උප සත්කාර සම්මානනයන් සිදුකිරීමට පිළිවන. දරු වූ සැම දෙනාම දෙමාපියන්ගෙන් ලද උපකාර ගැන ඔවුනට ණයකාරයෝය. ඒ ණයින් නිදහස් වීමට ගිහියන් විසින් තබා පැවිද්දන් ගිහි කටයුතු හැර ධන සැපයීම හැර අනුන්ගෙන් යැපෙන නිර්ධන පුද්ගල කොටසක් බැවින් මාපියනට ජීවත් වීමට අපහසුවක් නොමැතිනම්, උපස්ථාන නොකලාට ද වරදක් නැත. ආහාර නොලබත් නම්, පිඬුසිඟා වැඩ හෝ ඔවුනට උපස්ථාන කළ යුතුය. මා පියනට කොතෙක් ධනය ඇතත් දෙමාපියන් ස්වකීය පැවිදි පුත්‍රයාගෙන් යමක් බලාපොරොත්තු වෙත්නම් ඒ අය වෙනුවෙන් ඇප උප සත්කාර කළ යුතුය. එසේ බලාපොරොත්තු වුවත් නැතත් ගිහි දරුවන් සිය දෙමාපියනට සැලකිය යුතුය.

දෙමාපිය ගුණ

“ද්වින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච ඒකේන භික්ඛවේ අංසේන මාතරං පරිහරෙය්‍ය...” මහණෙනි, යම් දෙදෙනෙකුට ප්‍රත්‍යුපකාර කිරීම පහසු යැයි නොවදාරමි. කවර දෙදෙනෙකුට ද යත්? මව හා පියාය. යන දෙදෙනාය. සිය වසක් ආයු ඇත්තා වූ සිය වසක් ජීවත් වන්නා වූ දරුවෙක් සිය උර හිසකින් මවද අනෙක් උර හිසින් සිය පියාද උසුලා සිටින්නේද හෙතෙමේ ම ඔවුනටද සුවඳ ගැල්වීමෙන්ද ඇඟ පිරිමැදීමෙන් ද නෑවීමෙන් ද අත් පා මිරිකීමෙන්ද උපස්ථාන කරන්නේද ඔවුහු එහි ම මළ මුත්‍රා කරන්නාහුද මහණෙනි, එතෙකින්ද මව්පියනට උපකාර කළේ හෝ නොවන්නේය...මහණෙනි මව්පියෝ දරුවනට බොහෝ උපකාර ඇත්තෝය. දරුවන්ගේ දිවි පවත්වන්නෝය. දරුවන් පෝෂණය කරන්නෝය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝය”.

මේ ආකාරයට ම දෙමාපියන්ගේ ගුණ දැක්වෙන අවස්ථාවක් එම සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වේ. “යම් දරුවෙක් අශ්‍රද්ධාවත් සිය දොමපියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවා ද සමාදන් කරවා ද ඇතුළත් කරවාද පිහිටවා ද දුස්සීල වූ මාපියන් ශීල සම්පත්තියෙහි මසුරු වූ මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි ප්‍රඥා විරහිත දෙමාපියන් ප්‍රඥා සම්පත්තිය කෙරෙහි සමාදන් කරවා ද ඇතුළත් කරවාද පිහිටුවා ද එතෙකින් මාපියනට ප්‍රත්‍යුපකාර කළේද අධික කොට උපකාර කෙළෙද වේය.” යනුවෙන් මාතෘ පිතෘ ගුණ සූත්‍රයේ දැක්වේ.

ශ ‍්‍රද්ධාව හෙවත් පැහැදීම් නැති සිය දෙමාපියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවා සුමගට යොමු කරවා ගැනීම, දුස්සීල දෙමාපියන් සුසිල්වත් කිරීම, මසුරු බවින් මුදා දීම සඳහා සිත් යොමු කිරීම්ද මාපියන් කළ උපකාරයට සෑහෙන උපකාරයක් වන බව මෙම සූත්‍රයෙන් පෙන්වා දී ඇත. එසේ හෙයින් මාපිය උපස්ථානය සිදුකරන දරුවන් ආහාර පානාදියෙන් පමණක් නොව තම මාපියන් ගුණ ධර්මයන්හි යෙදවීම ද ඔවුනට සෑහෙන උපකාරයක් වන්නේමය.

පාපයෙන් වළක්වා පිනෙහි යෙදවීමට යම් දරුවෙක් සමත් වන්නේ නම් හෙතෙම පිනැති දරුවෙක් වන්නේය. මෙසේ සැලකීම් ලබන මව්පියන් ස්වභාවයෙන්ම සිය දරුවන් උදෙසා කරුණාවෙන් ආශිර්වාද කරයි. මව්පියන්ගේ කරුණාව ලැබීම දරුවනට උතුම් වූ අවස්ථාවකි. එබැවින් මහානාම ශාක්‍ය තුමාට බුදුරදුන් දේශනා කරන්නේ, “මාතාපිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියේච පාටිකංඛිතබ්බා නො පරිහානි” වදාළ සේක. ඊට අනුව මාපියන් විසින් අනුකම්පා කරන ලද දරුවාට දියුණුවක් වන්නේ මය. පරිහානියක් නොවන්නේ ම ය. මව්පියනට උපකාර කරන දරුවන්ට දෙවියෝද ආශිර්වාද දක්වති. ඔවුන් සත්පුරුෂයන් වශයෙන් හඳුන්වති. “මාතා පෙත්ති භරං ජන්තු – කුලේ ජෙට්ඨා පචායිනං” යන්නෙන් ඒ බව දැක්වේ. යම් කිසි මිනිසෙක් මව හෝ පියා හෝ දැහැමෙන් පෝෂණය කෙරේද ඔහුට මෙලොව නුවණැත්තෝ පසසති. හේ මරණින් මතු ස්වර්ගයෙහි ඉපිද සතුටු වේය.

මාපියනට නොසැලකීමේ ආදීනව

මාපියන්ට සැළකීම සේම නොසැලකීමද අද සමාජයේ බෙහෙවින් දක්නට ලැබෙන ප්‍රවණතාවයකි. ඒ නිසාම බොහෝ විට වැඩිහිටි නිවාසවල අසරණව දුක්විඳින මව්පියන් දක්නට ලැබේ. දරුවන් තැනීමට දෙමාපියන් විඳි දුක් අපමණය. යම් දරුවෙක් තරුණ බව ඉක්ම වූ මහලු මව හෝ පියා හෝ ඔවුන් පෝෂණය කළ හැකිව සිටම පෝෂණය නොකෙරේ නම්, එය පිරිහීමට හේතුවක් බව බුදුරදුන් පරාභව සූත්‍රයේදී දක්වා ඇත.

“යෝ මාතරං වා පිතරංවා
ජින්නකං ගත යොබ්බනං
පහූසන්තෝ න භරති
තං පරාභවතෝ මුඛං”
යනුවෙන් දේශිතය

මව්පියන්ට නොසැලකීම ඉතා බරපතළ වරදක් බවත් ඒ සඳහා වෙන ම නීතියක් පවා පනවා තිබේ. “තම මහලු මව්පියන් දුක් විඳින්නට හැර මාපියනට නොසලකන තැනැත්තා මරණින් මතු නරකයට යන බව ද දක්වා තිබේ. යම් විටෙක සිය දෙමාපියනට හිත් රිදෙන සේ කතා කිරීම සැරපුරුෂ වීම බලවත් පාපයකි. වචනයකින් හෝ ඔවුන්ගේ සිත් නොරිදවිය යුතුය. තමන් අතින් යම් වරදක් වූයේ නම් සමාව අයැදීමට පෙර ඔවුන් කළුරිය කළ හොත් මළ සිරුරට හෝ වැඳ සමාව ඉල්ලා සිටිය යුතු ය. දෙලොව වැඩ කැමැති සෑම දෙනාම තම තමන්ගේ මාපියනට හැකි පමණින් උපස්ථාන කිරීමෙන්ද කීකරුව හැසිරීමෙන්ද ඔවුන්ගේ සිත් සතුටු කිරිමට වගබලා ගත යුතුය.

යමෙක් ඉහත සඳහන් කළ කරුණු මනාව තේරුම් ගෙන සිය දෙමාපියන් නිසි ලෙස ආරක්ෂා කරවා ගනිමින් සුවර්ග මෝක්ෂ සාධනය ලබාගනිත්, දෙමාපියන් ගෙන් යුතුකම් ලබාගත් දරුවන් පෙරලා සිය දෙමාපියන්ට මහලු වියට පත් කල පෝෂණය කරති. කළ යුතු වැඩ කරදෙති. පවුල ශක්තිමත් කරති. වංශය රැකගනිති. මිය පරලොව ගිය පසු පින් දහම් කර පින් අනුමෝදන් කරවති.


බුදු දහමයි ගිහි දිවියයි 15 - ගෘහස්ථයාගේ ‍ජීවන රටාව

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]