UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධි ඇසළ පුර පසළොස්වක 2015.07.01

අර්ථවත් දිනයක් කර ගනිමු

මනසින් උසස් වන හෙයින් ම මිනිස් නාමය ලබනු ලැබේ. සිතීමේ සහ විමසීමේ ශක්තිය පවතිනුයේ මනුෂ්‍යයාට ය. එබැවින් උසස් මනසකින් යුක්ත මනුෂ්‍යයා ජීවිතය පිළිබඳ යථාර්ථයෙන් අවබෝධයට පැමිණිය යුතුය. මිනිසත් භවයක් ලබා ගැනීම පවා ඉතා අපහසු වූ දුර්ලභ කරුණක් වන්නේ ද එබැවිනි. එසේ නම් අපහසු වූ, දුර්ලභ වූ එම මිනිස් ජීවිතය ලබා සිටින මනුෂ්‍යයා බුද්ධිමත් ව කටයුතු කිරීමෙන් ම පමණක් එම ජීවිතය උදාර මිනිස් ජීවිතයක් බවට පත් කර ගත හැකි වේ.

සත්වයා අනන්ත කාලයක් පුරා සසර ගමනේ සැරි සරනු ලැබේ. මෙසේ ඒ නිමක් නැති සසර ගමනේ ඉමහත් වාසනාවකට මෙන් මිනිස් ලොව උපත ලබයි. සසර පුරා කරන ලද කුසලාකුසල කර්මානුරූපව මෙලොවට බිහිවන මනුෂ්‍යයා තව තවත් කුසල ශක්තියම වර්ධනය කරගත යුතුවේ. උපන් කුසල් වර්ධනයටත්, නූපන් අකුසල් නොඉපිදවීමටත් ක්‍රියා කළ යුතු වන්නේ මනුෂ්‍යයා විසින්ම ය. නිමක් නැති සසර ගමනේ මිනිස් ලොවට පැමිණීම සුළු කලක් ගිමන් හැරීමට පැමිණියා වැන්න. දුක මත පිහිටි ලොව තුළ සැරි සරමින් දුක වෙත යා යුතු ද? නැතහොත් බුද්ධිමත්ව සිතා බලා දුකින් පිරි ලොවින් එතෙරවීමට උත්සාහ කළ යුතුද?

අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පුරා පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී, වශයෙන් සමතිංසත් පාරමී දම් සපුරමින් ගෞතම මහ බෝධි සත්වයන් වහන්සේ ලොව පවතින සත්‍යය, යථාර්ථය ස්වකීය ඤාණයෙන් ම අවබෝධ කර ගත්හ. අප මහ බෝධි සත්වයන් වහන්සේ පාරමී දම් පිරූ සමයේ ඒ බෝසත් සිරිත පවා මහා අසිරිමත් ය. දීපංකර පාද මූලයේ දී තමන් වහන්සේ පළමු නියත විවරණ ලද්දේ අනන්ත කාලයක් පුරා සසර ගමනේ ඇවිදින අප්‍රමාණ සත්වයන් ඒ සසර ගමනින් එතෙර කරවීම සඳහා ය.

බුද්ධිමත් මනුෂ්‍යයා ඉඩ ලද හැම විට ආගමානුකූල දිවි පෙවෙතට යොමු වනු ලැබේ. එහෙත් ඒ පිළිබඳ කලාතුරකින් හෝ විමසා නොබලන අයෙකුට පවා සිය ආගමික දිවිපෙවෙත පිළිබඳ බුද්ධිමත් ව විමසා බැලීමට සුදුසු දිනය පොහොය දිනයයි. ආධ්‍යාත්මික සුවය පතන අයෙකුට සෑම දවසක් ම පොහොය දිනයක් ලෙස ගත කළ හැකිවේ. පොහොය දිනය තුළදීවත් ආගමික කටයුතුවල නොයෙදීමෙන් සැබැවින් ම ආධ්‍යාත්මික වශයෙන් සැනසීමක් ලැබිය නොහැකිය.

ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි භාරතය පුරා විවිධ දෘෂ්ටීන්ගෙන් පිරී පැවතුණි. ඒ නිසා ම සත්‍යය සොයා ගිය බුද්ධිමතුන්ගේ විමුක්ති පර්යේෂණ හේතුවෙන් භාරතීය සමාජය තුළ එක්තරා බුද්ධි ප්‍රබෝධයක් ද ඇති වී තිබූ බව පෙනේ. එකල පැවැති ආගමික චින්තාවන් මගින් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් නොව මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ උපදේශ පවා නොලැබී තිබිණි. එසේ නොයෙක් දෘෂ්ටිවාදීන් ගේ දර්ශන කුමක් වූවද? ඒ සියල්ලන්ගේ අදහස වූයේ සත්‍යය ගවේෂණයයි. එබඳු අවධියෙක පහළ වූ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ අවබෝධ කරගත් සත්‍ය වූ දහම සකල ලෝකවාසීන්ගේ ම අධ්‍යාත්මික සුවය සඳහා විවෘත වූ දහමක් විය.

තමාගේ ම අත්දැකීමෙන් අවබෝධ කර ගත යුතු වූ එම නිර්මල සම්බුදු දහම ලෝවැසි සත්වයන්ගේ යහපත පිණිස දේශනා කර වදාළ උතුම් දිනය ඇසළ පොහොය දවසයි. ක්‍රි. පූ. සයවන සියවසේ දී භාරත දේශයේ එසේ පහළ වූ සම්බුදු දහම හේතුවෙන් වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් පුරා ලෝවාසීනට සිදු වූයේ උදාර සේවයකි. එම උතුම් දහමෙන් පෝෂණය ලද මෙරට බෞද්ධ ජනතාව පොහොය දවස තුළ දී හැකිතාක් ආගමික වශයෙන් තම ජීවිතය සුවපත් කර ගැනීමට උනන්දු වන්නේ නම් පොහොය දිනය තව තවත් අර්ථවත් දිනයක් වී බෞද්ධ ජන සමාජය ආදර්ශවත් සමාජයක් වනු ඇත.

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]