UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අව අටවක 2015.06.09

අපේ අතීතය

නුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිහිපත් කැරෙමින් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම 53 වනවරට මෙවර දින පහක් පුරා මිහින්තලා පුදබිමේ දී මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍යපාද වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි අත්‍යාලංකාරයෙන් පැවැත්විණි.

පොසොන් පුර පසළොස්වක පෝදා එම ආලෝක පූජාව විවෘත කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසිනි. එහිදී එතුමන් දැක්වූ අදහස්වලින් කොටසක් අද මෙ මගින් ඉදිරිපත් කිරීම උචිත යැයි සිතමු.

"මෙයට පනස් තුන් වසරකට පෙර මිහින්තලා රජමහා විහාරස්ථ මහා සෑ රදුන් වෙනුවෙන් ආලෝක පූජාව ආරම්භ කරන අවස්ථාවට සහභාගිවීමට මටද අවස්ථාව ලැබුණා. විහාරාධිපති නාහිමියන්ද සඳහන් කළ පරිදි ඒකාලයේ මේ ප්‍රදේශයට විදුලිය තිබුණේ නෑ. එකල මෙම රජමහා විහාරය වැඳ පුදා ගැනීමට පැමිණියේ හුළු අතු දල්වාගෙන හෝ ලාම්පු හෝ විශාල ප්‍රමාණයේ ටෝච් රැගෙනයි. එසේ පැමිණි සමහරුන්ට සර්පයන් දෂ්ට කිරීම නිසා ඇතැම් කෙනෙක් රෝගාතුර වූ අතර කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එම ප්‍රශ්නයට විසඳුමක් ලෙස පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලාව වෙත විදුලි ආලෝකය ලබාදීමට එවකට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළා. ඒ අනුව මිහින්තලා රජ මහා විහාරයට විදුලි ආලෝකය ලබාදීම සඳහා ඩීසල් ජෙනරේටර් දෙකක් ගෙන ඒමට සිදු වූ අතර ඒ සඳහා පාරක් කැපීමටද සිදුවුණා. එක් ජෙනරේටර් යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වුවහොත් අනෙක් ජෙනරේටර් යන්ත්‍රයෙන් විදුලි ආලෝකය ලබාදීම අරමුණ වුණා. එසේ රජමහා විහාරයට විදුලි ආලෝකය ලබාදුන්නේ ජෙනරේටර් යන්ත්‍රය මගිනුයි. ඒ උත්සවය සඳහා මමද පැමිණියා. එවකට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේ රංජිත් විජයවර්ධන මැතිතුමා, සභාපති ලෙස සහ මගේ පියා හා බාප්පාවරුත් සිටියා. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් මිහින්තලා රජ මහා විහාරයට විදුලි ආලෝකයට අනුග්‍රහය දැක්වීමට තීරණය කළ ඔවුන්ගේ ඊළඟ තීරණය වූයේ ඒ උත්සවය සඳහා පවුල්වල සියලු දෙනාම සහභාගි විය යුතු බවයි. ඒ අනුව මමත් මාගේ සහෝදරයන් හා සහෝදරියත් අනෙකුත් ඤාති සහෝදර සහෝදරියනුත් ඇතුළු සියලු දෙනා පැමිණ මිහින්තලා රජ මහා විහාරයේ විදුලි ආලෝක පූජාවට සම්බන්ධ වී පුද පූජා පැවැත්වූවා.

අනුරාධපුරය දියුණු කිරීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් ගත් ව්‍යායාමය විශේෂයෙන් මා සඳහන් කළ යුතුයි. එවකට සංස්කෘතික අමාත්‍යවරයාව සිටි ඊ.එල්.බී. හුරුල්ලේ මැතිතුමාත් ඒ දියුණුව ඇති කිරීමට විශාල වැඩ කොටසක් කළා.

1963 මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කළාට පසු 1968 දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් පළමු රන්වැට පූජා කළා. 2003 මා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් දෙවන රන්වැට පූජා කිරීමට අවස්ථාව ලැබුණා.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ මිහින්තලාවේ පොසොන් පොහොය නිමිත්තෙන් අවශ්‍ය වැඩ කර තිබෙනවා. එවගේම අනෙකුත් අංශයන්ගෙන්ද දියුණුව ළඟා කරගෙන තිබෙනවා. මිහින්තලා රජමහා විහාරයේ දියුණුව වෙනුවෙන් අනාගතයේ ඉටුකළ යුතු යුතුකම් ඉටු කිරීමට මා කටයුතු කරනවා. එදා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් රන් වැට දෙකක් ඉදිකළ අතර ප්‍රදේශය දියුණු කිරීමට කටයුතු කළහ. අපට ඉටු කිරීමට තවත් එක් වගකීමක් තිබෙනවා. දේවානම්පියතිස්ස මහරජතුමා මහා විහාරය ආරම්භ කළේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව අපේ රටේ බුද්ධාගමේ කේන්ද්‍රස්ථානය වන්නේ මහා විහාරයයි. එමෙන්ම ථෙරවාදී බුද්ධාගමේ මුල ලෙස ලෝකවාසී බෞද්ධයන් සලකන්නේ මහා විහාරයයි. දුටුගැමුණු මහරජතුමා මහා සෑය ඉදි කළේ ඊට පසුවයි. මහා විහාරය පිළිබඳ කැණීම් කටයුතු තවම සිදු වී නැහැ.මෙරට පමණක් නොව ඉන්දියාවේ බෞද්ධයන්ද මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවල බෞද්ධයන්ගේ මූලස්ථානය ලෙස සලකන්නේ මහා විහාරයයි. ඊට අමතරව යුරෝපයේ, ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ ථෙරවාදී බුදුදහම වැළඳ ගන්නා අය තමන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස මහා විහාරය සලකනවා. යුරෝපීය රටවල බුදුදහම වළඳ ගන්නා සියයට අනූවක් වැළඳ ගන්නේ ථෙරවාදී බුදුදහමයි. ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරයේ වැඩ කිසිවක් කර නැහැ. 2002, 2003 වර්ෂවල අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට මහා විහාරයේ වැඩ කටයුතු කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත්, සංස්කෘතික ත්‍රිකෝණයටත් දැනුම් දුන්නා. අද ඒ පිළිබඳව සොයා බලන විට එහි කිසිදු ප්‍රගතියක් නැහැ. මා මේ පිළිබඳ කනගාටුවට පත්වනවා.

නිශ්චිත කාලයක් තුළ මහා විහාරය පිළිබඳ කැණීම් කටයුතු කිරීම සඳහා මුදල් ඉදිරි අය වැය මගින් වෙන් කිරීමට මා කටයුතු කරනවා. ඒ සඳහා අවම වශයෙන් වසර 6 ක් 7 ක් 8 ක් හෝ 9 ක් ගත විය හැකි අතර ඒ කටයුතු කෙසේ හෝ ආරම්භ කළ යුතුයි." ආදී ලෙස අගමැතිතුමාගේ එම කතාවෙහිදී සඳහන් විය. අපගේ මහඟු අතීතය ලොවට සනාථ කැරෙන එම සද්ක්‍රියාව ලොවටම ආදර්ශයක් වේවා.

 

  පොසොන් මස අව අටවක පෝය   

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]