UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැඩිහිටියන්ටද හරිහැටි නොදැනෙන තරුණ අසහනය

වැඩිහිටියන්ටද හරිහැටි නොදැනෙන තරුණ අසහනය

දැනෙන්නට ගෙවෙන ජීවිතයකට, සතුට සැහැල්ලුව, බද්ධ වී පැවැතීම අවශ්‍යය. එහෙත් ආතතිය, පීඩනය, අසහනය පිළිබඳ ප්‍රකාශවීම්ද අදාළ ක්‍රියා කාරකම් ද සුලභව පවතින වටපිටාවක බොහෝ ජීවිත ගෙවෙන්නේ දැනෙන්නට නොව ගෙවෙනවාටම බව පැහැදිලි කරුණකි. දැනුම හා අවබෝධයද, ඒ අනුව ගොඩනඟා ගත යුතු කුසලතාවයද ඇත්නම්, ජීවිතයට අහිතකර වන මේ ස්වභාවයන්ගෙන් බැහැර වීමද අපහසු නැත.

ජීවිතය අමාරුවේ වැටෙන්නට ලෝභය, ද්වේෂය, මෝහය, මූලික හේතුකාරක වන බව බෞද්ධ ධර්මයේ පැහැදිලිව සටහන්ව ඇති වෙනස් කළ නොහැකි සත්‍යයය. ආතතිය, පීඩනය හා අසහනයට නිවැරදි ප්‍රතිකාර ක්‍රමවේදය සකසා ගැනීමේදීද මේ සත්‍යය හරිහැටි ගළපා ගැනීම ප්‍රයෝජණවත්ය.

වර්තමානයේ රටේ තරුණ පෙළ සම්බන්ධයෙන් වන සුලබ ප්‍රකාශයන්ට මාතෘකා වී ඇත්තේ ද මානසික අසහනය. කාලයක් තිස්සේ අප හා විශ්වාසයෙන් යුතුව සමීප සංවාදයෙහි යෙදෙන යෞවන යෞවනියක්, තරුණ තරුණියන්ගේ පැවසුම්, විමසුම්, තුළින් හෙළි වන්නන්ද අසහනයක සුලමුලය. වැරැදීමද, රැවටීමද, පැරදීමද, කලකිරීමද මේ ප්‍රකාශයන්ගෙන් ඉස්මතු වන්නේ පවතින වාතාවරණය, පසුබිම එතරම් හිතකර නොවන බව දැඩි ලෙස හඟවමිනි. තනි තනිව රැවටෙන්නේද, කණ්ඩායම් ලෙස රැවටෙන්න ද හිඟ නැති මේ වටපිටාවේ යහපත් වෙනසක් උදෙසා නොපමාව අත්‍යවශ්‍ය වන්නේ, තමන්ද, අනුන්ද, වටපිටාවද නිවැරදිව හඳුනා ගැනීම පිණිස ජීවිතාවබෝධය ලබා දීමේ ක්‍රමවත් හා පවතින ක්‍රමවේදයක ක්‍රියාකාරීත්වයය.

යෞවනය, තාරුණ්‍යය අද දරා ගැනීමේ හැකියාවෙන් පොහොසත් නැත. එහෙයින්ම, ජීවත් වීමේ දී ස්වභාවයෙන්ම මතුවිය හැකි හා ඇතැම් විට පහසුවෙන් ජයගත හැකි ගැටලු අභියෝග හමුවේ පවා දැඩි කැපකිරීමට, අසහනයට පත්වන හා විටෙක පිළිතුර ලෙස ජීවිතය හැර යාම තෝරා ගන්නා පිරිසද ඉහළය. “සර් මං මානසිකව අන්තිම බින්දුවේ ඉන්නේ මට සමාජය හුරු නෑ. මං පොත් එක්කමයි හිටියේ. මං යාළුවෝ ආශ්‍රය කළේ නෑ. පුළුවන් තරම් ඉගෙන ගන්න එකමයි කළේ. මට මැරිලා යන්නයි හිතෙන්නේ”

මේ අප වෙත නිරන්තරයෙන් යොමුවන එස්.එම්.එස්. පණිවුඩ අතර වූ එම දීර්ඝ පණිවුඩයක කෙටි උපුටා ගැනීමකි. අදාළ දැරිය සිය මානසික පීඩනය සඳහාවන හේතුකාරකද නොදැනුවත්වම හෝ සපයා ඇති බවද පැහැදිලිය. පොත් එක්කම සිටි බව ඇය පවසන්නීය. එහෙත් ඒ පොත්, පාසලේ විෂයයට අදාළ පෙළ පොත් මිස ජීවිතය හරිහැටි දකින්නට ඉඩ සලසන කෘති, නිර්මාණ නොවේ. විභාගය ඉලක්ක කොට දුවන මේ ගමනේ දී, ජීවිතයට සැහැල්ලුව, අත්දැකීම් ලබාදෙන තවත් වැදගත් ක්‍රියාකාරකමක්ද මඟ හැරී ඇත. ඒ සමාජ ඇසුරය. ඇය පවසා සිටින්නේ යහළුවන් ආශ්‍රය නොකළ බවය. අද ඇයට හිතෙන්නේ මැරිලා යන්නටය. මේ අප කියන්නේ දශක තුන හතරක සිට රටට, සමාජයට මඟ හැරුණු ජීවිතාවබෝධය සලසන අධ්‍යාපන ක්‍රමය පැටලුම් සහගත අමිහිරි කතාවය.

“සර් ඔබේ උපදෙස් මට අවශ්‍යයි. මං කැම්පස් එකට තේරිලා ඉන්නේ. ඒත් සර් මම ජීවත් වෙන්නෙ කූඩුවක හිර වෙලා වගේ. මම නායකත්ව පුහුණුවටත් ආවා. ඒ දවස් ටික මං පුදුම නිදහසකින් හිටියේ සර්. ඒත් ගෙදර මට හිර ගෙයක් වගේ. මට කැමැති තැනක යන්න බෑ. කැමැති දේවල් කරන්න බෑ. මට ජීවිතේ එපා වෙලා දැන්. ඇයි මගේ දෙමාපියන් මට මෙහෙම කරන්නේ.මං දන්නවා එයාලා මට ආදරෙයි. ඒත් මට මේ විදිහට ජීවත් වෙන්න එපා වෙලා සර්.”

ඇයට ජීවිතය එපා වන්නට නිමිත්තක්ව ඇත්තේ සිය දෙමාපියන් විසින් පනවා ඇති දැඩි සීමාවන් පිළිබඳ අමනාපයකි. දෙමාපියන් තුළ තමන් පිළිබඳව පවතින ආදරය ඇයට රහසක් නොවේ. එහෙත් ඇයට අවශ්‍යව ඇත්තේ යම් පමණක නිදහසකි. එයද සාධාරණය. දරුවන්ට සමාජය වටපිටාව ගැන හරි තොරතුරු සපයමින් එවැනි සමාජයක් හා වියයුතු ප්‍රවේශම්කාරී ගනුදෙනුවට ඔවුන් හුරු පුරුදු කරවීම අදට සුදුසු වඩාත් ආරක්ෂාකාරී ක්‍රමවේදයය. එහිදී, අහිතකර වටපිටාවක වුවද ජීවිතය හිතකරව ගෙවීමට ඇ ති අවකාශය බෙහෙවින් ප්‍රමාණවත්ය.

යෞවනයට, තාරුණ්‍යයට පමණක් නොව, ජීවිතයටම අනතුරුදායක දේ යහමින් සිදුවෙමින් පවතින බව අද වැඩිහිටියන්ද දන්නේ නැත. පෙරවරුවේ නිවසින් පිටවී පස්වරුවේ යළි නිවසට පැමිණෙන දරුවා ගැන හරිහැටි, විමසුමට පිවිසුමක් ගන්නා වැඩිහිටියන් අද විරලය. එහෙයින්ම සිය දරුවා අනතුරට ළඟා වෙමින් සිටින බව හෝ අනතුරට ලක්ව දැඩි මානසික පීඩනයෙන් පසු වන බව පවතින්නේ කාට කාටත් රහසක් වශයෙනි.

ආදරය වරද්දා ගැනීම වර්තමානයට සුලබ කතාවය. තෝරා ගැනීම හරිහැටි නොසිඳුවන හදිසිය මූලික අවශ්‍යතාවයක් වන වෙනස්කම් හඳුනාගෙන අවැසි සකස්වීම් සඳහා නොසිතන, සීමා මායිම් නොහඳුනන අදට සුලබ ආදරයේ දුලබ නොවන්නේ ද විප්පයෝගමය. නොදැනුම නිසා එලෙස අත්වන විජ්පයෝගය, සිය ඉදිරි ජීවිතයේ යහපත උදෙසා හෝ අත්දැකීමක් ලෙස භාවිතයට ගැනීම සුදුසුය. එහෙත් එවැනි භාවිතයක් ගැන නොසිතන සැලකිය යුතු පිරිසක්, කලකිරීමට උත්තරය ජීවිතය අත හැරීම ලෙස ගළපා ගැනීම කනගාටුදායකය. ගඟට, මුහුදට, දිය ඇල්ලට, දුම්රිය මාර්ගයට පිවිසෙන එවැන්නන්ගේ තොරතුරු විසිතුරු ලෙස හුවා දක්වන්නට නිරතුරු ලක ලැහැත්තිව සිටින්නේ, රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයය. පවතින ගැටලුකාරී තත්ත්වයට උත්තර සපයනු වෙනුවට, කුතුහළය දනවන විස්තර සපයන එවැනි මධ්‍ය භාවිතයක් නම් කළ හැක්කේද මධ්‍ය අවභාවිතයක් ලෙසටය.

දෙමාපියන්ගේ ඇතැම් නොගැළපෙන හැසිරීම් හා ක්‍රියාකාරකම් මගින්ද බොහෝ දරුවන් පත්වන්නේ දැඩි මානසික පීඩාවන්ටය. බීමත්කම, අසමගිය විවාහයට බාහිර සබඳතා වැනි හේතු කාරක සිය දරුවන්ගේ අනාගතය අවුල් කරන්නට හේතු සාධක වන බව වැඩිහිටියන්ද වටහා ගත යුතු ය.

අපවෙත සිය ගැටලු නොසඟවා ඉදිරිපත් කරනු ලබන යෞවනයේ, තාරුණ්‍යයේ පසුවන දරු දැරියන් බොහෝ විට වචනයෙන්ද ලියා එවන්නේ මේ පිළිබඳව කතා කරන්නට කෙනෙක් නැති බවය. සාමාජීය වටපිටාව හා ජීවිතය ගැන හරි අවබෝධයක් මේපිරිසට නොලැබුණු, නොලැබෙන පසුබිමක මේ හිඩැස අවම කිරීමට හෝ සිය දරුවන්ට සමීපව සිටිමින් ගුරුහරුකම් දෙන්නට වැඩිහිටියන්ට ඇත්තේ දැඩි වගකීමකි. විභාගය පමණක් ඉලක්ක කොට ගෙන සැකසුණු අධ්‍යාපන ක්‍රමවේදය වෙනුවට ජීවිතාවබෝධය ද ලැබීමේ අවකාශයකින් හා නිසි විවේකයකින් සමන්විත අධ්‍යාපන ක්‍රමවේදයක් වෙත යළි ප්‍රවිෂ්්ඨවීමද මෙහිදී වගකිවයුත්තන්ගේ වගකීමය. ඒ වගකීම ඉටු කරවා ගනු පිණිස බලපෑම් කළ හැකි පාර්ශ්වයක් ලෙස රටේ ආගමික නියෝජිත පිරිසට ද, විශේෂිතව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ද කළ හැකි කාර්යය ඉමහත්ය.

 

  පොසොන් මස අව අටවක පෝය   

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]