UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 47

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 47

කොසැඹෑ නුවර
සම්බුදු උපත සිදුවූ බුද්ධ භූමි වන්දනාවෙන් කොසඹෑ නුවර පිළිබඳ අවබෝධය ලබමු.

ඉතා සමෘද්ධිමත් ප්‍රදේශයක් වූ කොසඹෑනුවර මෙකල අලහබාද් පළාතේ කුඩා ග්‍රාමයකි. කෞෂම්බි” නමින් එය ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙහි තිබී සොයාගත් නටබුන් කොටස් මේ වන විට අලහබාද්හි කෞතුකාගාර දෙකක තැම්පත් කර ඇත.

උදේණි රජුගෙන් පසුව නරවාහන නොහොත් බෝධිරාජ කුමරු කොසැඹෑ නුවර රජ විය. ඔහු බෞද්ධයෙකි. එතුමා එම මාලිගය අතහැර සුංසුමාර ගිරියෙහි තම මාලිගය ඉදිකරවන ලදී. “ කොකනඳ” නමින් එම මාලිගය ප්‍රසිද්ධ වූයේ මෙය අපූර්ව නිර්මාණයක් වූ හෙයිනි. ජලාශයක් මැද කළු ගලෙන් නෙළුමක් තනා එම නෙළුම මත මාලිගය ඉදි කරන ලදී. බෝධිරාජ කුමරුන් හට දරු සම්පත් නොමැති වූ හෙයින් මොහුගෙන් පසුව කොසඹෑනුවර රජ පෙළපතක් පිළිබඳව සඳහන් නොවෙයි.

ඉන් පසු ධර්මාශෝක රජුගේ අශෝකාධිරාජ්‍යයට කොසඹෑ නුවරද යටත් විය ධර්මාශෝක රජුගේ ඇමතිවරයෙක් මෙම රට පාලනය කළේය. මෙම කාලයේ කොසැඹෑ නුවර භික්ෂූන් ගේ තත්ත්වය එතරම් හොඳ තත්ත්වයක නොතිබුණු බව අශෝක ස්ථම්භයේ ශිලා ලේඛනයෙන් පැහැදිලි වෙයි. මහායාන බුදු සමයේ විකාශනය මෙයට හේතු වන්නට ඇති බව සැළකිය හැකිය. අශෝක රජුගෙන් පසුව මෙය ශුංගවංශික රජවරුන්ට යටත් විය . මෙම කාලයෙහි වෘහස්පති මිත්‍ර (වයි සති මිත්‍ර) නම් රජෙක් පභෝෂා පතනම් පර්වතයෙහි කාෂ්‍යාපීය අරිහත් භික්ෂූන් සඳහා ලෙන් නිර්මාණය කළ බව ශිලා ලේඛන සහ මුද්‍රා වලින් ලද කරුණු වලින් පැහැදිලි වෙයි. මෙම පර්වතය කොසැඹෑනුවර සිට කි.මී. 13 ක් බටහිරින් දක්නට ලැබෙයි .

වර්ෂ 1934 දී කළ පළමු කැණීමේදී හමු වූ බුද්ධ ප්‍රතිමාවක ලියු ලිපියකට අනුව පැහැදිලි වන කරුණක් නම් කණිෂ්ක රජු තමන්ගේ රජකමෙන් දෙවන වසරෙහි කොසැඹෑ නුවර තමන් යටතට ගත් බවයි. කුෂාණ රජවරුන්ගෙන් පසුව කොසඹෑ නුවර භාරතීය රජවරුන්ගේ පාලනයට පත් විය. අවන්තියෙහි රජවරුද මෙය පාලනය කළ බවට සාධක මෙහිදී හමු වී ඇති කාසිවලින් පැහැදිලි වෙයි.


කොසඹෑනුවර විහාරාරාමවල නටබුන්

ක්‍රි.ව. 380 හි මෙය ගුප්ත වංශයටත් විය පාහියන් හිමියන් තම වාර්තාවෙහි කොසඹෑ නුවර ගැන මෙසේ සඳහන් කොට ඇත. මිගදාය (බරණැස – සාරානාත්) සිට යොදුන් 13 ක් පමණ වයඹ දෙසින් කෝසම්බි පවතියි. මෙහි ඝෝෂිතාරාම නමින් විහාරයක් ඇත.

මෙහි බුදුරදුන් වැඩ සිට ඇත. දැනුදු බොහෝ භික්ෂූන් වාසය කරති. නමුත් හත් වැනි සියවසෙහි හියුං ෂ්‍යාං පැමිණි කාලයෙහි එම විහාරය ගරා වැටෙන තත්ත්වයෙහි පැවති බව සඳහන් කරයි. එමෙන්ම කොසඹෑනුවර විහාර දහයක් නටබුන් අවස්ථාවෙහි පැවැති බව සඳහන් කොට ඇත. එම කාලයෙහි ද 300 ක් හීනයාන භික්ෂූන් වැඩ සිටි බව දක්වා ඇත. එතුමන් විසින් අඩි 60 ක් උස විහාරයක් පිළිබඳවද සඳහන් කොට ඇත.

එහි සඳුන් ලීයෙන් හැදූ බුද්ධ ප්‍රතිමාවක් තිබූ බව සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ මෙය උදේණි රජු විසින් තනවා වන්දනා මාන කළ ප්‍රතිමාව හා විහාරගෙය බවයි. මීට අමතරව ඝෝෂිත සිටු මැදුරේ නටබුන් තවත් විහාරයක් ඝෝෂිතාරාමයේ දම් සභා මණ්ඩපයේ ඉදිකළ අඩි 200 ක් උස චෛත්‍යයක් බුදු හිමි පැන් පහසු වූ ළිඳක් දුටු බව සටහන් කොට ඇත. මෙතුමා මහායානික ප්‍රසිද්ධ ආචාර්ය වසුබන්ධු හමු වූ බවද වසුබන්ධුගේ වැඩිමල් සොයුරු මෙහි ජීවත් වූ බවද කියයි. මොහු යෝග විද්‍යාවෙහි මුල ප්‍රවර්ථක විය.

හත්වෙනි සියවසෙහි සිට එකොළොස් වැනි සියවස තෙක් කෙළෙසකින් හෝ අශෝක අධිරාජ්‍යයාගේ පරපුරම රාජ්‍යය කළහ. දොළොස් වැනි සියවසෙහි අන්‍යාගමික ආක්‍රමණ කාලයෙහි සිට 1836 තෙක් කොසැඹෑ නුවර ඉතිහාසය. අඳුරෙහි ගිලී ගියේය. වර්තමාන ශ්‍රීය නැවත ගෙන ඒමේ ගෞරවය ජනරාල් කනිංහැම් තුමාට හිමිවෙයි. එතුමා පළමු වරට මෙම කොසැඹෑනුවර රාජ්‍යය සොයා නම් කරන ලදී. ඉන්පසු 1921-1922 කාලයෙහි දයාරාම සාහනීද 1934-35 කාලයෙහි නදීගෝපාල් මජුම්දාර් මහතාද කැණීම් කළේය. එතුමාගේ කැණීම් වලින් ඉතා වටිනා පුරාතණික වස්තු සොයාගන්නා ලදී. අවසාන කැණීම 1960-70 කාලයෙහි අලහබාද් විශ්ව විද්‍යාලයෙහි සහ දිල්ලි විශ්ව විද්‍යාලයෙහි පුරාවිද්‍යා අංශ එකතු වී ආචාර්ය පී .ආර්. ශර්මාගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී. වර්තමානයේ එහි යන ඔබට දැකිය හැකි පුරා විද්‍යා නටබුන්

1. කොසැඹෑ නුවර නගර ආරක්ෂක පවුර මෙයට පිටතින් දිය අගලක්ද තිබූ බව සඳහන්ය.

2. නගරයට පිවිසෙන නැඟෙනහිර වාහල්කඩවේ. මෙම විශේෂ ආරක්ෂක විධි විධාන යටතේ සැකසී තිබුණු බව දක්නට ලැබෙයි.

3. ඝෝෂිතාරාමය, කුක්කුටාරාමය, පාවරිකාරාමය යන විහාරවල නටබුන්

4. අශෝක ස්ථම්භය – දැනට අඩි 22 දක්වා ඇති අතර මෙහි හිස කඩා දමා ඇත. එම හිස සිංහරූප හතරක් සහිතව තිබී ඇත.

බුදුරදුන් පැන් පහසු වූ ළිඳක් හා නාන ගෙයක් මෙය අශෝක ස්ථම්භය ආසන්නයෙහි දක්නට ලැබෙයි.

උදේනි රාජ මාලිගය යමුනා නදිය අසබඩ සුන්දර වැලිතලාවට ඔබ්බෙන් ආරක්ෂක පවුරක් සහිතව දැකගත හැකිය.

කොසඹෑ නුවරට යන ගමන් මඟ

කොසැඹෑ නුවරට සමීප ප්‍රධාන නගරය වනුයේ අලහබාද් නගරයයි. ගංගා හා යමුනා ගංගා දෙක එකට එකතුවන ස්ථානය වන “සංගම්” පිහිටා ඇත්තේද මෙම නගරයේය. මෙයද ඓතිහාසික වටිනාකමකින් යුතු පැරැණි නගරයකි. වාර්ෂිකව පවත්වනු ලබන ස්නානය කිරීම සඳහා වූ කුම්භ මේලා උත්සව සමයේ දිනකට ලක්ෂ ගණනක් හින්දු බැතිමතුන් පව් සෝදා ගැනීම සඳහා පැමිණෙයි. බරණැස නගරයේ සිට අලහබාද් නගරයට දුර කි.මී. 125 පමණය. එතැන් සිට කොසැඹෑනුවරට (කෝසම්බියට ) දුර කි.මි. 54 කි.

බුදුසමයෙහි දඹදිව සොළොස් මහා ජනපද නමින් රාජ්‍යයන් දහසයක් තිබූ බව සඳහන් වෙයි. එම සොළොස් මහා ජනපදයන්ගෙන් “වත්ස” රාජ්‍යයයේ අගනුවර කොසඹෑනුවරයි.

තවත් කොටසක් ඇසළ පුර පසළොස්වක පොහෝදා ජූලි 31 වනදා පත්‍රයේ


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 46

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]