UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෞන්දර්ය කලාව හා රසාස්වාදයේ බෞද්ධ ආකල්පය

සෞන්දර්ය කලාව හා රසාස්වාදයේ බෞද්ධ ආකල්පය

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ය විද්වත් ලෝකයා විසින් හඳුන්වනු ලබන්නේ විරාගී දර්ශනයක් හා විරාගී චරණයක් ලෙසය. අනිත්‍යය අසාරය. එබැවින් දුක් සිහිනය අතෘප්තිකරය. එබැවින් අනාත්මය, මගේය, මමවෙමි, මගේ ආත්මය වේ යැයි සැලකිය නොහැකිය. එපරිද්දෙන් බාහිර, අභ්‍යන්තර, සජීවි, අජීවි, සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක සියල්ල පිළිබඳ යථාර්ථය දැන දැක ගැන්මටත් එසේ උපදවාගත් දැනීම දැකීම තුළින් කළකිරීම නොඇල්ම ස්වකීය සන්තානයෙහිලා වඩා මවා ගැනීමෙන්, විමුක්තිය උදාකර ගැන්මටත් බුදුසමය මග පෙන්වයි. මෙබඳු විරාගී දැක්මකටත් ඒ වෙත පියමන් කරන චරණ ධර්ම මාලාවකටත් බුදුදහම මග පෙන්වයි. ඒ අනුව සාහිත්‍ය කලාව වැනි භාවාත්මක වූද ලෞකික වූද වින්දනාත්මක වූද විෂයයක් බුදුසමය හා ගැලපිය හැකිද? සාහිත්‍යකලා රස වින්දය ධර්මානුකූල වන්නේදැයි යමෙකුට විමතියක් ඇතිවෙයි. මේ පිළිබඳව කිවයුතු කරුණු රාශියකි.

මෙහිලා පළමුවෙන්ම කිව හැක්කේ බුදුසමය සර්ව ශුභවාදී නොවන්නාක් මෙන්ම සර්ව අශුභවාදිද නොවන බවය. බුද්ධ ධර්මය යථාර්ථවාදීය. ඇත්ත ඇති සැටියෙන් දැන දැක ගැනීමටම උගන්වන්නේය. එසේම බුදු දහම දර්ශනයක් වශයෙන්ද මධ්‍යස්ථය. හේතුඵල දර්ශනය එහි පදනම වන අතර එය මධ්‍යම දේශනාවෙකි. බුදු දහම චරණයක්, ප්‍රතිපදාවක් වශයෙන්ද මධ්‍යස්ථය. ආර්ය අෂ්ටාංගික මාර්ගය එහිලා නිර්දේශ කරන අතර එය මධ්‍යම ප්‍රතිපාදවෙකි. සෞන්දර්ය කලා රස වින්දනය හෝ වෙනත් යමක් දෙස අන්තගාමිව නොබලන අන්තගාමී ප්‍රතිචාර නොදක්වන ධර්ම මාර්ගයක් ලෙස බුදුසමය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේගේ දේශනා සහ පැනවීම් තුළද, උන්වහන්සේගේ කායික වාචසික චරණයන් තුළද සෞන්දර්ය කලාවන් අගය කළ අවස්ථා ඒ ආශ්‍රිත රස වින්දයන්හි අවශ්‍යකත්වය ප්‍රකට කළ අවස්ථා බෙහොමයක් දැක ගත හැකිය. බුදු දහම දෙයාකාරයකින් පුද්ගලයාගේ ආධ්‍යාත්මික පෞරුෂය වැඩිදියුණු කරලීමට අදාළ චරණයන් ඉදිරිපත් කරයි. එනම් භාවමය වශයෙන් හා බුද්ධිමය වශයෙනි. භාවමය සංවර්ධනය යනු සංවේදී බව, වින්දනීය බව නොවේනම් හදවත සංවර්ධනය වීමය. බුදුදහමෙහි එන කරුණාව, මෛත්‍රිය, මුදිතාව, ශ්‍රද්ධාව ආදී ඉගැන්වීම් ඒ වෙත යොමුවී තිබේ. මව් පියන් දරුවන්ටද දරුවන් මව්පියන්ටද බැඳීම ආදරය ප්‍රේමය ඇතිවන්නේ සිනිඳු මුදු මොලොක් සිත් සතන් හේතුවෙනි. අඹු සැමියන්, ස්වාමිවරුන් හා සේවකයන්, මිතුරන් අසල්වැසියන් ආදීන් අතර මෙන්ම ගිහි පැවිදි දෙපක්ෂය අතරද අන්‍යොන්‍ය බැඳීම ආදරය ආරක්ෂාව විශ්වාසය ගොඩනැගෙනුයේ පුද්ගලයා හෘදයංගම වූ විටය. භාවමය වශයෙන් දියුණු සංවේදී අයෙකු වූ විටය. දුකින් මිදීම සඳහා වන බුදුන් වදාළ මගට යොමුවන්නේ සැදැහැවත් වූ විටයි. ආගමික වශයෙන් තෙරුවන් අරභයා සංවේදී වූ විටය. මෙසේ පුද්ගලයා භාවමය වශයෙන් වර්ධනය විය යුතු බව පිළිගන්නා අතරම එහිලා සමාන්තර වූ බුද්ධිමය වර්ධනයක්ද අවශ්‍ය බව බුදු දහම පිළිගනියි. ශ්‍රද්ධා කරුණාදී ගුණවලට සමාන්තරව, සමබරව ප්‍රඥාවද තිබිය යුතුය. ඒ සඳහා ත්‍රිලක්ෂණය, නාමරූප විභාගය, චතුරාර්ය සත්‍යය, කර්මය, පටිච්ච සමුප්පාදය වැනි මූලික බෞද්ධ ඉගැන්වීම් උපකාරි වෙයි. එක් අතෙකින් මලෙහි ඇති චිත්තාකර්ශනීය වර්ණය ශෝභමානත්වය දකින එහි ඇති සුගන්ධවත් බවද අගයන බෞද්ධයා (වණ්ණගන්ධ ගුණොපෙතං) අනෙක් අතින් මේ මල් මැලවෙන්නේය. එලෙසින්ම මගේ කයද මියැදෙන්නේ යැයි දනියි. මල්වල සොඳුරුබව දකිනුයේ භාවමය වර්ධනය නිසාය. මල්වල අනිත්‍ය බව දකිනුයේ බුද්ධිමය වර්ධනය නිසාය. (පුප්ඵං මිලායාති)

උසස් සාහිත්‍ය කලා නිර්මාණයෙන්ද මෙලෙසින්ම පුද්ගලයා භාවමය වශයෙන් සංවේදිත්වයෙන් පුබුදුවා ලති. සෞන්දර්යය මතු කොට දක්වා හදවත් පුරවා ලති. ඒ සමඟම පුද්ගලයා බුද්ධිමය වශයෙන්ද දියුණු කරති. ජීවිත ලෝකය සමාජය විනිවිද දකිති. ඒ හැමෙකකම යථාර්ථය මතු කෙරෙති. එමගින් බුද්ධිමය පෝෂණයද ලබා දෙති. ඒ අනුව භාවමය වූත් බුද්ධිමය වූත් පෝෂණය මිනිසාට ලබාදෙන උසස් සාහිත්‍ය කලාවෝ බුදුදහමට පටහැනි නොවන්නේය. බුදු දහමද අසිරිමත් වූද අගය කළ යුතු වුද ආකාරයකින් එනම් සාහිත්‍යමය ප්‍රයෝගයන්ගෙන් යුක්තව කලාත්මක අයුරින් අපවෙත ළඟාවෙයි. බුදුරදුන් දහම් දෙසා ඇත්තේ සිත්ගන්නා සුළු, ඕජෝගුණ සහිත, රමණීය, සුඛනම්‍ය, මට සිලිටි භාෂාවකින් බව පෙනේ. දහම් දෙසීමේ එබඳු බසක් මාධ්‍ය කොටගෙන උන්වහන්සේ පද්‍ය ගායනා කළහ. කවියෙන් බණ කිහ. ධම්මපදය, සුත්ත නිපාතය ජාතික පාලිය ආදිය මීට නිදසුන්ය. සමස්තයක් වශයෙන් බුද්ධ දේශනාව තුළ එබඳු පද්‍ය නිර්මාණ විසිරී තිබේ. ඒ වූකලී සාහිත්‍ය කලා රස වින්දනය පිළිකුල් නොකළ බවට, එහි ඵලදායිත්වය අගය කළ බවට අගනා නිදසුනෙකි. බුදුරදුන් වදාළ පෙළ දහම මෙන්ම ඒ හා බැඳුණු අටුවාවද රසවත් හරවත් කථා වස්තුවලින් පොහොසත්ය. සූත්‍ර පෙළෙහි හමුවන වේදෙශිකාගේ කථාව, පුක්කුසාති හිමියන්ගේ කථාව, ජොතිපාල මානවක කථාව, ඝටීකාර කතාව, ආදිය ද ධම්මපදටිඨ කතා ජාතකට්ඨ කතා ආදියෙහි හා වෙනත් අට්ඨකතාවල හමුවන සිය ගණනක් වූ කතාවස්තුද මීට නිදසුන්වේ. එම පද්‍ය නිර්මාණ මෙන්ම ගද්‍ය නිර්මාණද අපට භාවමය වූද බුද්ධිමය වූද පෝෂණය ලබා දෙයි. රස වින්දනය මෙන්ම ජීවිතාවබෝධය ද ලබා දෙයි.

රස හර පිරි උපමා රූපකවලින්ද බුද්ධ වචනය පොහොසත්ව තිබේ. තැනෙක කෙටි උපමාවෝය. ඒවා පද කිහිපයෙකින් නිමා වෙති. (චක්කංව වහතො පදං), (ඡායාව අනපායිනී) කී තැන් පටන් එබඳු උපමා සිය ගණනක් ධම්මපදයෙහි හමුවෙයි. ඒ සියල්ල අපගේ අත්දැකීම් සමඟද දැවටෙයි. රස උපදවයි. එසේම අපට ගැඹුරු දහමක් උගන්වයි. හර උපදවයි. මේ හැර දහසක් වදන් සැරසුණු උපමා කථා රැසෙකි. ඇතුගේ අඟ පසඟ වෙන් වෙන්ව අතගා පරස්පර මතවාද පළකොට ගැටුමට පිවිසි අන්ධයන් පිළිබඳ උපමාව (ජච්චන්ධොපමාව) අන්‍ය තීර්ථක මතවාද වල සැටි කියයි. සර්පයෙකු අල්වා ගත්තේ නම් උගේ වල්ගය නොගෙන හිසම අල්වාගතයුතුය. දහම ද එසේයැයි කියැවෙන සර්පෝපමාව, ධර්මය පඳුරක් මෙන් පිහිට කරග යුතුය. එය දැඩිව කර තබා නොගත යුතු යැයි උගන්වන අලගද්දුපමාව සාර දහම ගසෙක හරයට උපමා කළ මහා සාරොපමාව ඊතලය උපමා කොට දහම් දෙසූ සල්ලොපමාව ආදිය මීට නිදසුන් කිහිපයක් පමණි. එබඳු රස හර පිරි අප භාවමය වශයෙන් මෙන්ම බුද්ධිමය වශයෙන්ද පෝෂණය කරන උපමාවලින් පෙළ දහම හිස් නොවේ.

සෞන්දර්ය කලාවෝ අනේකාකාරවෙත්. ඉහත දක්වන ලද්දේ සාහිත්‍ය කලාව පිළිබඳ බෞද්ධ ආකල්පයයි. මේ හැර චිත්‍ර, මූර්ති, කැටයම් ආදියද ගායනය, වාදනය හා නර්තනයද දුරාතීතයේ සිටම මිනිසුනට සෞන්දර්ය කලා රසාස්වාදය ලබාදෙන බව ප්‍රකටය. හරවත් වූත් රසවත් වූත් වාදනයත් ඒ සමඟ එක්වූ ගායනයත් බුදුරජාණන් වහන්සේගේ අගයීමට ලක්වූ ප්‍රකට අවස්ථාවක් දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයෙහි හමුවෙයි. පංචශිඛ එහිදී අපට හමුවන ගායකයාය. හෙතෙම සිය පෙම්වතිය වූ සූරියවච්චසාව පිළිබඳව පැබැඳි ගායනයක් බුදුරදුන් වෙත ඉදිරිපත් කළේය. ඒ බුදුරදුන් හමුවේ වේලුව පණ්ඩුනම් වීනාවද වයමින් මුලුමහත් රැය පුරා සිදු කළ එම ගායනයට හා වාදනයට ද සවන් දුන් බුදුරජාණන් වහන්සේ එය ඇගයීමටද ලක් කළහ. බුදුරදුන් රහතුන් හා ධර්මයද මුසුවූ එම ගායනය වාදනයටද, වාදනය ගායනයටද ඉතා හොඳින් ගැළපුණු බවද මැනවින් ගැයූ බවද මැනැවින් වැයූ බවද වදාළහ.

සෝණ කුටිකණ්ණ යනු භික්ෂුවකි. උන්වහන්සේ පැවිදිබව ලැබීමට පෙර ප්‍රකට දක්ෂ ගායකයෙකු වූහ. පසුකලෙක පැවිදිව බුදුරදුන් දැක්මට දෙව්රමට වැඩ උන් වහන්සේ රැය ගත කළේ බුදුරදුන් වැඩ සිටි කුටිය අසල කුටියකය. රාත්‍රියෙහි සෝණ කුටිකණ්ණ හිමියෝ අවදිව සුත්ත නිපාත අට්ඨක වග්ගයෙහි එන සොළසක් වූ ගාථා උස් හඬින් ඉතා මැනැවින් ගායනා කළහ.

ඉතිරි කොටස මැයි 11 වනිදා අව අටවක පුවත්පතේ...

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]