UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

වැලිවෙහෙර ඤාණින්ද නාහිමි

කුරුණෑගල යග්ගහපිටිය ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩ විසූ පණ්ඩිත වැලිවෙහෙර ඤාණින්ද නාහිමිපාණන් වහන්සේ 2015.07.13 දින අපවත් වූහ. සම්බුද්ධ ශාසනයේ 68 වසරක් සසුන් කෙතට මහඟු සේවයක් කළ උන්වහන්සේ භික්ෂුවක් වශයෙන් උගත්, බහුශ්‍රැත විනය ගරුක හා පරාර්ථකාමීව රටට, දැයට කළ සේවය වචනාතික්‍රාන්තය ඓතිහාසික පඬුවස්නුවර රාජධානි සීමාවේ වැලිවෙහෙර විසූ, ආර්.එම්. රම්මෙත්ත දම්පතීන්ගේ කනිටු පුතණුවන් ලෙස 1933 මැයි මස 08 වැනි වෙසක් පොහෝ දින මෙලොව එළිය දුටු පින්වත් දරුවා සරණදාස නම් විය. එම කුමරුවන් ගොන්නව රජයේ විදුහලේ 8 වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබා 1947 නොවැම්බර් 23 වැනි දින වැලිවෙහෙර ශ්‍රී විදර්ශනාරමායේදි අම්බලන්වත්තේ විජිතසේන ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා කනදුල්ල ධර්මරාජ පිරිවෙන් විහාරාධිපති දිසාපාලක ධුරන්දර යටගම ඤාණුක්කංශ නායක ස්වාමින් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් වැලිවෙහෙර ඤාණින්ද නමින් පැවිදි විය.

උන්වහන්සේ මීරිගම ගණේගොඩ ශ්‍රී විද්‍යාසාර පිරිවෙන (1948) කුරුණෑගල මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙන (1950), කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය (1953-1957), මීරිගම රජයේ ගුරු විද්‍යාලය (1960-961) සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් (1963 -1966) පැවිදි අධ්‍යාපනය ලැබූහ. එහිදී ප්‍රාචීන ප්‍රාරම්භය , මධ්‍යම හා අවසාන පණ්ඩිත විභාගය දක්වා සමත්වෙමින් දෙවෙනි පෙළ උසස් සාමාර්ථයක් සහිතව ශාස්ත්‍රවේදි උපාධිය සමත්වෙමින් රජයේ ගුරු සේවයට ඇතුළත් විය. 1958 දී මීරිගම ගුරු විද්‍යාලයෙන් පළමු පෙළ පුහුණු ගුරුවරයෙකු ලෙස සමත් උන්වහන්සේ 1959 සිට ඉඳුල්ගොඩ කන්ද මහා විද්‍යාලයේ ගුරුපත්වීම් ලැබ, අංගංගල සිද්ධාර්ථ මහා විද්‍යාලය,අනු/තම්මැන්නාව මහා විද්‍යාලය, නිකවැරටිය මහසෙන් මහා විද්‍යාලය, කුරුණෑගල අංගංගල සිද්ධාර්ථ මහා විද්‍යාලය, කුරුණෑගල ගැට්ටුවාන මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ධර්මාචාර්යවරයෙකු ලෙස සේවය කර ,අනතුරුව ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙනේ පරිවේණාධිපති වශයෙන් වසර 4 ක් ද සේවය කර 1988 මැයි 08 වැනි දින ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තේය.

මේ කාලය තුළ ශාසනික සේවාවන් වශයෙන්, කුරුණෑගල ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙන (1957) හා වැලිවෙහෙර ශි‍්‍ර ඥානෝදය පිරිවෙන (1980), නැලඋල්ල ශ්‍රී ආනන්ද විහාරය (1966), කිරිමැටියාන මැදැල්පොල ශී‍්‍ර ඉන්ද්‍රාරාමය (1979), ඉපළව සන්දිට්ඨිකාරාමය (1992) යග්ගහපිටිය ශී‍්‍ර සම්බෝධි මහා විහාරය (1987), අනුරාධපුර අභයවැව ශි‍්‍ර සම්බෝධි චිත්තවිවේකාරාමය (2000) යන විහාර හා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම උන්වහන්සේගේ ජීවිත කාලයේදි කරන ලද එම මහඟු සේවාවන්ය.

ශ්‍රී සම්බෝධි මහා විහාරය උන්වහන්සේගේ ජීවිතයේ අනුස්මරණීය සටහනකි. 1987 මැයි 13 වෙනි දින මුඩු ඉඩමක පොල් අතු පැලකින් ආරම්භ කරන්නට යෙදුන මෙම විහාරස්ථානය, 2015 මැයි 13 වෙනි දිනට වසර 28 ක් විය. 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් දෙතිස් රියන් ශාන්ත බැතිබර සැතපෙන බුදු පිළිමයක් සම්බෝධි පින් බිමෙහි නිර්මාණය විය.

උන්වහන්සේගේ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැතභාවය පිළිබිඹු කරමින් ශී‍්‍ර සම්බෝධි අසිරිමත් විසි වසර, සැනසුම් හා නාහිමි ස්වයංලිඛිත චරිතාප්‍රදානය “ගලන ගඟකි ජීවිතේ “ අපේ බෞද්ධ සමාජ ධර්ම “ ශ්‍රී සම්බෝධි සම්බෝධනා” අපේ සංස්කෘතික සමාරම්භය” “බුද්ධ ධර්මය සහස්‍ර ප්‍රශ්නෝත්තර සංග්‍රහය” මහා විහාරස්ථානයට වසර විසිපහක් සපිරීම නිමිති කරගත්” ශ්‍රී සම්බෝධි උදානය” වැනි ග්‍රන්ථ 5 ක් පමණ ලියා මුද්‍රණය කර ඇත.

මෙවන් ශාසනික සේවාවක් ඉටු කළ උන්වහන්සේ ශ්‍රී සාරානන්ද වංශාලංකාර විජිත සේනානන්ද මංගලාවතංශ විචිත්‍ර ධර්ම කථික රාජකීය පණ්ඩිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික සභාව ධුරයෙන් පිදුම් ලැබූහ. උන්වහන්සේ 2015 ජූලි මස 13 දින සන්ධ්‍යාභාගයේ අපවත් වී වදාළ සේක. ශාස්ත්‍රවේදි පූජ්‍ය පණ්ඩිත වැලිවෙහෙර ඤාණින්ද මහා ස්ථවිරයන් වහන්සේට නිවන් සැප ලැබේවා!


තෙල්වත්තේ බුද්ධපි‍්‍රය නාහිමි

ශ්‍රී කල්‍යාණවංස මහා නිකායේ උතුර වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක බටකැලේ සිරි උත්තරාරාමාධිපති කල්‍යාණධජ සද්ධර්ම කීර්ති ශ්‍රී තෙල්වත්තේ බුද්ධපි‍්‍රය නාහිමියෝ අවුරුදු 104 ක් ආයු වළඳා අපවත් වූහ. ඒ පිළිබද ආදාහන පූජෝත්සවය 16 වැනිදා (බ්‍රහස්පතින්දා) පස්වරු 4.00 ට බටපොල ඊරියගහදොළ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. නාහිමි ගුණ සමරු ලිපිය ඒ නිමිත්තෙනි.

යමෙක් මේ ශාසනයේ නියමිත පරිදි පින් පව් දුරුකොට බඹසරින් යුක්තව සියලු දේ නුවණින් සලකා විමසා හැසිරේ ද ඔහු නිශ්චිත වශයෙන්ම භික්ෂුවක් බව තථාගත දේශනාව සනාතන දහමක් බව අපවත් වී වදාළ තෙල්වත්තේ බුද්ධපි‍්‍රය නාහිමියන්ගේ ජීවන චරිතයෙන් මනාව පිළිබිඹු වේ.

අප නාහිමියෝ ශාසනික හා සමාජීය වශයෙන් ඉටු කළ මෙහෙවර අපමණය. පන්සිල් රකින සමාජයක් වෙනුවෙන් පරාර්ථසාධනයෙහිලා නිරතුරුවම කැප වූහ. තම දායක කාරකාදීන්ගේ හිත සුව පිණිසම කටයුතු කළ නාහිමියෝ ආදර්වත්, සිල්වත් ජීවිතයක වටිනාකම රටටම පසක් කළහ.

1911 පෙබරවාරි මස 12 වන දින තෙල්වත්තේ දී උපත ලැබූ කුල කුමරුවා 1925 ජනවාරි මස 10 වන දින තෙල්වත්තේ බුද්ධපි‍්‍රය නමින් පැවිදි දිවියට පැමිණියහ. පැවිද්ද අතිශයින් දුුර්ලභ වූ සම්පතකි.

සංසාරගත වූ පුණ්‍ය මහිමය නිසාම උතුම් වූ පැවිදි දිවිය ලැබ සංඝ සමාජය ශෝභමාන කළ නාහිමියෝ එකල බට කැලයක්ව පැවැති වත්මන් උත්තරාරාම භූමියට වැඩම කර 1942 වසරේ සිට වර්තමානය වන විට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළහ. ප්‍රදේශවාසීන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වය මැනවින් වටහාගත් නාහිමියෝ මෙම විහාරස්ථානය තුළ පාසලක් ආරම්භ කළහ. බටපොලට පමණක් නොව ඇත්කඳුරේ ශ්‍රී නන්නාරාමයේ වස් විසීමට වැඩම කළ කාලය තුළ එහි දහම් පාසලක් ආරම්භ කිරීමටද පුරෝගාමි වූ අප නාහිමියෝ කුරුඳුගහහැතැක්ම විහාරස්ථානය වැඩි දියුණු කිරීමේ මූලිකයා වූහ.

සංඝ පීතෘවරයෙකු වශයෙන් ශාසනයේ අභිවෘද්ධිය පැතූ නාහිමියෝ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා රැසක් ශාසන චිරපැවැත්ම වෙනුවෙන් දායාද කළහ. උන්වහන්සේගේ සමාජීය හා ශාසන සේවාව ප්‍රබලත්වය නිසාම කල්‍යාණධජ සද්ධර්ම කීර්ති ශී‍්‍ර නාමය සහිතව උතුරු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංගනායක ධුරයෙන් හා කල්‍යාණධජ සද්ධර්කීර්ති ශ්‍රී මහා මහෝපාධ්‍යාය ධූරයෙන් පිදුම් ලදහ. වසර 104 ක් ආයු වැළඳූ අප නාහිමියෝ සිය ජීවිත කාලය කැප කළේ යහපත් සමාජයක් වෙනුවෙනි.

ගුණදම් අගයන මානව සමූහයක් වෙනුවෙනි. ලෝක ධර්මතාවය පසක් කරමින් දැයෙන් සමුගන්නා තෙල්වත්තේ බුද්ධපි‍්‍රය නාහිමියන්ට නිවන් සුව අත්වේවායි පතමි.


මොරලියේ පාලිත හිමි

සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ දෙහිගම්පල කෝරලේ රුවන්වැල්ල මොරලිය ගමේ 1927.04.22 දින උපත ලැබූ පින්වත් කුමරා නමින් ගොඩකුමාරගේ විජේරත්න නම් විය. පියාගේ නම ගොඩකුමාරගේ පෑලිස්සිංඤෝ වන අතර මෑණියන් බටපොලගමගේ පොඩිනෝනා විය. දෙමාපියන් විසින් 1927 දී විජේරත්න කුමරුවා ගෝනගල අභිනවාරාමාධිපති ගෝනගල සුදත්ත නාහිමි හා තෙප්පනාව ශ්‍රී සුමන පරිවේණාධිපති ගාල්ලේ මාලාලංකාර යන නාහිමිවරුන් වෙත භාරදෙන ලදී. 1943 දී මොරලියේ පාලිත නමින් පැවිදි දිවියට ඇතුළත් ව මූලික අධ්‍යාපන වැඩ කටයුතු සඳහා අක්මීමන සුබෝධ හිමියන් වෙත භාර කරන ලදී. 1947 දී රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයට ඇතුළත්වන අතර එහිදී හේන්පිටගෙදර ඤාණසීහ නා හිමියන් වෙතින් ධර්ම විනය හා ශබ්ද ශාස්ත්‍රය හදාරන ලදී. 1981 දී කැලණියේ උදකුක්ඛේප සීමා මාලකයේදි උපසම්පදා ශීලයට පත් විය. 1953 දී කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත් වී බද්දේගම විමලවංශ නාහිමියන් වෙතින් සිංහල, පාලි, සංස්කෘත මෙන්ම තර්ක ශාස්ත්‍රය, පුරාවිද්‍යාව ආදි විෂයන් මනා ලෙස ප්‍රගුණ කළහ. 1959 දී ප්‍රාචීන භාෂෝපකාර සමාගම මඟින් පවත්වනු ලැබූ ප්‍රාචීන විභාගයෙන් උසස් ලෙස සමත්වීය.

1960 දී රත්නපුර ශ්‍රී සුමන පරිවේණාධිපති හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් වෙත දෙල්වලකන්දේ දායක පිරිසගේ බලවත් ඉල්ලීම පරිදි එවකට තරුණ පාලිත හිමියන් දෙල්වලකන්දේ වස් විසීම සඳහා යවන ලදී. අති දුෂ්කර ගම්මානයක් වූ දෙල්වල කන්දේ කුඩා කඳු ගැටයක පිහිටි තල් අතු සෙවිලි කළ කටු මැටි ගැසු කුඩා කුටියක් තුළ වස් එළඹීය. වස් තුන් මාසය අවසන් වීමට පෙර ගම් ප්‍රදේශයේ දායක දායිකාවන් සමඟ එක්ව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කටුමැටි ගැසු කුඩා කුටිය වෙනුවට දෙල්වලකන්දේ කඳු ගැටය මුදුනේ ධර්ම ශාලාවක් ඉදිවිය. දෙල්වලකන්දේ දායක පිරිසගේ බලවත් ඉල්ලීම මත නැවත ආපසු දෙල්වල ගම්මානයට වැඩම කර දෙල්වල කන්දේ හා උඩ රංවල ප්‍රදේශවාසීන්ගේ නොමඳ සහයෝගය මත නාහිමියන්ගේ බලවත් කැපවීම මත අති දුෂ්කර ගම්මානයක් වූ දෙල්වල කන්ද හා අවට ගම්මාන කිහිපයක් දියුණු කිරීමටත් එම ගම්මාන සඳහා යෑමට නව මාර්ගයක් ඉදිකිරීමටත් එමඟින් වාහන ගමනා ගමනයට ඉඩ සැලසුණි. දෙල්වලකන්දේ කුඩා පන්සල ක්‍රමයෙන් දියුණු වී ශ්‍රී සුමනාරාමය ප්‍රසිද්ධ වූ අතර ශ්‍රී සුමන දහම් පාසල ද ආරම්භ විය.

1977 දී පැවැති දේශපාලන පෙරළියත් සමඟ රත්නපුර කහංගම ප්‍රදේශයට වැඩම කරන පාලිත ලොකු හාමුදුරුවෝ කහංගම අභිනවාරාමයද ක්‍රමයෙන් දියුණු කරමින් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කර ශ්‍රී සුදර්ශනාරාමය නමින් ප්‍රදේශයේ සැලකිය යුතු විහාරස්ථානයක් බවට පත්කරන ලදී.

නාහිමියන් අපවත් වී වසර දෙකක් ගතවීම නිමිතිකොට ජූලි 24,25,26 දිනවලදී කහංගම ශ්‍රී සුදර්ශනාරමායේදී පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති කහංගම සමිත හිමියන්ගේ අනුශාසනා පරිදී විහාරස්ථදායක සභාව හා කුලඟන සමිතිය කටයුතු සංවිධානය කර ඇත. මොරලියේ පාලිත හිමියන්ට නිවන් සුව අත්වේවා!


දේදුගල විජිතධම්ම හිමි

කෑගල්ල ශ්‍රී ඤාණතිලක මහ පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී මල්වානේ සෝනුත්තර හිමියන්ගේ ශිෂ්‍ය දේදුගල විජිතධම්ම ස්වාමීන් වහන්සේගේ උපසම්පදා පුණ්‍ය කර්මය ජූලි 18 වන දින වැලිතර බලපිටිය ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරස්ථානයේ බද්ධ සීමාමාලකයේදී සිදු කෙරිණි.

දේදුගල පදිංචි ඩබ්.එම්.භද්‍රා නයනකාන්ති විජේසූරිය හා එච්.කේ. ආනන්ද සමරවීර යන අයගේ පුතණුවන් වන දේදුගල විජිතධම්ම සාමණේරයන් වහන්සේ මාකූර ධර්මඥාන මහ පිරිවෙනේ ශිෂ්‍යයෙකි.

උන්වහන්සේගේ උපසම්පදා පුණ්‍ය උත්සවය නිමිතිකොට ගෙන ජූලි 19 වන දින ප.ව. 3.00 ට අලපලාවල ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ සිට පෙරහරකින් ශ්‍රී ඤාණතිලක මහ පිරිවෙන් විහාරස්ථානය දක්වා වැඩම කිරීමටත් පිළිගැනීමේ උත්සව සභාවක් පැවැත්වීමටත් කටයුතු යොදා තිබිණි.


පුටුපාගල ඤාණබුද්ධි හිමි

පුටුපාගල ශ්‍රී බෝධිරුක්ඛාරාමය, මාබිංගොඩ ශ්‍රී ඉද්ධිසිහ මන්තින්දාරාමය යන උභය විහාරාධිපති අමරපුර මහා නිකායේ චූලගන්ඨි පාර්ශ්වයේ ද්විතීය අධිකරණ සංඝනායක විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති මාබිංගොඩ විමලඤාණ නා හිමියන් සහ කාරක සංඝ සභික දොම්පේ ශාසනාරක්ෂක මණ්ඩලය කලාප ධ්ධ් නියෝජ්‍යය ලේඛකාධිකාරි ශාස්ත්‍රවේදී දෙනගම වජිරඤාණ හිමියන්ගේ ශිෂ්‍ය නාරංවල ශ්‍රී සුමනකීර්ති මහා පිරිවෙනේ ආචාර්ය, රාජකීය පණ්ඩිත, පුටුපාගල ඤාණබුද්ධි සාමණේර හිමි නම 2015.07.18 දින බලපිටිය ශී‍්‍ර පුෂ්පාරාම මහා විහාරයේ බද්ධ සීමාවේදී මහා නාහිමියන් ඇතුළු සංඝරත්නය විසින් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූහ.

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]