UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බාලයා සහ පණ්ඩිතයා පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය විවරණය කෙරෙන

බාල පණ්ඩිත සූත්‍ර දේශනාව

පොසොන් පුර පසළොස්වක පත්‍රයෙහි මෙම ලිපියේ මුල්කොටස පළ විය.

මෙසේ වදාළ බුදුහු යළිත් ඒ පාපී නිරිසතා අල්ලා ගත් නිරයපාලකයන් ඔහුට දෙන වද පිළිබඳව මෙතැන සිට නිරා දුක් විස්තර කරන බුදුරජාණන් වහන්සේ මෙලොවින් නිරයට ගිය පව්කාරයා අල්ලා ගන්නා නිරයපාලකයෝ යහුල්වලින් අනිමින්, පඤ්ච බන්ධන කෙටේරි ආදියෙන් යැසීස, ගිනිගත් අඟුරු පර්වතයට නැංවීම, බැස්වීම, පා උඩට සිටිනසේ හිස පහළට හරවා පැහෙන ලෝහ තලියක දැමීම, එහි දිගු කලක් උඩට යටට හරහට එමින් පැසෙමින් දුක්විඳීම, අනතුරුව කොන් හතරක් ඇති දොරටු හතරකින් යුත් කොටස්වලට බෙදූ ලෝ පවුරින් වට වූ මහා නරකයෙහි දමනව. මේ ආදී වශයෙන් නරකයෙහිදී විඳින්නට ලැබෙන දුක් ගැන කියල නිම කරන්න බැහැ යි බුදුන් වදාළහ.

මෙසේ අප්‍රමාණ කාලයක් නිරා දුක් විඳි නිරිසතා කවදා හෝ නිරා දුක්වලින් මිදී අවුත් තෘණ බුදින ගව, කොටළු, එළු, මුව ආදී සතුන් වෙලත් අසූචි අනුභව කරන කුකුළු, බලු, හූරු, හිවල්, ආදී සතුන්වෙලා උපදිනව. එතනින් මැරිල අඳුරෙහි ඉපදිල අඳුරෙහිම මියයන පණුවො. ගැඩවිල්ලු, ආදී සතුන්වෙල උපදිනව. එතනින් මැරිල අවුත් දියෙහි ඉපදිල දියෙහිම මැරෙන මාළු, කැස්බො, කිඹුල්ලු, ආදී සතුන්වෙල උපදිනව. එතනින් අවුත් අසූචිවල ඉපදිල අසුචිවලම මිය යන කුණු මස්වල ඉඳල එහිම මිය යන මඩගොහොරුවල ඉපදිල එහිම මිය යන පණුවන් ආදී වශයෙන් විවිධ ආත්මවල උපදවල දුක් වින්දවනව අර පව්කාරයට. මෙසේ තිරිසන් යෝනිවල උපත පිළිබඳවත් කියයුතු බොහෝ දේ තිබෙන බව වදාළ බුදුන් වහන්සේ ඒ පව්කාරයා යළිත් මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ ඉතාම අමාරුවෙන් කල්ප ගණනකට පසුව බව උපමාවකින් මෙසේ වදාළා. මහණෙනි, කිසියම් පුද්ගලයෙක් එක සිදුරක් සහිත වියගහක් මුහුදට දමනව. ඒක සුළඟින් ඒ මේ අතට පා වෙවී තියෙනව .මේ අතර මූදේ කණ කැස්බෑවන් පීන පීන ඉන්න අතර වසර දහසකින් හෝ වසර සියක් දහසකින් හෝ එක් වරක් ගැඹුරු මූදේ සිට උඩට මතුවෙනවා. මහණෙනි ඒ කැස්බෑවා අර එක සිදුරක් තිබෙන විය දණ්ඩේ සිදුර තුළට උගේ බෙල්ල ඇතුල් කරගන්න සමත් වේද? යි බුදුන් ඇසුවම භික්ෂූන් කීව, ස්වාමීනි එය කළ නොහැකියි කියල. හැබැයි මහණෙනි, කවදා හෝ එය වෙන්නත් පුළුවනියි වදාරළ, මහණෙනි, එම සිද්ධිය ඉතාම සුළු සිද්ධියක්. මහණෙනි, එයටත් වඩා ඉතාම දුර්ලභ සිද්ධියක් තමයි නිරාගත ව සිටි පාපතරයකුට යළිත් මනුෂ්‍යාත්මභාවයක් ලබනවයි කියන කරුණ. මහණෙනි, ඔහු මිනිසත් බවක් ලැබුවත් උපදින්නෙ වැදි සැඬොල් කුළුපොතු, රිසවඩු ආදී පහත් කුලයක දිළින්දකුව. එසේම ඔහු අවලක්ෂණ වෙනව. අංග විකලයෙකු වෙනව. ගොළුවෙක් වෙනව. පිළෙක් වෙනව. මේ පව්කාරයා මේ ආත්මයේදී තිදොරින් දුසිරිත් කරයි. මැරී යළිත් සතර අපායේම උපදියි. මහණෙනි, හරියට සූදුවෙන් පරාජය වූ පුද්ගලයෙක් පළමු වාරයේම තම පුතාගෙනුත් බිරිඳගෙනුත් සියලු සැප සම්පත්වලිනුත් පිරිහී ඔහු වධබන්ධනයට අසුවී විනාශ වීම සුළු දෙයකි. මේ පනවා යළිත් පව්කම් කොටත් නරකයෙහි ඉපදීම අර සූදුකාරයාගේ පිරිහීම සමඟ සසඳනවිට සූදුකාරයාගේ පිරිහීම ඉතාම සුළු කරුණකි. මහණෙනි, නරකය නම් සර්වප්‍රකාරයෙන් ම දුකකින්ම යුක්ත වූ බාල ( පහත් අතිශය දුක්ඛසහගත) භූමියකැයි බුදුරජාණන් වහන්සේ වදාළ. මේ දේශනාව අනුව පව්කාරයා මනුෂ්‍යයකුව උපන්නත් ජීවත් වන්නේ කාලකන්නි වශයෙනි. යළිත් ඔහු මැරී උපදින්නේ සතර අපායෙහිය. එයින් ආවත් තිරිසන් ජාතියක උපදියි. යළිත් එයින් ආවත් කාලකන්නි මනුෂ්‍යයකුව උපදියි. හේ යළිත් පව්කොට, යළිත් නරකයට ම යයි. මෙසේ බලන විට පව්කාරයාට සසරින් මිදීමත්, යහපත් මිනිස් බවක් ලැබීමක් නිවන් දැකීමක් ගැන සිතන්නට වත් නොහැකිය.” දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං දීඝො බාලානං සංසාරොසද්ධම්මං අවිජාතතං’ යි වදාළ පරිදි නින්ද නොයන්නාට රාත්‍රිය දිග වන්නා සේද වෙහෙසට පත්වුහුට යොදුන ඉතා දුර සේද හැඟෙන්නාක් මෙන්ද බුදුදහම නොදත් පව්කාර මිසදිටු බාලයාට සසර ද ඉතා දිග බව බුදුරජාණන් වහන්සේ ඉහත ගාථාවෙන් වදාළ සේක.

අනතුරුව පණ්ඩිතයාගේ ලක්ෂණ දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. මහණෙනි, පණ්ඩිතයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. ඔහු යහපත් දේ සිතනවා. ඔහු යහපත් දේ කතා කරනවා. ඔහු යහපත් දේ කරනවා. පණ්ඩිතයා එසේ නොවේනම් ඔහු සත්පුරුෂ නුවණැත්තෙකියි නුවණැත්තන්ට දැන ගන්න ක්‍රමයක් නැහැ. පණ්ඩිතයා සිතන කියන කරන දෑ යහපත් නිසයි සෙස්සන් ඔහු පණ්ඩිතයෙකැයි සත් පුරුෂයෙකැයි හඳුනා ගන්නෙ කියා වදාළ. මොහු මෙලොවදීම තෙ වැදෑරුම් සැපයක් සොම්නසක් ලබනව. පෙර බාලයා ගැන කීවා මෙන් මොහුද පිරිසක් අතර සිටින අවස්ථාවක කයින් කරන වැරදි ගැන කතා කරන සෙසු අය මේ වැරදිවලින් වැළකී සිටීමේ ආනිසංස කතා කරනව අහල පණ්ඩිතය හිතනව. මා ළඟ මේ වැරදි නැහැ. මා තුළ තියෙන්නෙ ඔවුන් කියන යහපත් ගුණයි. යහපත් ධර්මයයි. මම ඒ ධර්ම පිළිපදින්නෙක්මියි සිතා නුවණැති පණ්ඩිතයා පළමුව මෙලොවදීම සුවයක් සොම්නසක් විඳිනව. දෙවනුව සොරෙක් අල්ලාගෙන ගොස් රජුට භාර කළාම රජු ඔහුට (පෙරකී පරිදි) දඬුවම් දෙවනව. මෙය දකින පණ්ඩිතයා හිතනව මා නම් මේව කරල නැහැ. ඒ නිසා මට මෙවැනි වද විඳින්න වෙන්නෙ නැහැ. එසේ සිතා පණ්ඩිතයා සැපයක් සොම්නසක් විඳිනව. තෙවනුව පණ්ඩිතයා පෙර කී පරිදි විවේකව සිටින විට ඔහුට තමා කරපු යහපත් ක්‍රියා සිහිවෙනව. පවුවකට වැටෙන ඉරු එළිය නිසා පර්වතයේ ඡායාව පොළොවෙහි පැතිරල විශාල වෙමින් යන්න වගෙ විවේකව අසුනක සිටින පණ්ඩිතයාට තමා පෙර කළ කී යහපත් දේ සිතේ පැතිරී යනව. ඒ නිසා ඔහු හිතනව මා මරණින් පසු දුගතියක උපදින්නෙ නැහැ. ඒ නිසා මට ශෝකවන්න දුක්වන්න හේතුවක් නැහැ. හඬන්න වැළපෙන්න, පපුවෙ අත් ගසා ගනිමින් හඬන්න. සිහි විකල් වන්න හේතුවක් නැහැ යනුවෙන් සිතා පණ්ඩිතයා මෙලොවදීම සැපයට සොම්නසට පත් වෙනවා.

තවදුරටත් බුදුන් වදාරනව මහණෙනි, පණ්ඩිතයා කායාදී තිදොරින් සුචරිතවත් දෑ කරමින් සිට මළ පසු ඒ පිනින් එන දිව්‍ය, මනුෂ්‍ය සුගතියකයි උපදින්නෙ කියල සතුටු වෙනව. සුගතිය ඒකාන්තයෙන්ම යහපත්. ඒකාන්තයෙන් ම වෙන්නයි. ඒකාන්තයෙන්ම මනාපයි. ඒ සුග සුව උපමාවකින්වත් කීම උගහටයි කියා වදාළම එක්තරා භික්ෂුවක් ඇසුව ස්වාමීනි, උපමාවකින් හඳුන්වන්න පුළුවන්ද කියල. පුළුවනි, මහණ යයි වදාළ බුදු හාමුදුරුවො වදාරනව. මහණෙනි, සක්විති රජ කෙනෙක් සප්ත විධ රත්නවලින් යුතුව හා සිව්වැදෑරුම් සෘද්ධිවලින් යුතුව කිසියම් සැපයක් සතුටක් විඳිනව නම් එම සැප හා දෙව් සැප සසඳන විට දෙව්සැපවලින් සොළොස් කලාව පමණ වත් සක්විති සැප වටින්නෙ නැහැ. අනතුරුව බුදුරජාණන් වහන්සේ සක්විති රජකු විඳින සැප දේශනා කරමින් වදාළ මහණෙනි, ක්ෂත්‍රිය රජෙක් පුර පසළොස්වක දිනයක ස්නානය කොට සිල්සමාදන්ව මාලිගයෙහි මතු මහලෙයි සිටිනවිට චක්‍රරත්නයක් පහළ වෙනව. එවිට ඔහු කෙණ්ඩියකට පැන් ගෙන වක්කරමින් පින් ඇති චක්‍රරත්නයෙහි පෙරළී ගොස් මේ පෘථිවිය මට දිනා දෙන්න කියල යාඥා කරනව. එවිට රජුත් සමඟ චක්‍රරත්නය පෙරදිග ආදී ඒ ඒ දිශාවලට ගොස් ඒ ඒ රාජ්‍යවලට බහිනව. ඒ ඒ රාජ්‍යවල රජවරු එන්න මහරජ, ඔබට සුභාගමනයක් වේවා. මහරජ මේරට ඔබේය. මහරජ අපට, අනුශාසනා කරන්න. යයි කියති. එවිට සක්විති රජ ප්‍රාණඝාතාදී පස් පව් නොකරන්න. පෙර රටපාලනය කළ පරිදි ම තම රට පාලනය කරන්නැයි කියයි. මෙසේ හතර දිසාවටම ගොස් ඒ ඒ රජුන්ට අවවාද දී සමුද්‍රය කෙළවරකොට සියලු පෘථිවිය ජය ගෙන පෙරළා සිය රාජ්‍යයට පැමිණ සිටින විට හත්ථි රත්නය, අස්සරත්නය, මණිරත්නය, ඉත්ථිරත්නය, ගහපති රත්නය, පරිණායක රත්නය, රක්තභය යන චක්‍රරත්නයට අමතවර හතක් පහළ වෙනව. (මේ පිළිබඳ විස්තර සූත්‍රයෙන් කියවිය හැකියි)

එසේ වදාළ බුදුන් වහන්සේ අනතුරුව වදාරනව මහණෙනි, සක්විති රජුගේ සෘද්ධි හෙවත් විශේෂතා හතරක් තියෙනව. එනම්, 1. මේ ලෝකයෙහි සෙසු මනුෂ්‍යයන්ට වඩා ඉතා විශිෂ්ට රූප සම්පත්තියෙන් යුක්තවීම, 2. ඉතාම දීර්ඝායුෂ වීම, 3. ඉතාම නිරෝගී වීම, 4. බ්‍රාහ්මණ ගෘහපතින්ට පි‍්‍රයවීම, සක්විති රජු දකින්නට පැමිණි බමුණන් රජ්ජුරුවන්ට කියනව මහරජ අප ඔබතුමා දකින්නයි ආවෙ. ඔබතුමා වැඩිවේලාවක් අපට දැක ගැනීමට හැකිවනසේ යුහුසුළුව නොගොස් සෙමින් සෙමින් ගමන් කරන්න කියල. මෙම සෘද්ධි හතරෙන් සක්විති රජු සමන්විත යැයි බුදුන් වදාළ. මහණෙනි, මේ සප්තවිධ රත්නයෙනුත් සිව් වැදෑරුම් සෘද්ධියෙනුත් ඔහු කවර තරම් සුවයක් සොම්නසක් විඳිනවදැ යි බුදුන් භික්ෂූන්ගෙන් ඇසූවිට ස්වාමීනි එයින් එක් රත්නයකින් හා එක් සෘද්ධියකින් පමණක් ඔහු විඳින සුවය සොම්නස අපමණයි. මේ සියල්ලෙන්ම ඔහු විඳින සුවය සොම්නස පිළිබඳ කියයුතු කවරේදැයි සක්විති සැප ලද උදාරත්වය භික්ෂූහු ප්‍රකාශ කළහ. එවිට බුදුන් වහන්සේ යළිත් ගල්කැටයක් අතට ගෙන හිමාලය පර්වතය හා සසඳනවිට මෙය කෙබඳුදැයි විමසූ විට භික්ෂූන් පෙර මෙන්ම ප්‍රකාශ කළ ස්වාමීනි ඔබවහන්සේගේ අතින් ගත් ගල්කැටය ඉතාම අල්ප බව. එවිට බුදුන් වදාරනව මහණෙනි, මෙ බඳු සප්තරත්න හා සිවු සෘද්ධිය හේතු කොට සක්විති රජු විඳින අපමණ වූ සුවය හා සොම්නස දිව්‍ය සැපය හා සැසඳීමටවත් නුසුදුසු ය. සක්විති සැප දෙව්සැපවලින් සිය දහස් කළාවක් පමණට වත් සසැඳිය නොහැකියි වදාළ. දිව්‍ය සම්පත් හා මිනිස් ලොව සක්විති රාජ සම්පත් දෙක සසඳන විට මිනිස් ලොව ඉහළම සැපත වන සක්විති රාජ සම්පත පවා ඉතාම අල්ප බව මෙයින් වැටහෙනවා.

තවදුරටත් බුදුන් වදාරනව මිනිස් ලොවදී ශීලාදී ගුණ ධර්ම පිරූ නුවණින් පුද්ගලයා මරණින් පසු දෙව්ලොවක ඉපිද එහි අපමණ සැප විඳූ එයින් චුතව මිනිසත් බවක් ලබන්නේ නම් ක්ෂත්‍රිය, බ්‍රහ්මණාදී උතුම් කුලයක ඉපිද පඤ්ච කාම සම්පත් විඳිමින් දාන ශීලාදී පින් දහම් කොට සුචරිතයෙහි හැසිර මරණින් පසු යළිත් දෙව්ලොව ඉපිද දිවා සැප සම්පත් විඳියි. මෙසේ සැප විඳිමින් කරන ලද පුණ්‍ය ශක්තියෙන් සසර සැරිසරන ඤාණවන්ත පුද්ගලයා පාපී ඥාන පුද්ගලයන් මෙන් දිට්ඨ ධම්ම වශයෙන් හා සම්පරායික වශයෙන් සසර අනාදිමත් කාලයක් දුක් නොවිඳ දෙව් මිනිස් ආදී සහ සැප විඳිමින් සසර කෙටි කරගෙන දිට්ඨ ධම්මික හා සම්පරායික වශයෙන් ලෞකික සැප සොම්නස් විඳ කිසියම් බුද්ධාන්තරයකදී ලෝකෝත්තර තත්ත්වයට පැමිණ නිර්වාණාවබෝධයෙන් සසර ගමන කෙළවර කරයි.

නිරා විස්තර හා දෙව් ලෝ විස්තර වඩාත් සවිස්තරව දැන ගනු කැමැත්තෝ මජ්ක්‍ධිම නිකායේ මුල පණ්ණාසක යේ 13 සුඤ්ඤත වගැ 129 වන බාල පණ්ඩිත සූත්‍රය හා මනොරථ පූරණී ( ම.නි.අට්ඨ කතාව) කියවන්න.

පුත් මංසං කුසග්ගෙන යො නරො උපනඨහති
තුසාපි පූති වාහන්ති එවං බාලූපසෙවනා

කුණු වී දුගඳ හමන මස් දවටන ලද කුශ තන පවා දුගඳ හමන්නා සේ බාලයා ඇසුරු කරන පුද්ගලයා ද බාලයකු හෙවත් පව්කාරීයක් වී දෙලොවින් ම පිරිහේ.

 

  පොසොන් මස අව අටවක පෝය   

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]