UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මං මුළා වැල් නොපෑගීමට නම්...

මං මුළා වැල් නොපෑගීමට නම්...

එක්තරා දවසක බුදුන් වහන්සේ බැහැදුටු කොසොල් රජතුමා මෙසේ ප්‍රකාශ කළේය. “බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ජීවත්වන බොහෝ ජනයා තමන් තමන්ට කරුණාවත්, හිතවත් කමක් නැති අයයි. තමන් තමන්ට හතුරකු හැටියට නේද ජීවත් වන්නේ” මේ පැනයට බුදුපියාණන් වහන්සේ පිළිතුරු ලබා දුන්නේ “එහෙම තමයි මහරජ, එහෙම තමයි මහරජ” යනුවෙනි.

අනුව ලගිනා තැන
දැනගත හැකිය සතා ගැන
අනුව ඔබ හිඳින හැසිරෙන
සිතා ගත හැකිය ඔබ ගැන

ජලය එය අඩංගු භාජනයේ හැඩය ගන්නේ යම්සේද එපරිද්දෙන් ප්‍රඥාවන්ත මිනිසා ඒ ඒ අවස්ථාවන්ට අනුරූපව වර්ධනය වන බව අපි ඉගෙන ගෙන ඇත්තෙමු. ගැටලුව බවට පත්ව ඇත්තේ ප්‍රඥාවන්ත මිනිසා කවරෙක්ද යන්න අප පසක් කොට නොමැති බැවිනි. අප බොහෝ විට සිතන්නේ බෙහෙවින් ඉගෙන ගත්, උපාධි ලැබ ගත් පාසල් විශ්ව විද්‍යාලය නැතිනම් උසස් ආයතනවලට ගොස් උගත් අය ප්‍රඥාවන්තව වන බවයි. එම ආකල්පය අදහස, සංකල්පය, සංඥාව නැතිනම් මතිමතාන්තර වැරැදි සහගත බව දැනෙන්නේ එබඳු වියත් සමාජ ඇසුරෙහි අත්දැකීම් ලබන විටය.

ප්‍රඥාවේ කෙළවර විමුක්තියයි. අධ්‍යාපනයේ කෙළවර චරිත ශක්තියයි යනුවෙන් කියමනක් අපි අසා ඇත්තෙමු. අධ්‍යාපනය යනු ජීවිතයේ අප ගමන් කරන්නා වූ උසස්ම ගමනයි. එහිදී සැකැසෙන්නේ තම චරිතයයි. ඒ සමාජය අපේක්ෂා කරන ආකාරයට චරිත ශක්තිය, චරිතයේ පරමාදර්ශය දැකිය නොහැකි දෙගුරුන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, කළමනාකරුවන්, කම්කරුවන්, වෙළෙන්දන් ගහන දේශයක් බවට සිරිලක අපරට පත්වී තිබීම අභාග්‍යයකි. ආගමික සංස්ථාවේ ක්‍රියාකාරීන් ඇතැමකු පවා මේ අනර්ථකාරි හැසිරීම් වලට ගොදුරු බිම් බවට පත්වී සිටීම ඛේදයකි. චාම් සරලකම, අරපිරිමැස්ම නැතිවී ගොස්ය.

මිනිසකුගේ සමස්ත ජීවන කාර්යක්ෂමතාවේ ප්‍රතිඵල මැනීමට ගැනෙන කෝදුව අනුන් සමඟ කටයුතු කිරීමේ සාර්ථකත්වය බවට බටහිර පිළිගැනීමක් ඇත. බුද්ධ දේශනා අනුව අත්තහිත පරහිත නම්වූ තමන් තමන් සමඟ පවතින ධාර්මික හිතවත් බව, ගුණ නුවණැස පතුරුවාලීම ද, අනුන් කෙරෙහි වූ අගතිගාමී නොවන සාධාරණ ඇවතුම් පැවැතුම් ලක්ෂණ ද සමබරතාව ද වඩා ශ්‍රේෂ්ඨතර වේ. ප්‍රණීතතර වේ.

කිසියම් කටයුත්තක් කර ගැනීමට ස්ථානයකට ගියවිට හොඳින් සිනාවකින් සංග්‍රහ කොට මැනවින් කතාබස් කොට සාධනීය ලෙස අවශ්‍යතා ඉටුකර දීමට ඉදිරිපත්වන්නේ කීයෙන් කීදෙනාද? අපේ බුදුපියාණන් වහන්සේ වදාළ වදන් තුනක් මෙහිදී සිහියට නැඟෙයි. පුබ්බහාසි, පුබ්බභාෂි, පුබ්බකාරී යන්නය. කරුණාකර, ස්තුතියි, සමාවෙන්න වැනි බටහිර සම්ප්‍රදායට පුරුදු වූ රටවල භාවිත පවා ක්‍රියාත්මක වන්නේ ටික දෙනෙකු අතරය. බටහිර රටවල සුභාශිර්වාද පැවත්වීම හමුවුන විටක සිනාසී කතා බස් කිරීම කෘතඥතාව පළකිරීම වැනි කරුණු නිසා සමාජ සංවිධානය තුළ බොහෝ ශක්තිමත් බවක් ඇතිවී ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය. බොහෝ දෙනා කෙනකුට කිට්ටුවන්නේ වංචනිකව මුදලක් හදලක් කඩා වඩා ගැනීමට හෝ වෙනත් සටකපට ආකල්පයක් සිතේ සඟවා ගෙනය. අපේ ජනමාධ්‍යයේ නන් දොඩවන, කටමැත දොඩවන ඇතැම් දෙනා මෙන්ම නිසරු අධම වැඩ සටහන් දකිනවිට අසන විට අප සිතෙහි සසලවීමක් ඇතිවීම ස්වාභාවිකය.

බුද්ධභාෂිතයෙහි එන පුග්ගලවග්ගයෙහි සඳහනක් මධුභාණී, පුප්ඵභාණී, ගූථභාණී යන ව්‍යවහාර තුන ඔබ අසා ඇතුවාට නිසැකය. භාණී වූ කලී භාෂණයෙහි යෙදෙන්නාය. මිහිරි රසැති පැණි මෙන් කතාබස් කරන්නා, සුවඳ මුදු බසින් අමතන තැනැත්තා, කැළි කසළ අසුචි මෙන් දොඩන්නා යන තේරුම් එම සංකල්ප තුනෙහි ඇතුළත්ය. අපේ ජන සමාජයේ ඉහළ සිට පහළට විවිධ තරාතිරම්වල පුද්ගලයන් කතා බස් කරන අන්දම අනුව අපට මේ චරිත ස්වභාව මැනවින් පසක් කොට ගත හැකිය. අපේ පරිහානිය ඉන් පිළිබිඹු වන්නේය.

“සමගිව සතුටුව වාද නැතිව කිරියි ජලයයි මෙන් එකතුව එකිනෙකා දෙස ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කරන්න” යනුවෙන් බුදුපියාණෝ භික්ෂූ සංඝයා කෙරෙහි දේශනා කළහ. මේ ආකල්පය පතුරුවාලන පරිදි මැනවින් හැසිරෙන්නේ නම් එය ගිහි පැවිදි උභය සමාජයටම වැඩදායක වන්නේය. නැණවත් මිනිසාගේ අරමුණ හා වෑයම වනුයේ දුකින් තොර වූ, ස්ථිර වූ අචල වූ, අමර වු ශාන්තියක් ලබා ගැනීමය. ඒ සඳහා බාහිර ශාන්තියත්, අභ්‍යන්තරික සැනසීමක්, සංවර්ධනයක් අවශ්‍ය වෙයි. ඒ පරමාර්ථය ඉෂ්ට සිද්ධ කර ගැනීමට අදාළ වන අංග අට ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. මේවා නිතර සිහිකටයුතුය.

“මහණෙනි මා විසින් දේශනා කරන ලද ධර්මය දායාද කර ගන්න. ආමිෂය දායාද කර නොගන්න.” මේ තථාගතයන් වහන්සේගේ ධර්ම සන්දේශයයි. ලෝකයා බොහෝ විට ගැලෙන්නේ පුද පූජා ආමිෂ කටයුත්තෙහි මිස සැබෑ දහම් පිළිවෙතෙහි නොවේ. එනයින් අපට කිසිදු නිවීමක් සැනසීමක් ලැබෙන්නේ නැත.

තමන්ගේ දියුණුව අභිවර්ධනය විනාශයට පත් කොට ගනිමින් අනුන් කෙරෙහි වැඩ කිරීම බුදුරදුන් වහන්සේ විසින් අනුදැන වදාළ මඟ නොවේ. කුසීතව අත්පා හකුළාගෙන සිටින අලසයා දිවි මඟ පමා වූවකු බවට පත්වෙයි. තමන්ම විනාශයට පත් වෙයි. සැදැහැ ගුණ නුවණැස දල්වා ගත් සද්පුරුෂයාම දෙලොව දිනන බව කියැවේ. සමාජයක් වශයෙන් පිරිහීමේ දොරටු ළඟ සිටින ලාංකික සමාජයේ පුද්ගල මෙන්ම ප්‍රජා හා සමූහ අභිවෘද්ධිය සඳහා බොහෝ ඉගැන්වීම් බුදු දහමෙහි සඳහන් වේ. ඉන් ඵල ලබන බොහෝ ජනයා ලොව වෙසෙති. දුරාචාරය හා සදාචාරය අතර වෙනස ලොකු කුඩා සියලු දෙනාට යළි යළි විස්තර කොට දීම අවශ්‍යය.

 

  පොසොන් මස අව අටවක පෝය   

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]