UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 45

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 45

මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ඨ ගරු ධර්ම පිළිගෙන පැවිදි උපසම්පදාව ලබා කමටහන් ගෙන විදසුන් වඩා රහත් වූවා යැයි ඉකුත් අධි ඇසළ පුර පුරපසළොස්වක පෝදා පත්‍රයෙහි සම්බුදු උපත සිදුවූ බුද්ධ භූමි වන්දනාවෙන් පැහැදිලි කළෙමු. අද එතැන් සිට ...

කාලයාගේ ඇවෑමෙන් තව නොබෝ කලකින් බුදු හිමියන්ට පෙර ශාරිපුත්‍ර මොද්ගල්‍යායන, අඤ්ඤා කොණ්ඩඤ්ඤ නන්ද රාහුල මාතාවන්ද පිරිනිවන් පාන බව ගෝතමීන් වහන්සේ දුටහ. මේ හැම දෙනා වහන්සේට පෙර තමා පිරිනිවනට සැපත් විය යුතු බවද ආයු සංස්කාරය අත්හල යුතු බවද සිතා බුදුරදුන් කමා කරවා ඒ සඳහා අවසර ගත යුතු යැයි සිතුවාය.

එවිට පන්සීයක් භික්ෂුණි හූ මෑණියන් වහන්ස, ගෞතම මාතාවෙනි, අප හැම දෙනා ඔබ වහන්සේ හා පැවිදි බව ලබාගෙන මහණ උපසපන් විඳින්නෙමු. ගිහි කල්හි ඔබ ඇසුරු කොට සිටියෙමු. මෙසේ ඔබ හා එක්ව ලෞකික ලෝකෝත්තර සැප විඳ දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන්නට යන මොහොතේ අපිත් ඔබ වහන්සේ හා පිරිනිවන් පාම්හ යි කියා සිටියාය.

ඒ ඇසූ මහා ප්‍රජාපතී ගෝතමින් වහන්සේද ඔවුනගේ වදන් පිළිගෙන ඔවුහු හැම පිරිවරාගෙන මෙහෙණවරින් නික්ම කූටාගාර ශාලාවට පිවිස බුදුරදුන් වැඳ එකත්පස්ව සිට දොහොත් මුදුන් දී මනහර වූ ගාථා පෙළකින් මෙසේ කියති.

භාග්‍යවතුන් වහන්ස මම ඔබ වහන්සේට ධම්මපාල ජාතකය, චුල්ල නන්ද ජාතකාදි නොයෙක් ජාතීන් හි බිහි කළ මව් වීමි. මේ ජාතියෙහි ද බිහිකළ මවක් මෙන් ආදරයෙන් වැඩුවෙමි. එසේ හෙයින් නුඹ වහන්සේ මාගේ පුතුණුවෝය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේගේ රූප කාය පමණක් ආදරයෙන් වැඩුවෙමි. එසේ බිහි කළ ඔබවහන්සේ ශාන්ත දාන්ත ශ්‍රද්ධා ශීලාදී ගුණයෙන් මාගේ ධර්ම කාය මනාව වැඩුවෙහිය. එහෙයින් මම මේ ලෝකෝත්තර සම්පත්තිය ලැබීමි. මා ඔබ වහන්සේට පිදු සෙනෙහසම සිය දහස් ගුණයෙන් අගනේය.


ආනන්ද ස්තූපය

ස්වාමීනි තථාගතයන් වහන්ස, පෙර මා ඔබවහන්සේට කිරි පොවා නළවා සැනසුවෙමි. දැන් වනාහි මම ඔබ වහන්සේගේ සාසන නමැති තන මඬලෙහි සදහම් නමැති අමා කිරි බී සංසාර දුකින් සුවපත් වීමි. අමා මෑණියන් වහන්ස ඔබ වනාහි මස්සකින් උපකාර කළ කෙනෙකුට ලක්ෂයකින් ප්‍රත්‍යුපකාර කළ මහා පුරුෂයාණන් කෙනෙකි. යනාදි නොයෙක් තෙපුල් කිය කියා මහත් භක්තියෙන් වැඳ ස්වාමීනි මම ඔබ වහන්සේගේ සසුනෙහි සියල්ලන්ටම පළමුව නිවන් යනු කැමැත්තෙමි. ඔබ වහන්සේ මට එයට අවසර දුන් මැනවැයි පිරිවන් පෑමට ඉල්ලා ඉක්බිතිවත් කියන්නීය. සෑම හදවත්ම කඳුළින් තෙමීගිය අසිරිමත් කථා පුවතකි. මේ කථාව බුදුරජාණන් වහන්සේ තම සුළු මවට කොතරම් ආදරය කරන්නට ඇත්ද?

ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස බුදු කෙනෙකුන් දැකීම ඉතා දුර්ලභ වන්නේය. එසේ වුවත් මම ඔබ වහන්සේ දැක ගත්තෙමි. එසේ වෙතත් එක්සිය අටක් මඟුල් ලකුණකින් හෙබි සම්බුදු සිරි පා දිගු කළ මැනවැයි කීවාය. එකල්හි උන්වහන්සේ ඇය කී කථා අසා මහත් කරුණාවෙන් යුතුව රන් පියුම් පෙති යුවළක් සේ දිලිසෙන්නා වූ ශ්‍රී පාද යුග්මය දිගු කළ සේක.

ඕ තොමෝ ද බුදු සිරි පා බලා සතුටුව ආදරයෙන් වැඳ බුදුපියාණන් වහන්ස, සවණක් රැසින් බබළනා යුගල වූ ඔබ වහන්සේගේ ශ්‍රී දේහය දකිනු කැමැත්තෙමි. කුඩා අවදියේ මාගේම කුසින් වැදු දරුවෙකු සේ සලකා කිරි කැර පොවා ළය මඩලේ හොවා ඔබ වහන්සේ උස් මහත් කළෙමි.

ලෝක ධාතුව කම්පා කැර ස්වයංභු ඥානය ලබා තුන් ලොවට මැ ජගදානන්ද අභිෂේක නාමය දිනූ අප තථාගතයන් වහන්සේ කිරි දරුවෙකු හෙයින් අවනතව තම සුළු මවට පුදන මේ උපහාරය ගැන මොහොතක් සිතන්න. එය මේ මිහිමඩලේ ගුණබර සියලුම මව්වරුන්ට පිදු උපහාරයක් නොවන්නේද ?

පිරිනිවන් පාන්නට යන ගෝතමීන් මාතාවන් ගැන ඇතිවූ දුකින් ආනන්ද හිමියන් කඳුළු සඟවා හඬති. ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ ආනන්ද හිමි වෙත ගොස් උන්වහන්සේ අවසන මේ මොහොත ගැන සිතන්න.


ජපන් චෛත්‍යය

මා දයාබර පුතණුවනි, ආනන්ද තෙරුන් වහන්ස ඔබ මට බෝ උපකාර කළෙහිය. ඔබ මාගේ දරුවූවෙහිය. මාගේ කල්‍යාණ මිත්‍ර වූයෙහි. මට මේ නිවන් සාදා ගැනීම සඳහාත් බොහෝ ස්ත්‍රීන්ගේ යහපත සඳහාත් භික්ෂුණී සාසනය පිහිටු වීමෙහි අනුසස් දන්වා බුදුරදුන්ගේ අවසර ලබා දුන්නෙහිය. ආනන්ද ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ බහුශ්‍රැතයන් අතර අග්‍ර වූහ. අග්‍ර බුද්ධෝපස්ථායක වූහ. එසේ හෙයින් ඔබ වැනියන් මෙසේ හැඬීම නුසුදුසු වන්නේය. මේ හැඬීමට කාලයද නොවන්නේය. මේ මාගේ මංගල කාලය වන්නේය. තව මොහොතකින් එය බැලිය හැක්කේය. එසේ හෙයින් ඒ බලන්නට නොහඬා සිටිනු මැනවි.

ප්‍රජාපතී මාතා වහන්සේ භික්ෂුණීන් පන්සියයද සමග බුදු හිමි වෙත වැඩම කර ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ වනාහි මා ඔබ වහන්සේ දකින අවසන් අවස්ථාවයි. මින් පසු ඔබ වහන්සේගේ දර්ශනය නොවන්නේය. මට නිවනට යෑමට අවසර දුන මැනවි යි කියා අවසර ලබා ගෙන පිරිනිවන් මංචකයට වැඩම කළාය .

ප්‍රජාපතී දේවියගේ සිරුර රන්සිවි ගෙයක බහා ඉදිරියෙන් ගෙන යද්දී දහසක් දෙවියෝ අහසින් මල් වැසි වැස්සූහ.

ආනන්ද මාගේ සුළු මවගේ දෙණ පිටුපසින් ඇයගේ ගුණ සිහිපත් කරමින් මා ගමන් කළ යුතු යැයි පැවැසූ භාග්‍යවතුන් වහන්සේ මවගේ උදාර ගුණ කඳ සිහිපත් කරමින් දෙණ පසුපස පා ගමනින් වැඩම කළහ.

බුදුරජාණන් වහන්සේ මෙසේ ගමන් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වන්නේය. ඒ මව්තුමියට දක්වන ලද උතුම් කරුණාවයි. මාතාවගේ සඳුන් දර සෑයට ගිනි දැල්වීමට පෙර අප තථාගතයන් වහන්සේ තම ශ්‍රාවකයන්ට මෙසේ පැවසූහ. මහණෙනි, බුදු කෙනෙකුන් මෙසේ වූ ආදාහන පූජාවක් කළ තැනෙක් තවත් නැත. මේ ආදාහන පූජාව ආදර්ශයක් කොට ගනිත්වා මව් ස්නේහය බුදු කෙනෙකු විසින් ද පුදන ලද්දේය වදාළ සේක.

ඉක්බිති ලිච්ඡවී රජ දරුවෝ සඳුන් දර සෑ සාදවා රන්සිවි ගෙවල් එහි තැන්පත් කොට සුවඳ ද්‍රව්‍යයන් ඉස නොවී දැවී ගියහ.

ශ්‍රාවක ඔබ මෙය කියවා තම දෙමාපියන් හට සැලකීමේ උතුම් කටයුතු නිරන්තරව සිහිපත් කරන්න.

තවත් කොටසක් අධි ඇසළ අමාවක පොහෝදා  ජූලි 15 වනදා පත්‍රයේ


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 44

 

    අධි ඇසළ අව අටවක පෝය

අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 08 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 07


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]