UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා

1.ප්‍රශ්නය
ධර්ම සාකච්ඡා වැඩසටහන නැවත පටන් ගැනීම ගැන බුදුසරණට ස්තුති කරමි. පන්සිල් සමාදන් කරවීමේදී සමහර ස්වාමින් වහන්සේලා සරණාගමණං සම්පුණ්නං යනුවෙන්ද පන්සිල් අවසානයේ තවත් දිග පාලි පාඨකයක්ද දේශනා කරති. ඇතැම් ස්වාමින් වහන්සේ එසේ නොකියා පන්සිල් පමණක් දේශනා කරති. මෙයින් වඩාත් නිවැරැදි ක්‍රමය ධර්මානුකූලව පහදා දෙන්න.

පන්සිල් සමාදන්වීම උසස් ගෘහස්ථ චර්යාවකි. තෙරුවන් සරණට පත්ව පන්සිල් රකින තැනැත්තා උපාසක පුණ්ඩරික හෙවත් උපාසක නෙළුමක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ. අත්‍යවශ්‍ය වන්නේ තෙරුවන් සරණ යෑමයි. තම තම සම්ප්‍රදායන්හි පිළිගැනීම්වලට අනුව මේ උතුම් අවස්ථාව වඩාත් තීව්‍ර කිරීමට සරණාගමනං සම්පුණ්ණං හෝ තිසරණගමනං සම්පුණ්ණං යන පාඨය ස්වාමින් වහන්සේලා දේශනා කරති. සරණාගමනයට පත්වීම හෝ තිසරණ සරණ යෑම සිදු වූ බව දැන්වූයේය. ස්වාමීනි කියා (ආම භන්තෙ) පිළිගැනීමක් ඉන් සිදු කෙරේ. එවැනි ප්‍රකාශයක් කළත් නොකළත් එය ධර්ම විරෝධී නම් නොවන්නේමය.

පන්සිල් සමාදන් වී අවසානයේ තිසරනේන සද්ධිං පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේථ හෝ සම්පාදේ තබ්බං හෝ ලෙස පන්සිල් සමාදන් කරවන ස්වාමින් වහන්සේ අවවාදයක් කරති. තිසරණ සහිත පංච සීලය මැනවින් ආරක්ෂා කර ගෙන රකිනු මැනවි හෝ රැකිය යුතුයි හෝ එහි අදහසයි. ඒ පාඨය අසා එසේය ස්වාමීනි (ආම, භන්තෙ) යැයි ප්‍රකාශ කළත් නැතත් පංච සීලය පිහිටුවීම සිදු කෙරේ. මේ විශේෂතාව ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ සම්ප්‍රදායන්ය.

පන්සිල් සමාදන් වූ විට මැනවින් රකින්න යැයි අවවාදයක් කිරීම වරදක් නොවේ. අවශ්‍ය වන්නේ තෙරුවන් දැන හැඳින ගිහි ජීවිතයට දියුණුවක් වන ප්‍රකෘති සීලය වන පංච සීලය රැකීමයි.

2.ප්‍රශ්නය

ඉතිපිසෝ භගවා ආදි පාඨ සමඟ යෙදෙන පසු පාඨයන්හි ‘බුද්ධං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමී” (නිවන් දකින තුරු බුදුරදුන් සරණ යෙමි) යනුවෙන් පවසා අපි වන්දනා කරමු. ඇතැම් ස්වාමින් වහන්සේලා බුද්ධං ජීවිතං පරියන්තං සරණං ගච්ඡාමී’ (ජීවිතාවසානය දක්වා බුදුන් සරණ යෙමි) යනුවෙන් ප්‍රකාශ කරති. මේ යෙදුම් දෙකින් වඩා නිවැරැදි ව්‍යවහාරය කුමක්දැයි පහදා දෙන්න.

ඉතිපිසෝ භගවා ආදි මූලික පාඨ ඉතා පැරැණි ශ්‍රී මුඛ දේශනාවකි. බුද්ධං ජීවිතං පරියන්තං සරණං ගච්ඡාමී පාඨයෙන් සරණ යෑම ඉතා නිවැරැදි ශාසනික ව්‍යවහාරයයි. සරණ යෑම ආත්ම සන්නිර්යාතන, තත්පරායන, ශිෂ්‍ය භාවෝපගමන, ප්‍රණීපාත නමින් සතරාකාර වෙයි. බුද්ධං ජීවිතං පරියන්තං ආදි පාඨයන්හි මේ සතරාකාරයට දැක්වේ.

බුද්ධං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමී යන පාඨයේ නිවන් දකින තුරා මම බුදුරදුන් සරණ යමියි ප්‍රකාශිතයි. මරණයෙන් අපගේ මේ භවය කෙළවර වෙයි. ඒ නිසා නිවන දක්වාම සරණ යෑම අඛණ්ඩව විය නොහැකියි. නියතවම නිවන දක්වා තෙරුවන් සරණ ගියෝ සෝවාන් මාර්ග ඵල ලාභීහු සහ ඉන් ඔබ්බට මාර්ග ඵල ලැබූ උතුමාණෝයි. ඒ උතුමෝ නියතයෙන්ම නිවන් සාක්ෂාත් කර ගත්තාහු වෙති. සෝවාන් තැනැත්තා භව 7 කදී නිවන් සාක්ෂාත් කර ගනී. ඒ නිසා අඛණ්ඩව සරණ පවතී. කෙලෙස් සහිත පුද්ගලයාගේ සරණය මේ භවයේදී වත් ස්ථීර ලෙසම තිබිය නොහැකියි. සරණය යනු ශ්‍රද්ධාවෙ ප්‍රකට බවයි. අචල ශ්‍රද්ධාව නොමැති තැන සරණාගමනය ද බිඳ වැටෙති.

බුද්ධං ජීවිතං පරියන්තං සරණං ගච්ඡාමි යන්න මෙම ජීවිතාවසානය දක්වා මම බුදුන් සරණ යමි යන්නයි. ඒ සරණය කුසලයෙන්, උසස් කෞශල්‍ය ඤාණයෙන් සහ උට්ඨාන වීර්යයෙන් මේ භවයේ ආරක්ෂා කරගත හැකිය. එබැවින් බුද්ධං ජීවිතං පරියන්තං සරණං ගච්ඡාමි යන්න වඩා යෝග්‍ය වෙයි. එය ආත්ම සන්නිර්යාත සරණය හෙවත් අද පටන් මගේ ජීවිතය තෙරුවන්ට පුදමි යන සරණාගමනයට මැනවින් ගැළපේ.

3.ප්‍රශ්නය
අභිධර්මය බුදුරජාණන් වහන්සේගේ දේශනයක් නොවන බව සමහර දේශක ස්වාමින් වහන්සේලා දක්වා සිටිති. ස්ව මතය පහදා ලීමට පොත පත ද ලියති. සත්‍ය වශයෙන් මේ මතය නිවැරදි වූවක් ද යන්න මූලික ථෙරවාදී ඉගැන්වීම් අනුව පහදා දෙන්න. මෙබඳු ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා බුදුසරණ පත්‍රයේ ඉඩක් වෙන් කිරීම ගැනද සතුට ප්‍රකාශ කරමි.

අසූහාර දහසක් ධර්මස්කන්ධයෙන් අඩක්ම අභිධර්මයයි. බුදුරජාණන් වහන්සේගේ දේශනය ධර්ම විනය යන දෙ ආකාරයයි .එහි විනය , විනය අභිවිනය යැයි දෙවදෑරුම්ය. ධර්මය, ධර්මය අභිධර්මය යැයි දෙවැදෑරුම් වෙයි. ධර්මය සූත්‍ර පිටකයක් ලෙස සංග්‍රහ කිරීමටත් පෙර සිට අභිධර්මය සංග්‍රහ වී තිබුණි. බුදුරජාණන් වහන්සේ හත්වන වස් කාලයේ මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කළ සේක.

බටහිර අධ්‍යයන ශික්ෂාවල මූලික ලක්ෂණයකි සැකය. ඊට ගැළපෙන පාලි වචනය විචිකිච්ඡාවයි, බෞද්ධ අධ්‍යයන ශික්ෂාවල විමසීම ඉතා උසස්ව සලකා ඇත. ඒ “ධම්ම විචය” යන්නයි. එය සම්බෝධි අංගයකි. ශෛලියෙන් සූත්‍ර දේශනා ශෛලියට අයත් නොවන අභිධර්ම දේශනාව දුටු බටහිර උගත්තු, එය බුද්ධ භාෂිතයක් නොවෙති”යි යන මතය ඉදිරිපත් කර ඇත. එසේ වුවද ප්‍රථම සංඝායනාවේ දීම අභිධර්ම පිටකය සංග්‍රහ විණි. චුල්ලවග්ග පාලියේ පඤ්ඤසතික්ඛන්ධනයේ ‘පිටකං තීණි සංහීතිං අකාසු පින සාවකා’ යැයි ප්‍රකාශ වෙයි. අභිධර්මය ඒකාන්තයෙන්ම බුද්ධ භාෂිතයකි.

අභිධර්මයේ කෙරෙන ධර්ම විග්‍රහ බුද්ධ භාෂිත දැයි දැන ගැනීමට “සතර මහාපදේශ” න්‍යාය අනුගමනය කිරීම මැනවි. අභිධර්මයේ පැනෙන ධර්ම න්‍යායන් එක එක ගෙන මහෝපදේශ න්‍යාය අනුව බැලුවොත් ඒ බුද්ධ භාෂිත බව තමන්ට තේරුම් ගත හැකිවෙයි. එවිට සත්‍යය කුමක්දැයි තමන්ට තේරුම් ගත හැකි වෙයි. කවරෙක් හෝ සද්ධර්මය විකෘති කරන්නේද ඒ තැනැත්තා දුගතියට පත් වෙයි. දුප්ප්‍රඥාවන්ත වෙයි. මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ අභිධර්මය බුද්ධ භාෂිතයක් නොවන්නේ යැයි කියන්නවුනට දීර්ඝව පිළිතුරු සපයා ඇත.

4.ප්‍රශ්නය
වර්තමානයේ ප්‍රදර්ශනය වන චිත්‍රපටි වල හා ටෙලි නාට්‍ය වල භික්ෂු චරිත බෙහෙවින් දක්නට ලැබේ. මේ තත්ත්වය භික්ෂු ගෞරවයට හා ශාසන පරිහානියට හේතුවන බව අපගේ හැඟීමයි. මේ පිළිබඳ ධර්මානුකූල විවරණයක් කරන්න.

භික්ෂූන් වහන්සේ යනු පූජකයෙක් නොවේ. බුදුරජාණන් වහන්සේ මෙන්ම පූජ්‍ය වූ රත්නයකි. භික්ෂුවක් සකස් කිරීමට සකස් කෙරෙන ව්‍යවස්ථා මෙලොව කිසියම් ම සමාජය පුද්ගලයෙකු නිර්මාණය කිරීමට යොදා නොගනී. රජ කුමරකු සකස් කිරීමේදී ඔහුගේ හැසිරීම්,ආකල්ප, සැකසීමට වෙනම ගුරුවරු සිටිති. පාඨමාලා ද වෙයි. ඒ කිසිඳු පාඨමාලාවක් භික්ෂු පුහුණුව තරම් පුළුල් නොවේ. නව කෙළ දහසක් ශික්ෂාවල භික්ෂුව සංවර කරවයි. ප්‍රාතිමෝක්ෂ, සංවරය, ආජීව , පාරිශුද්ධිය, ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍යසන්ශි‍්‍රත ශීල ආදියේ ඇත්තේ ඒ ශික්ෂණ ක්‍රමයයි. සිය ශාස්තෘ බුදුරජාණන් වහන්සේගේ චර්යාවත් දර්ශනයත් ස්වකීය චර්යාව හා දර්ශනය කර ලීමට මෙය හේතු වෙයි. එබැවින් භික්ෂූ චරිතයක් චිත්‍රපටවල හෝ ටෙලි නාට්‍යවල හෝ යෙදුවත් කිසි දින නිවැරදි භික්ෂු චරිතයක් රඟපානු නොහැකි වෙයි.

භික්ෂු ප්‍රතිරූපය චිත්‍රපටි හා ටෙලි නාට්‍යවලට යෙදීමෙන් භික්ෂු ගෞරවය සපුරා විනාශ වෙයි. විටෙක උසස් චරිත විනාශ කිරීමට විවිධ උපක්‍රම සමාජයේ භාවිත වෙයි. ලංකාවේ උසස්ම පුරවැසියා වන ගමරාළ යන චරිතයේ අලියෙකුගේ වලිගයේ එල්ලී දිව්‍ය ලෝකයේ යන මෝඩ චරිතයක් හෝ අලියා විසින් වගාව විනාශ කරන විට ඒ සඳහා ගෙදර වංගෙඩි බැඳ තබන මෝඩයෙකු හෝ කළේ ඒ උසස් චරිතය නැසීමේ සැලැසුම අනුවයි. ලාංකික සම්භාවනීය මහදැනමුත්තාට වූ දෙය අපි දනිමු. ඒ උසස් උපදේශක චරිත උපහාසයෙන් ම විනාශ කර දැමීය.

ඒ ඒ සමාජ ඒකකයන්හි ගෞරවය රැකෙනුයේ උපහාසයෙන් අපහාසයෙන් තොරව එම චරිත රැක ගන්නේ නම් පමණි.අද භික්ෂු චරිතය එම උපහාසයට ලක් කර ඇත්තේ ඇතැම් ටෙලි නාට්‍ය හා චිත්‍රපට තුළිනි. සිවුර ඇඳුමක් නොවේ. එය අරහත් ධජයයි. එය පාවිච්චි කිරීමට බලය ඇත්තේ සම්මුතියකින් බලය ලබා ගත් මහා පෞරුෂවත් අයකුට පමණි. එම සිවුරු නළුවකුගේ ශරීරයට දැමීම වරදකි.

සමහරු සමාජ ඒකකවල යථාර්ථය සොයා බැලීම උසස් නිර්මාණයකියි සළකති. විචාරයට ඇති ස්වාධීන අයිතියක් ඇතැයි සලකා භික්ෂු චරිත චිත්‍රපටයට නැගුවත් ඉන් වන අවසාන ප්‍රතිඵලය එම චරිත හෑල්ලුවට ලක්කිරීමයි.

5 ප්‍රශ්නය
ගව ඝාතකාගාරයක මරනු ලැබීම සඳහා බැඳ සිටින ගවයෙකු මුදල් ගෙවා බේරා ගැනීමෙන් පිනක් සිදුවේද? සමහරු මෙයින් පින් සිදු නොවන බව තර්ක කරති. මේ ප්‍රශ්නය අසන්නේ සත්‍ය තත්ත්වය දැන ගැනීමටයි. කරුණාකර පහදා දෙන්න.

මරණයට නියම කර ඇති ගවයෙකු නොව ඕනෑම සතෙකු නිදහස් කිරීම පිනක් නොවන්නේ යැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකියි. ඒත් මේ ප්‍රශ්නය තුළ ඊට වඩා ගැඹුරු ස්වභාවයක් හැදැරීමට ප්‍රශ්නකරු උත්සාහ ගන්නා බව පෙනේ.

ගවයා සිංහල ජාතියට ලාංකික බෞද්ධයාට සුවිශේෂි සතෙකි. හින්දු ජනතාවගේ කොටසක්ද මේ සතා පූජනීයයි සලකති. එබැවින් ගව මස් කෑම ශ්‍රී ලාංකික සමාජයේ පිළිකුල් කරුණක් විය. සිංහල සමාජයේ එකම පහත් කුලය ලෙස සලකනු ලැබුවේ කිසි ලෙසකින් භූමියේ අයිතිය හා නිෂ්පාදන අයිතියක් නොලබන එකම ජන කොට්ඨාසයක් පමණි. දුටුගැමුණු රජ කාලයේ හරක් මස් කෑ නිසා රජු රැකියා කිරීම හා ඉඩම් අයිතිය තහනම් කර සිඟාකෑමෙන් ජීවත් වන ලෙස තමන්ට අණ කළ බව ඒ ජන කොට්ඨාසයේ සාමාජිකයෝ කියති. සිංහල සංස්කෘතිය, එයින් මතුවූ ජන කවිය ගවයාට ලබා දෙනුයේ උසස් ස්ථානයකි.

මේ පරිසරය තුළ ගව ඝාතකාගාරයක තව මොහොතකින් මරණයට පත් වන ගවයෙකු දකින සැදැහැවත් බෞද්ධයෙකුගේ පපුව පිච්චී පැළී යාමට ආසන්න වෙයි. ඒ නිසා කියන ගාන ගෙවා සතා නිදහස් කර ගනී. මේ සද්පුරුෂයාගේ සන්තානගත මෛත්‍රිය, කරුණාව, කුසලය අපි අගය කළ යුතු වෙමු.

එහෙත් ගව ඝාතකයෝ වනාහි ගවයා බේරා ගන්නට යන පින්වතුන් වැනි සද්පුරුෂයෝ නොවෙති. සතා දැක සැදැහැවතා තුළ ඇති වන කම්පනයේ ප්‍රමාණය අනුව මේ රුදුරු මිනිසා ගවයාගේ මිල ඉහළ දමයි. රුපියල් දහ දාහකට මිලට ගත් ගවයා රුපියල් හතළිස් දහසකට හෝ පනස් දහසකට හෝ මිල කරයි. කම්පාවේ තරම නිසා හතළිස් දහසක් දී ගවයා නිදහස් කර ගනී. ගව ඝාතකයා ඒ මුදලට ගවයන් හතර දෙනෙක් නැවත මිලදී ගනී. ගවයෙක් බේරා ගැනීමෙන් ගවයින් හතර දෙනෙක් මරා දැමීමට සැදැහැවතුන් උදව් නොකරයි. එහෙත් වන්නේ එයයි.අනෙක් කරුණ දිනකට සැපයීමට භාර ගන්නා මස් ප්‍රමාණය මේ සතා නිදහස් කළ නමුත් ගව ඝාතකයෝ අඩු නොකරති. අනෙක් අතට ගවයන් නිදහස් කර ගත් පින්වතුන් ඒ සතා කාට හෝ භාර දෙයි. පසු විපරම් නොකරයි. කපටි ලෝකයේ ඇතැම්විට නැවත ඒ සතා මස් කඩයටම යැවේ.

මේ නිසා ගවයන් නිදහස් කිරීමේ කර්තව්‍ය ඉතා ක්‍රමවත්ව සකස් කරගත යුතු වෙයි. ගව ඝාතකාගාරයට යෑමට හෙවත් මස් මුදලාලි ගවයා මිලට ගැනීමට පෙර ගවයා මිලට ගත හැකි නම් වඩාත් යෝග්‍ය වේ. එය තව විනාඩි කිහිපයකින් මරණයට පත්වන සතාගේ දුක්ඛිත ස්වභාවය තරම් අපගේ සිත කම්පා නොකරයි. හේ වඩා හොඳ ක්‍රමයයි. ඒ නිදහස් කර ගත් සතා නඩත්තු කිරීමට සුදුස්සෙකුට භාර දිය යුතු වෙයි. යටත් පිරිසෙන් මාසයකට වරක් වත් මේ සතා ගැන සොයා බැලිය යුතුයි. ගව අනාථාගාර ලංකාවේ දැනට ඇත. එවැනි තැනකට දී ඒ නිත්‍යානුකූල ආයතන මගින් සුදුස්සන්ට සතුන් පැවරිය යුතු වෙයි. ඒ සතා ගොවිතැන් වැඩට යෙදවීම,ඇගෙන් කිරි ලබා ගැනීම වැරැදි නැත. නිසි ආහාර ආරක්ෂාව තිබේදැයි සොයා බැලීමට ඒ සඳහා මුදල් යෙදවූ සැදැහැවතාට අවස්ථාව තිබිය යුතුයි.

එවැනි නිසි ක්‍රමවේදයක් නොවන්නේ නම් සිදුවන්නේ හෙට මරණයට පත්වීමට නියමිත සතාට වසරකට පෙර මරණයට පත්වීමට සිදුවීම වැනි අසාධාරණයයි.

හොඳම දෙය නම් මස් කෑම සපුරා අත් හැරීමයි. ඉල්ලුම අඩු වන විට සැපයුම අඩු කිරීමට මුදලාලිට සිදුවෙයි. එවිට ගව ඝාතනය අඩු වෙයි.


“ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා” සඳහා පාඨකයන්ගේ දහම් ගැටලුවලට පිළිතුරු සපයන බැවින් අදාළ දහම් ගැටලු කෙටියෙන් ලියා “ධම්ම සාකච්ඡා” බුදුසරණ ලේක්හවුස් ලිපිනයට යොමු කරන්න.

 

  පොසොන් මස අව අටවක පෝය   

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]